2011/07/18

34) හදවත සූරන මොලේ හපාකන රජ බොරුකාරයා - Syphilis

කොයි මේල් .....ද ....ජී මේල් 
අද මගේ බිරිඳ ටිකක් අසනීපෙන් වගේ , ශල්‍යකර්මයෙන් පස්සේ තවමත් සම්පූර්ණ සුවයක් නැහැ , පුංචි පුංචි ප්‍රශ්න තිබුණත් පහුගිය දවස් ටිකේ රාජකාරියටත් ගියා , ඒත් අද නම් රාජකාරියේ යෙදෙන්නට තරම් සුවදායක පෙනුමක් නැහැ , ඒත් උදේ පාන්දරම ඇහැරගෙන කුස්සියේ සොඳරු පෙළහර පාන්නට පටන් අරගෙන ,
මමත් email ටික එහෙම බලලා උත්තර ලියලා ගියා කුස්සියට , “අද ඔයාගේ පෙනුම එච්චර හොඳ නැහැ , තාම බඩේ ප්‍රශ්නේ තියෙනවා නේද නොකිව්වට , ?“ මම ඇගේ ඇස් දිහා බලාගෙනම ඇහැව්වේ හුගක් වෙලාවට තමන්ගේ ලෙඩ හංගගෙන මගෙත් දරුවන්ගේත් සතුට වෙනුවෙන් ඇය කරන “පරාර්ථකාමී බොරුව“ අඳුනගන්නම ඕන නිසා
“ නෑ ඒතරම් අමාරුවක් නැහැ , ඒවුනාට ටිකක් ඇඟ රිදෙනව වගේ abdominal distension වගේ .... ටිකක් බලමු නේද ? ..“
“කොහොම වුනත් අද ඩියුටි යන්න එපා ටිකක් rest කරන්න .මම ලොකු මිස්ට කතා කරල කියන්නම් .දැන් ගිහින් ටිකක් නිදා ගන්න ,එළිය වැටුනම මම කඩෙන් උදේට කෑම ගේන්නං, අනෙක් හැමදාමත් උදේට බත්මනේ ....“ කොහොම හරි අමාරුවෙන් ආයෙත් ඇඳට යවල මම ආයෙත් gmail එක ඇතුලට රිංගුවා ,


සෙනඟ පිරෙන O.P.D
දහයහමාරට විතර අපි O.P.D. එකට ආවේ මනෝජගේ අසනීප තත්ත්වය ගැන වෛද්‍යවරයෙක් හමුවෙලා උපදෙසක් ගන්නයි , Medical එකක් ගන්නයි හිතාගෙන .අද O.P.D. එකේ හරියට සෙනඟ , වයසක අය , පුංචි පැටවු ගොඩාක් ඉන්නව වගේ , මේ දවස් වල පැතිරීගෙන යන උණ නිසා වෙන්න ඇති .බිරිඳ එම ඒකකයේ ‍වෛද්‍යවරයා හමුවෙලා එනකම් මම O.P.D. එකේ අයිනකට වෙලා අපේ මිනිසුන්ගේ හැසිරීම් රටා බලාගෙන හිටිය . සමහරු හරිම කළබලෙන් , සමහරු අඬමින් , තවත් අය අයිනකට වෙලා ලොකු කයිවාරුවල ...විවිධ හැසිරීම් බලා ගෙන හිටිය . 

