2012/02/26

85) සනීපෙට ඇතුළුවන ..අමාරුව හොඳවන “ඇල්ලිල්ල..“

අද හොඳ අව් රැල්ලක් වැටිලා ..සීතලත් අඩුයි වගේ ...දැන් නම් වින්ටර් එක ඉවරයි වගේ ..පහුගිය කාළෙම හරියට  අව්වක් දැක්කෙ නැති තරම් ..ඒකේ වටින කමත් දැනෙන්න “නැතිවෙන්නම ඕන“ .. පොඩ්ඩො දෙන්න තව යාළුවෝ ටිකකුත් අල්ලගෙන සෙල්ලම ...මටත් අද නිදහස් ...ඉතින් හිතේ “ලියන්නම කියල හිතාගෙන “ පහුගිය දවස් දෙක තුනක ඉඳන් විඳෙව්ව මාතෘකාවක් ගැන ලියන්න අද තමය හොඳම දවස ..මේකට හේතු කාරණේත් කියන්න එපායැ , නැත්නම් ඉතින් උඩක් පල්ලක් නැතිව මොකක් කියනවාද බලාවිනේ ...මේකයි කතාව ..


ඔයාල හැමෝම දන්නවනේ මේ දවස් ටිකේ මධුෂාණීගේ “කටයුත්ත“ වෙනුවෙන්  අපි හැමෝම සොයල බලනවා ..ඉතින් පහුගිය දවසක මම මගේ මිතුරෙකුට කතා කළා ..මොකද එයාගේ දුව , මධුෂාණී දුවගේ යාළුවෙක්ගේ ළඟම හිතවතෙක් බව මට කියා තිබුණු නිසා ..(ඒත් මගේ යාළුවත් මධුෂාණී වෙනුවෙන් උපකාරයක් කරල තිබුනේ ඒ ගැන අන්තර්ජාලයේ ගිය ප්‍රචාරක සටහනක් නිසා ) ,

ට්‍රීං ට්‍රීං ......
හලෝ හලෝ ...
“හෙලෝ ...මම මහේෂ් කතා කරන්නේ ...කුමාර මහත්තය ඉන්නවද...?“
“ඔව් , මේ දැන් තාත්ත නිදා ගන්න ගියේ ..චුට්ටක් ඉන්න බලන්න ...කවුද මේ...? “ හුරුබුහුටි කටහඩකින් පිළීතුරු ලැබුණ .. මං හිතන්නේ මගේ මිත්‍රයගේ පොඩි දු පොඩ්ඩි වෙන්න ඕන ..
“..........තාත්තිට කියන්න , මහේෂ් අංකල් කියලා ...මේ පොඩ්ඩි නේද ?. ...“
“ආ.....ඔව් අංකල් ..තාත්තී ......මහේෂ් අංකල් කතාකරනෝ .......“  මගේ කණ දෙදරවන හඬකින් කෙල්ල කෑගැහනවා ..
“ආ ...කොහොමද මහේෂ් ...අද ටිකක් මහන්සියි , දන්නැත්ද කන්ට්‍රෑක්ට් ගත්ත වගේ නෙවි , අදින්න ගියාම ..ඊට වඩා අමාරුයි ..මේ xxxxගෙන් සල්ලි ගන්න ගියාම .....ඉතිං කොහොමද බං ...මෙහේ නං ඉතිං කියල වැඩක් නෑ .. ..ඉතින් කියහං ..“ ...මගේ මිත්‍රයගේ වාග් රටාව මේ සමහර  විට ලියන්න අමාරුයි ..
“මචං මං කතා කළේ අර කෙල්ල ගැන දැන ගන්න...සුජීව කන්ටෑක්ට් කරගන්න අමාරුයි , ඒ හරියට සිග්නල් නෑ ..අද තාම විස්තරයක් ලැබුනෙ නැහැ .....මේ අනෙක් උඹ ගියාද ඒ දරුවගේ ගෙදර ..ඔය කිට්ටුව නේද තියෙන්නෙ ?..“
අම්මෝ .....
“උඹ ..බම්බුවක් කතා කරනවා ....කෙල්ලට මේ දවස් වල “කරන්ට් අල්ලනවලු ...මේ ලොක්කි යන්න ඕන කියල කුරුකුරු ගෑව  මං කීව පස්සේ යමු කියල ..බයයිනේ බං විකිරණ විදිනවලු නේද ළඟ ඉන්න අයටත් ..අපේ වයිෆ් කිව්වේ ...“ ....මිත්‍රයගේ කතාවත් භයංකාරයි  වගේ ...
“මම නෙමේ මචං බම්බුව ...දැන් ඔය කරන ට්‍රීට්මන්ට් එකෙන් වෙනකාටවත් හානියක් නැහැ ...බොරුවට  බයවෙලා ..“ ..
“ඒ වුනාට අපේ වයිෆ් කිව්ව මචං එහෙම ..මාත් ඉතිං බයයි බං ..දන්නවගේ Plant එකේ වෙච්ච එක ..“ ..ඔහු මීට පෙර විදෙස් රැකියාවක යෙදී සිටින කාළේ වු ගිණි ගැනීමකදි ඇතිවුනු බය තාමත් හිතේ ..
කතාව ඔය විදියට ටික වෙලාවක් ගියා ...ඒ හැමදේම මෙතැනට අදාල නැහැනේ ..අනෙක ලියන්නත් අමාරුයි ..කෙසේ වෙතත් ඉන් මට “ලියන්න යමක් අහුවුනා ..“ ..මොකද හුඟ දෙනෙක් මේ කරන්ට් ඇල්ලිල්ල ගැන හරි දැනුමක් නැතිව ඉන්න බව හැඟෙනවා ...සාමාන්‍ය ප්‍රජාව විතරක් නොවෙයි , සෞඛ්‍ය ක්ෂේත්‍රෙයේ පවා ..