“නිශාන්තයියා ....මේ ...“ මම මගේ සමාධියෙන් බිඳුනා .“ මේං අපේ හිරියා...“ හිරියා කිව්වට ඒක නියම නම් නෙවෙයි , හැබැයි නියම නම කිව්වට කවුරුවත් දන්නේ නැහැ , කවුරුත් මේ තරුණ කොළුවව දන්නේ හිරියා කියලම විතරයි මට හිතෙන්නේ . 
“මොකො හිරියෝ ...මේ පැත්තේ ..කාගේ හරි වැඩක් ද ?, “
“නෑ නිශාන්තයියා ඇඟට ටිකක් හරි නැහැ වගේ , නිකං උණ උණ වගේ , ත්‍රීවීලේ දිව්වෙත් නැහැ අව්වට ඇස් වැහෙන තරමට රිදෙනව ...බෙහෙත් ටිකක් ගන්න කියල ආවේ ...“ 
ආ..එන්න නගින්න ..ටක් ටක් ටක් ...
“ඇත්තද , ඉතින් යං අපේ ඩොක්ටර් චමින්ද ඇති හතරේ කාමරේ , අපි එතැනට පෙන්නමු .....“ මට කරල දෙන්න පුළුවන් ඔය උදව්ව විතරනේ , ඒකවත් කරල දෙන්න හිතාගෙන කිව්වත් “ නෑ අයියා , තව පොඩි ප්‍රශ්නෙකුත් තියෙනවා ...මේ ............“ හිරියා මොකක්දෝ කියන්න තෙපර බානවා ...
“නෑ නිශාන්තයියා , පහුගිය දවසක කෑල්ලක් සෙට් උනා , මගේ වීල් එකේම තමයි යන්නේ එන්නේ , මහත්තය රට ගිහින් ....“ .....මට ටිකක් පටලැවිල්ලක් දැනුනා ...දැන් උණ ගැන කියපු මිනිහ දැන් මොකක්දෝ වෙන ජරමරයක් ගැන ...කොහොමත් මෙයාගේ කතාව එයාල ඉන්න උප සංස්කෘතියේ භාෂාවම තමයි..
“ඉතින් “ ....
“ඉතින් , මං එහේ යනවා එනවා ...ටිකක් ඉතින් ආස්සරේ කළා ., දන්නැත්ද ඉතින් අපි නොබැඳපු කොල්ලොනේ අයියා ...“ දැන් මට හිතා ගන්න පූළුවන් වෙන්නේ මොකක්ද කියලා ...
“හරි දැන් ප්‍රශ්නේ මොකක්ද තියෙන ..“ 
“මේකයි , මට උණනෙවි ලොකු ප්‍රශ්නේ , මගේ .......හරියෙ තුවාල වගේකුත් ආව ..සමහර ඒව හොද වුනා ...දැන් ආයෙත් තුවාලත් ඇවිත් ..අහල බලනකොට එයාටත් ඒ වගේම තුවාල ඇවිත් හොඳ උනාළු , මට පොඩි බයක් තියෙන්නේ අර මොනවද සමාජ රෝගයක් හැදිලද කියල , එහෙම  වුනොත් ඔතනට ගියාම වෙන ලෙඩක් වැටෙයිද දන්නෑ නේ ...“ හිරියගේ තිබුණු රළු පෙනුම නැතිවෙලා ..පුංචි බලල් පැටියෙක් වගේ කුරු කරු ගානවා ...
“හරි මොකක් වුනත් අපි දොස්තරට පෙන්නල බලමු , මොක උනත් ලෙඩකට හිරේ දාන්නේ නැහැනේ , “ ...කොහොම හරි අමාරුවෙන් හිරියව මං හඳුනන වෛද්‍යවරයෙක්ට පෙන්නුව , කතාවේ වැදගත් කරුණු ටිකකුත් කියන්න උනා , .......

අපේ හිරියට සිෆිලිස් වෙන්න ඉඩ තියෙනවා කියලා ලිංගාශ්‍රිත රෝග සායනයට යොමු කරල තිබුණ , ඒ සිදුවීමෙන් මට හිතුන මේ ගැන ලියන එක වැදගත් වේවි කියල ..මේ සිදුවීම දිගටම ලියන්න ගියොත් අපේ අරමුණ බිඳ වැටෙන නිසා ඔන්න දැන් මම පීල්ල මාරු කරන්නයි යන්නේ ..හයියෙන් අල්ල ගන්න ...

මොකක්ද මේ සිෆිලිස් කියන්නේ ? අදත් දොරටු පැනය .....
ෂා ....ඌයි....හපෝයි ...
මේ ලිංගිකව බෝවන ආසාදනයක් , කෙටියෙන් කිව්වොත් ලිංගික සම්ප්‍රේෂණ රෝගයක් . අර ඉස්සර කිව්ව විදියටනම් සමාජ රෝගයක් . හුඟක් ප්‍රසිද්ධියේ කතා නොකළාට අපේ අවට මේ රෝග තත්ත්වය තියෙන්නට පුළුවන් , හැබැයි කිසි වෙලාවක මේ රෝගය හුළඟෙන් , එහෙම නැත්නම් නාන තටාක වලින් ඇඳුම් වලින් බොවෙන්නේ නැහැ , බෝවෙන එකම ක්‍රමය ඒ බැක්ටීරියාව (බැක්ටීරියාවගේ නම ට්‍රිපොනිමා පැලිඩම්Treponema pallidum  ) අපේ තුවාලයක් හරි සීරුණු තැනක් හරි තුලින් අපේ ඇඟට ඇතුළුවීම , එහෙම තුවාල නොවුනත් අපේ ශ්ලේමල පටල(ඉතා තුනී තෙත් සමක් තියෙන තැන්) හරහාත් ඇඟට ඇතුළු වෙන්න පුළුවන් , උදාහරණයක් විදියට අපේ ලිංගික අවයව , කට , තොල් , දිව වගේ ප්‍රදේශත් Risk zones කිව්වට වරදක් නැහැ. රුධිරය මගින් බෝවෙන්න පුළුවන් , එත් බය වෙන්න එපා රැධිර පාරවිලයනය Blood transfusion එකකට ඉස්සර වෙලා හැම රැධිර දායකයෙක්ගෙම ලේ සාම්පලයක්  මේ පරීක්ෂණයට යොමු කෙරෙන නිසා රැධිර පාරවිලයනය ඔස්සේ බෝවන්නට අවස්ථාවක් නැති තරම් ,

සොඳුරු අඳුර දෙන කසකාරයා Treponema pallidum 
හැබැයි ගර්භනී මවකට මේ තත්ත්වය ඇතිවුනොත් හරිම අවදානම් , විශේෂයෙන්ම අර උපදින්න ඉන්න පැටියාට , කිසිම වරදක් නැති ඒ පැටියට උපදින්නම ඉස්සර වෙලා මිය යන්න හරි , ඉපදිල දවසකින් දෙකකින් මියයන්න හරි වේවි , කොහොම හරි ඉපදුනත් ඇස් අන්ධ වීම් , අපස්මාරය වගේ තත්ත්ව , සෙංගමාලය වගේ තත්ත්ව ඇතිවෙලා මේ කිරි කැටිය දුක් විඳීවි . ඒනිසා මේ විදියට මවකගෙන් දරුවාට මෙබඳු අවාසනාවන්ත තත්ත්ව ඇතිවීම වැලැක්වීමට රජයේ “ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහන “ සෑහෙන වැඩකටයුතු කරනවා .

මොනවද මේ රෝගයේ ලක්ෂණ , ඔන්න දැන් ආයෙත් අපේ හිරියගේ කතාවට එමු , “මට උණනෙවි ලොකු ප්‍රශ්නේ , මගේ .......හරියෙ තුවාල වගේකුත් ආව ..සමහර ඒව හොද වුනා ...දැන් ආයෙත් තුවාලත් ඇවිත් ..අහල බලනකොට එයාටත් ඒ වගේම තුවාල ඇවිත් හොඳ උනාළු“ , මේ තමයි හොඳම කරුණු ටික , විශේෂයෙන්ම මේ කතාවක් එක්ක ලිංගික එක්වීමක් හෝ එම ආශ්‍රිත ක්‍රියාවක් ගැනත් කියවුනොත් අපිට ටිකක් හොයල බලන්න වේවි , 

මේ රෝගයේ රෝග ලක්ෂණ ගණනාවක් තියෙනවා , ඒ කියන්නේ කාළයත් එක්ක විවිධ ලක්ෂන මතුවෙනවා , මොකද මේ බැක්ටීරියාව අපේ හෘදය , මොළම , අස්ථි ස්නායු පද්ධතිය වගේ හැම තැනක්ම තුවාල කරමින් “සූරමින්“ වද දෙනවා , ඒ එක්කම මෙයා හොඳ හැංගිමුත්තං කාරයා (අපේ හිරිය නෙවි , මේ බැක්ටීරියාව ) , ඒ කිව්වේ මොකක් හරි ලක්ෂණයක් පෙන්නල , ටික දවසක් ගිහින් ඒක හොඳවුනාම ටික කාළයක් යනකං කරදර කරන්නේ නැතිව හැංගිලා ඉන්නවා , එන්න ටික කළක් ගියාට පස්සේ ආයෙත් ලෙඩේ පටන් ගන්නවා .

හදේ (ඳේ) ආවාටය ...සිෆිලිස් තුවාලයක් 
කොහොම වුනත් මුලික ලක්ෂණ විදියට ඇතිවෙන්නේ පුංචි තුවාලයක් , ඒක ඇතිවෙන්නේ අපේ ලිංගික අවයවයක මතුපිට , මේ තුවාලය ඒතරම් රිදෙන්නේ නැහැ , සමහර විට තව තුවාලයක දෙකක් මතුවෙලා සති දෙක තුනකින් ඉබේම නැති වෙලා යනවා .(අපි කිව්වේ හැංගෙනව කියලා) , මේ තුවාල ලිංගික අවයව වල විතරක් නෙවි සමහර විට තොල් වල , ඒ ඇතුළු පැත්තේ , දිවේ එහෙමත් හැදෙන්න පුළුවන් , ඔය මුලින්ම තුවාලෙ හැදෙන තැන තමයි , අර බැක්ටීරියාව අපේ ඇඟට ඇතුළු වුනු රහස් දොරටුව . 

පොතේ හැටියට කිව්වොත් මේ මුලින්ම තුවාලෙ හැදිල හොඳ වෙන කාළෙට කියන්නේ Primary stage කියලා , එහෙනම් ඉතින් තවත් stage ඇතිනේ බලමු බලමු , ඒ stage වල නැටුමත් කොහොමද කියලා ,

බලන්න අතේ හැටි ..Stage එකේම නටලා 
ඔන්න දැන් ටික දවසක් මොකුත් උනේ නෑ වගේ කවුරුත් තමන්ගේ වැඩ කරගෙන යනවා ., සති දෙක තුනක් ගියා විතරයි , ඇඟට පොඩි උණක් වගේ , මෙන්න බලනකොට ඇඟේ තැනින් තැන රතු පාට ලප දාල , විශේෂයෙන්ම අල්ල , පතුල වගේ තැන්වලත් රතු පාට පුංචි බිබිළ , ලප , හැබැයි වාසනාවට මේව කසන්නේ නැහැ , දාඩිය දාන කොටනම් ටිකක් පිච්චෙනව වගේ දැනෙනව .  ඔය අවස්ථාවට පොතේ කියන්නේ නම් secondary stage කියලා , ඔන්න බැක්ටීරියාව ආයෙත් නටන්න පටන් අරන් , ටික දවසක් , සති දෙක තුනක් ඔහොම නටලා ආයෙත් හැංඟෙනවා , ලෙඩේ හොඳ වෙනවා වගේ දැනෙනවා , ඔයා කාළෙට ලප එක්කම උගුර , කට එහෙම නැත්නම් ලිංගික ප්‍රදේශය වණ වෙලා වගේ දැනෙන්න පුළුවන් , හැම තිස්සෙම sore throat , ඇඟ පත රිදෙනවා , හන්දි කැක්කුමයි , කන්න පිරියක් ඇත්තෙම නැහැ , හුඟ වෙලාවට කියන්නේ ඇඟ නිකං වණේ වගේ රිදෙනාව කියලා , ලෙඩ ගොඩයි , එකක් ඉවර වෙන්න තව එකක් , දොස්තර මහත්තයටත් සමහර විට එකපාරටම හඳුනගන්න බැරි වේවි (හැබැයි රෝග ඉතිහාසය , ලිංගාශ්‍රිත තුවාල ගැන දැන ගත්තොත් මේ තත්ත්වයදැයි සැක කර අවශ්‍ය පරීක්ෂණ සඳහා යොමු කරාවි ) , වාසනාවට වඩා අවාසනාවට මේ තත්ත්වයත් ඉබේම හොඳ වෙලා යනවා , තවමත් ප්‍රතිකාරයක් ගත්තේ නැත්නම් ඔබේ හදවත , මොළය , ඇටකටු ටික මේ හැංගිමුත්තා විසින් මේවන විටත් සූරා ගෙන කමින් ඉන්න බව මතක තියා ගන්න , 

ඔය අන්තිම stage එකට එනකොට කාළයක් ගිහින් සමහර විට අවුරුදු දෙක තුනක්  (අවුරුදු දහයක් විතර පහුවෙන්නත් පුළුවන්) , හැබැයි ඒ වෙනකොට ඔක්කොම නැටුං ඉවරයි , ඒ වෙනකොට රෝගියා අංශභාගය , ඇස් අන්ධවීම , ඩිමෙන්ෂියා  කියන මොළයේ දුර්වලතාවයන් , ඇට බිඳිම් , හෘදයේ විවිධ රෝග ....කියාගෙන ගියොත් ලෝකෙ තියෙන ලොකුම ලෙඩ ලයිස්තුව මෙතැන ලියවෙනවා , කෙටියෙන් කිව්වොත් අවාසනාවන්ත විදියට විඳවල මැරෙන්නයි වෙන්නේ , 

ඔබ මොකක්ද කරන්න ඕන , වැදගත්ම දේ තමයි මේ වගේ රෝග ඇතිවන අනාරක්ෂිත ලිංගික ක්‍රියාවලින් වලකින එක , එහෙම නැත්නම් ආරක්ෂිත ලිංගික ක්‍රම safe sex හෝ ආරක්ෂිත උපකරණ Condom වැනි දේ භාවිත කරමින් අදාල ක්‍රියාවේ යෙදිම , අපේ තරුණ දරුවන්ට විශේෂයෙන්ම කියන්න ඕන මේ කරුණ , ලිංගිකව එක්වීම “සැපක්“ වගේ දැනෙන්න පුළුවන් , ඒත් එය අනාරක්ෂිතව කළහොත් , නුසුදුසු අයුරින් කළ හොත් වෙන්නේ අර කෙටි කාළීන “සැප“ ඔබට අවාසනාවන්ත මරණයක හෙවනැල්ල ගේන එකයි ,

මට මෙහෙම කියන්නට හිතුනේ අපි (මමත් , අපේ පැටවුන් සහ බිරිඳ) පහුගිය අවුරුද්දේ නිවාඩු කාළෙ චාරිකාව විදියට බදුලු පැත්තෙ තමයි ගියේ , දින  කීපයක් ඉන්න වෙන නිසා අපි නැවතුනේ එක්තරා ප්‍රසිද්ධ තානායමක , ඊට ඉස්සරහ තියෙන කාමර පැය කිහිපයකට කුළියට දෙන ආයතනය තුලට දවස පුරාම වටපිට බලා බලා රිංගූ “යොවුන් ආදර(අදර) වන්තයන්“ අතර   හිටියේ පුංචි කෙළි - කොළු පැටවු , ඒ බොහොමයක් දැරිවියන් “ටියුෂන් යන ඇත්තියන්“ වග තමයි වැටහුනේ , සමහරු දහයේ පන්තියෙද කියලත් සැකයි , ඒ තරම් පොඩි කෙළි පැටවු , මේ ඔවුන්ගේ ආදරය කරන ආකාරය දැයි මම නොදන්නාමුත්(ආදරේ ගැන තවත් කතාවක් මෙතැනින්)  එහි අනතුරක් පවතින බව නම් හොඳින්ම පැහැදිලියි , (මේ අනතුර ගැන මෙතැනින්) 

දෙන්න එක්කම යන්නේ ? S.T.D clinic එකට
අපි හිතමු මොකක් හරි හේතුවක් නිසා අනාරක්ෂිත ලිංගික එක් වීමක් හෝ එම තරළයන් ගෑවෙන විදියේ ක්‍රියාවක් කළ කියලා , ඊට පස්සේ ටිකක් සැළකිල්ලෙන් ඉන්න , අපි මුලින් කීව වගේ ලක්ෂණයක් මතුවෙනවා නම් ඉක්මණින් ඔබේ වෛද්‍යවරයා හෝ ප්‍රදේශයේ රජයේ රෝහලේ තියෙන ලිංගාශ්‍රිත රෝග සායනයට යන්න , පුළුවන් නම් දෙන්නම එක්ක ඒ ගමනත් යන්න , මතක තියා ගන්න STD clinic යන හැමෝම මහ අපරාධකාරයොවත් , ගණිකාවොවත් කියල හිතන්න එපා , විවිධ පරීක්ෂණ , උපදෙස් සඳහාත් මේ සායනයට පුද්ගලයින් එනවා , මේ විදියට වෛද්‍යවරයා හමුවුනාම ඔහූ ඔබේ රෝග ලක්ෂණ පරීක්ෂා කරල රැධිර පරීක්ෂණ කිහිපයක් කරාවි , එමඟින් හරියටම රෝගය කුමක්දැයි තහවුරු කරගන්නට පුළුවන් , 

ඊට පස්සේ ඔබට antibiotics අඩංගු ප්‍රතිකාර මාලාවක් එබට ලබා දේවි , ටික කළක් ඖෂධ ගන්න වෙනවා , ඒ වගේම වරින් වර ඔබේ රැධිර පරීක්ෂණ සිදු කරමින් තත්ත්වය පිළිබඳ සොයා බලන්නත් වේවි , හොඳට මතක තියා ගන්න ,ඖෂධ නිසි ආකාරයෙන් ගන්න , ඒ වගේම වෛද්‍යවරයා සුදුසු යැයි කියන තුරු ලිංගික එක් වීම් වලින් වැලකි සිටින්නට වෙනවා , 

හැංගිමුත්තා හොයන Blood tests
විශේෂයෙන්ම කියන්න ඕන , ඔබ මේ වන විටත් ගර්භනී යැයි සැක නම් ඉක්මණ් නිසි ප්‍රතිකාරයකට යොමු වන්න, නැතිනම් ඔබේ සතුටේ වේදනාව විදින්නට වෙන්නේ ඔය පුංචි කිරි කැටියාටමයි ...

කොහොම හරි මගේ මිත්‍ර හිරියා ...හිරි ඇර ඇර ගෙදර ගියා ...(ඇත්තටම එයාගෙම ගෙදර ගියා ) , අපිත් ගෙදර ආව , හවස් වෙනකොට මගේ බිරිඳට ටිකක් සනීපයක් දැනෙනව වගේ , ටිකක් නිදා ගත්ත , අද නයිට් ඩියුටිනේ ,ඒක නිසා ...

“මහේෂ් අපි අද හවස පන්සල් යමු නේ ...ඔයා නයිට් ඩියුටිනේ ....පහමාරට විතර යමු ...මං තේත් එක්ක කන්න පෑන් කේක් ටිකකුත් හැදුවා  ...ලොකූ , පොඩී ...එන්න කන්න .....කාළ ලෑස්ති වෙන්න ඕනේ ඉක්මණට “ ...මහන්සි වෙන්න එපා කිව්වට .....මොනවා කරන්නද මේ මනුස්සය මටත් හොරා ඔක්කොම වැඩ ටික කරල වගේ , මොනවා කරන්නද “අම්ම කෙනෙක් හිතන හැටිනේ“  නේද ? ඒ විතරක්ද හොඳ බිරිඳක් , ගෘහණියක්නේ ...කොහොම වෙතත් එයාට හෙටත් නිවාඩු ගන්න පුළුවන් ...ඇයි මෙඩිකල් දවස් තුනකටම දීලනේ ..

23 comments:

  1. Gimhani

    ඔබතුමාගේ මේ ලිපියත් හරිම වටිනා ලිපියක්. පසුව එනවා ප්‍රශ්නත් අරගෙන.
    ජය!!

    ReplyDelete
  2. ස්තුතියි ගිම්හානි දිරි ගැන්වූවාට,

    ReplyDelete
  3. රෝගයට ප්‍රතිකාර කරනවාට වඩා රෝගය හදා ගන්නේ නැතිව ඉන්න පුළුවන් නං හොඳයි නේද?

    මේ වගේ රෝග ගැන හෙලිදරවු කිරීම ඉතාම වටිනවා. මොකද මේවා ගැන අපේ දැනුම ඉතා අල්ප නිසා.

    ReplyDelete
  4. ඔව් චතුර , ඒ වගේම මේ දැනුම අපේ සමාජය තුල නිවැරදිව පතුරවන්නටත් හැකි නම් කෙතරම්ම අගේද ? ස්තුතියි සරු අදහසක් ලීවාට

    ReplyDelete
  5. Gimhani
    මා සිතන්නේ මේ මාතෘකාව වැඩිය කවුරුත් කතා කරන්නේ නැති
    මාතෘකාවක්. නමුත් මෙය කතා කල යුතුම දෙයක්. මක්නිසාද තරුන වැඩිහිටි කාටත් මෙය අදාල නිසා.අද බොහෝ අය ලිංගිකත්වයට නැඹුරු වෙලා වැඩි. අන්තර්ජාලය උනත් යොදාගන්නේ මේ සදහා. ඕනතරම් පහසුකම් තියෙනවා. ඉතින් මේවයේ දකින දේවල් අත්විදින්න ආසයි.ආදරේ සම්බන්දවදී උනත් ප්‍රමුකත්වය දෙන්නේ ලිංගිකත්වයට. පාසල් දරුවන් අතර පවා මේ අනවශ්ය clips තියන බව අප දන්නවා.ඇතැම් වැඩිහිටි අය උනත් පරේ තොටේ එක දවසින් හමුවෙන අයත් සමග සම්බන්දකම් පවත්වලා රෝග හදාගෙන අනවශ්ය ප්‍රශ්න දාගන්නවා.

    මේ සිපිලස් හා සමාන තවත් සමාජ රෝග නේද ගොනෝරියාව හා සුදුබිංදුම?

    ඒගැනත් කියන්න පුලුවන්ද?

    ReplyDelete
  6. ඔව් ගිම්හානී මේ අපි දැනගත යුතුදේ , මේ ලිපියට එන්නට පෙර ආදරේ ගැන කතා කළේත් යම් හේතුවක් නිසා , ඇත්තෙන්ම එම තත්ත්වයත් තවත් ලිංගාශ්‍රිත බෝවන රෝගයක් , ඉදිරියේදී ඒ ගැනත් කතා කරමු
    ස්තුතියි , හැමදාමත් අදහස් දෙනවාට

    ReplyDelete
  7. අපි නොදන්න ගොඩක් ලෙඩ තියනවා නේ. අපේ fill program එකට මේක ගොඩක් වටිනවා නේද සර්? එදාට මම මේ ගැන සමාජය දැනුවත් කරනවා සර් ඒ පින ඔබට ලැබෙන්න කියලා පතනවා.

    ReplyDelete
  8. ස්තුතියි කියල විතරක් නවතින්න බැහැ. නිරෝගී වෙන්න, රෝග හදුන ගන්න, ලෝකෙටම ආදරේ කරන්න, ආදරය බෙදාගන්න ඔබ ගන්න මේ උත්සාහය අමිලයි...,කියමනක් තියෙනව පොතක් කියවනව කියන්නේ අපි නොඇසු විරූ චාරිකාවක් කියල, සොඳුරු සුව අසපුවට ගොඩවෙන හැමදාම අපි අලුත් දෙයක් එක්ක අලුත් ගමනක් යනව. ජීවිතේට විතරක් නෙවෙයි සමාජෙට කියන්නත් දෙයක් එකතු කරගෙන ආපහු එනව. දැනුවත් බවේ පහන්සිල තව තවත් ආලෝතමත් කරන්නට ඔබට ශක්තිය!

    ReplyDelete
  9. ලිහිණි , බොහොම ස්තුතියි ඔබේ දිරි ගැන්විමට , දිනක් ඔබ ලබා දුන් දුරකථන ඇමතුමින් ඔබ ඉදිරිපත් කළ සමාජ හිතකාමී යෝජනා සියල්ලමත් මගේ සිතේ ඇති කළ පෙළඹවිමත් මේ සියල්ල එක්ක ඉදිරියට මතුවෙනවා , ඔවි අපිට පොතේ දැනුම විතරක්ම නොවෙයි වැදගත් සමාජ ජීවියෙක් විදියට යහපත්ව දිවිගෙවන්නට අවශ්‍ය ප්‍රායෝගික කරුණුත් අපි බෙදා හදා ගනිමු , ස්තුතියි ලිහිණි ....

    ReplyDelete
  10. ඔව් නදීශා දුවේ , අපි නොදන්නා දේ බොහොමයි , ටිකෙන් ටික දැනගනිමු , ඔව් මේ දැනුම ඔබේ විෂය නිර්දේශයේ field program කොටසෙදි ප්‍රායෝගිකව හසුරවන්නට පුළුවන් වේවි , ඔබට පුළුවන් වේවි ප්‍රජාව දැනුවත් කිරීමේ පින ලබා ගන්නට ,
    ස්තුතියි දුවේ ..

    ReplyDelete
  11. දුවේ කියද්දි පුදුම ශක්තියක් එනවා පියාණනි එ ශක්තිය කොයිතරම්ද යත් ඉඩ ලැබෙන හැම වේලාවකම මම ඔබේ සොදුරැ අසපුවෙ. කියවන්න කියවන්න ආස හිතනවා මම ඉක්මනින් මගේ යාලුවන්ටත් මේ රසය දෙන්න උත්සහ කරනවා

    ReplyDelete
  12. ස්තුතයි , කියවන්න , දැනගන්න , ඒ වගේම දැනගත්දේ තව අයෙකුට බෙදල දෙන්න , තවෙකෙක් ඔබෙන් යම් දෙයක් දැනගත්තා යැයි දැනෙන විට ලැබෙන සතුට මුදලට ගන්න බැරි නිරාමිස සතුටක් ,

    ස්තුතියි දුවේ , ඔයාල හැමෝම මගේ , අපේ ජීවිතයේ කොටසක් වගේ මට දැනෙන්නේ ....

    ReplyDelete
  13. හරිම වටින ලිපි පෙලක් මහේශ් මහතානෙනි... මේ බෙදන දැනුමේ අනුහසින් ඔබටද දිගුකලක් නිරෝගීව ලියන්නට කියන්නට හැකිවේවා... :)))

    ReplyDelete
  14. ස්තුතියි , මකුළු පැංචි , ඔබේ මේ අදහස් මා තවත් ලිපියක් ලිවීමට කෙරෙන දිරි ගැන්වීමක්

    ReplyDelete
  15. sirwa mama aduranne nam nehe. Eth mata me blog eka ahamben wage ahu une. Harima hoday. Digatama karagena yanna oba thumata hekiyawa lebenna ony. Samajayata harima wedagath lipi pelaksirwa mama aduranne nam nehe. Eth mata me blog eka ahamben wage ahu une. Harima hoday. Digatama karagena yanna oba thumata hekiyawa lebenna ony. Samajayata harima wedagath lipi pelak

    ReplyDelete
  16. chathura buddika;
    Thank you for your comment , it will be a indirect motivation me to write a another posts

    ReplyDelete
  17. මහේෂ් මහතාගේ මේ ලියවුනු ලිපියෙන් මගේ මතකයත් අලුත් වුනා. කාලීණ අවශ්‍යතාවයක් වන මෙවැනි ලිපි බ්ලොග් වලින් එහා ගොස් එදිනෙදා බොහෝ පිරිසක් පරිශීලනය කරන පුවත්පතක පලවුනානම් ඉතා අගෙයි කියලා මට හිතෙනවා. අපද බ්ලොග් කියා කියවන්නේ දකින්න තියෙන අතලොස්ස පමණි. ඉතා මහඟු සේවයක් කරන ඔබට මගේ හද පිරි සතුට සහ ප්‍රණාමය.

    ReplyDelete
  18. Anithkona : ඔබ දක්වන සක්‍රිය සහයෝගය මට ඉතා වටිනාමක් ඇතිබව කිව යුතුමයි. ස්තුතියි

    ReplyDelete
  19. අද තමා මම ඔබගේ බ්ලොගේ කොමෙන්ට් කරන පලවෙනි වතාව.
    මම හිතනදෙයක් තමයි ගොඩක් STD's පැතිරීමට ප්‍රදාන හේතුව නොදැනුවත්කම කියල. ඉස්කෝලෙක හරියට උගන්නන්නෙ නෑ . . . . දෙමවුපියන්ගෙන් හරි වැඩිහිටියන්ගෙන් හරි අහන්න බයයි . . . . යාලුවන්ගෙන් අහන්න බෑ, යාලුවො වැරදියට හිතයි හෝ කතා හදයි කියල බයයි . . . . ඔය වගේ ගොඩාක් හේතු එක්ක ලැජ්ජාව එකතු උනාම අවසාන ප්‍රතිඵලය තමයි කොහේවත් යන ලෙඩක්.
    මම මේ ලඟදි ඉරිද පත්තරේක කියෙවුව සමාජ රෝග ගැන තිබ්බ ආටිකල් එකක්. ඒකෙ කතා කරල තිබුනෙ තරුන තරුනියන්ගෙ දැනුම ගැන, අදාල රෝග සහ වලක්වාගැනීම් සම්භන්දයෙන් . . . . . කියන්න සතු‍ටුයි එක ගෑනු ලමයෙක් කියල තිබුන එයාට එක්තරා රෝග ලක්ෂන වගයක් පහලවෙන්න හේතුව, "එයයි එයාගෙ පෙම්වතයි කෘමිනාශක ඉහපු තනකොල උඩ වාඩිවෙලා ඉඳීම" කියල . . . . .
    ඒ දරුවගෙ දැනුම් මට්ටමට අපි හිනා වෙලා විතරක් ඇතිද ???? ඊට එහාට ගිය යමක් කරන්න නැද්ද . . . ????
    මම ලංකාවෙ ප්‍රසිද්ධ සමාජ රෝග වෛද්්‍යවරයෙක් ලඟට එක්කගෙන ගිහිං තියනව මගෙ මිත්‍රයො විශාල සංඛ්්‍යාවක් . . . . ඒ හැමෝවම එක්කං ගියේ බලෙං . . . . ඒ හැම කෙනෙක්ම දොස්තර කෙනෙක් ලඟට නොයන්න හේතුව තමයි "නර්ස්ල හිනා වෙයි, දොස්තර බනී" කියන බය . . . . . මම අමාරුවෙන් හරි ඒදේ නොකල නං මම දැනුවත්ව සමාජ රෝගීන් 10කට අදික ප්‍රමානයක් රෝගීන් විදිහට විතරක් නෙමේ රෝග වාහකයන් විදියට සමාජයට එකතු වෙනව.
    මෙන්න මේ නොදැනුවත් කම සහ ලැජ්ජාව තුරන් නොකරන තාක් කල් මම හිතන්නෙ නෑ අපි කොච්චර "පරිස්සම් වෙයල්ලා . . .!!!" කියල කෑගැහුවත් වැඩක් වෙයි කියල . . .

    ReplyDelete
    Replies
    1. doctorge nama kiyanna puluwanda

      Delete
    2. කරුණාකර මෙම පිටුවෙන් සියළු තොරතුරු ලබා ගන්න http://www.nursinglk.com/p/blog-page_19.html

      Delete
  20. ඕනයා , ඔවි ඔබේ අදහස නිවැරදියි , මේ ගැන මම ,බබාලා ඉන්න බබලා ලිපියේ නතා කරල තියෙනවා , ඇත්තෙන්ම මේ විෂය ගැන කෙරෙන භයාංකාර හැංගීම තමයි මුල්ම හානිය , ඉන් නොදැන්වත් වන සමාජය වරදේ ඇළෙනවා , ආරක්ෂාවක් ගැන නොසිතාම , අනෙක මේ රෝග සහ අදාල සායනය ගැන ඔබ කියන භයංකාර මතය , ඒ නිසයි මම කිව්වේ //අපි මුලින් කීව වගේ ලක්ෂණයක් මතුවෙනවා නම් ඉක්මණින් ඔබේ වෛද්‍යවරයා හෝ ප්‍රදේශයේ රජයේ රෝහලේ තියෙන ලිංගාශ්‍රිත රෝග සායනයට යන්න , පුළුවන් නම් දෙන්නම එක්ක ඒ ගමනත් යන්න , මතක තියා ගන්න STD clinic යන හැමෝම මහ අපරාධකාරයොවත් , ගණිකාවොවත් කියල හිතන්න එපා , විවිධ පරීක්ෂණ , උපදෙස් සඳහාත් මේ සායනයට පුද්ගලයින් එනවා , // කියලා ,
    ඔබ හරි ඒ නිසා තමයි මම කියන්නේ “පරිස්සම් වන ක්‍රම දැන ගනිල්ලා“ , ඒ වගේම ලෙඩේ වැටුනොත් බෙහෙත් ගනිල්ලා “ කියලා , විශේෂයෙන්ම පාසල් යන සහ තරුණ දරුවන් මේ විෂය පිළීබඳ නිසි සහ ප්‍රායෝගික දැනුම, ඔවුන්ට දැනෙන පරිදි ලබා දීම හරිම වැදගත් , එතැනදි ඔබ වැනි තරුණයන්ට කළ හැකි කාර්ය හරිම වැදගත් , මේ වනවිටත් ඔබ එවැනි සත් කාර්යයක් කරන බව ඇසීමත් සතුටට කරුණක් , ස්තුතියි සරු අදහසක් දුන්නාට

    ReplyDelete
  21. Me blog eka thma update wenawda sir.mn ahamben dkke me gna search karaddi

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)