??????????????????
මොකද මමත් බිරිඳත් වසර හතක් විතර සේවය කළේ බොහොම දුෂ්කර , ඒ කිව්වේ පහසුකම් ඉතාමත් අඩු , රෝගීන් වැඩි සංඛ්‍යාවක් ප්‍රතිකාර ගත්ත කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළීකා ඒකකයේ(අද තියෙන අළුත් එක නෙවි ,පරණ Cancer unit එක) ....(ඇත්තටම ජීවිතේ අදටත් සිතේ සතුටක් දෙන සේවයක් කරන්නට ලැබුනේ එතැනදි කිව්වොත් වැරදි නැහැ ..විශේෂයෙන්ම එදා පිළීකා තත්ත්වයෙන් අපේ ළඟ සිටි පොඩ්ඩන් ...අද ලොකු අයියල විදියට විභාග එහෙම සමත්වෙලා තවමත් අපිට කතා කරල කියත්දි දැනෙන සතුට නිමක් නැහැ .ඒ හාමෝම අපේ පවුලේ වගේම වෙලා ..) , එදා අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රෙය්ම ඉන්න නිලධාරියෙක්ට උනත් Cancer unit එකට transfer එකක් ලැබුණම සේවයට එන්නේ දවසයි දෙකයි , ඊට පස්සේ කොහොම හරි Transfer එක වෙනස් කරගන්නවා ...මේ ගැන දන්න අයත් ඒතරම්ම බයයි ...අනේ මන්ද ,අපි දෙන්නම් විවාහ වෙලා මුල් අවුරුදු හයම සේවය කළේ  එතැන ...මේ පොඩ්ඩො දෙන්නම ලැබුණෙත් ඒ කාළ සීමාවේ ..එයාලත් හුඟක් වෙලාවට අපි දෙන්නත් එකක කාළෙ ගත කළෙත් ඔය මහ භයානක යැයි විශ්වාස කරන ඒකකය ඇතුලෙමයි ...ඔය හුඟක් අය නිස්කාරණේ බය වුනාට අපිට නම් කරදරයක් වුනේ නැහැ ,

කයිවාරුව වැඩි වුනා නේ ...කොහොම වුනත් මේ ගැන අපි ටිකක් කතා කරමු ...මොකක්ද මේ කරන්ට් ඇල්ලිල්ල ...ඇත්තටම කරන්ට් අල්ලනවාද ..ඉතින් එතකොට මැරෙනවානේ ...????? කරන්ට් ඇල්ලුවම විකිරණ විදිනවද ? ...කැන්සර් වාට්ටු ගාව ඉන්න හොඳ නැත්ද ? ගෙවල් ගන්න හොඳ නැත්ද ?//.....

මේ එක කරන්ට් ඇල්ලිල්ලක් 
එහෙනම් දැන් කතාවට බහිමු ....මුලින්ම දැන ගන්න ඕන අපි සාමාන්‍යෙයන් කතාවට කියන “කරන්ට් අල්ලනවා “ කියන්නේ මොකක්ද කියන එක ..ප්‍රධාන අවස්ථා දෙකක් අපි දකිනවා , ඒ උග්‍ර මානසික රෝග අවස්ථාවල .. ඊට ප්‍රතිකර විදියට ලබා දෙන විද්‍යුත් කම්පන ප්‍රතිකාරය (Electro Convulsive Treatment ) ..අනෙක පිළිකා ප්‍රතිකාරයක් විදියට දෙන විකිරණ ප්‍රතිකරය (Radiation therapy)  ....(ඒ විතරක් නොවෙයි සන්ධි රෝග වලට ලබා දෙන Heat therapy (Thermotherpy පිළිබඳවත් සාමාන්‍ය ජනතාව අතරේ කියැවෙන්නේ කරන්ට් අල්ලනවා ,එහෙම නැත්නම් ලයිට් අල්ලනවා කියලා ...)


අපි මෙයින් සමාජය අතරේ  භයානක චිත්‍රයක් මවන්නට සමත් වෙලා තිබෙන මුල් අවස්ථා දෙක ගැන ටිකක් විස්තරාත්මකව කතා කරමු ....

පළමු අවස්ථාව ... මෙතැනදි කරන්නේ රෝගියා සිහිනැති කරලා , හරියට ශල්‍යාගාරයකදි වගේම විශේෂීත ජීවිතාරක්ෂක උපකරණ , E.C.G.වගේ පරික්ෂණ යන්ත්‍ර සම්බන්ධ කරලා ...බොහොම දැඩි නිරික්ෂණය යටතේ , ඉතා සුළු කාළ සීමාවක් , රෝගියාගේ මොළය හරහා සුළු විද්‍යුත් ධාරාවක් යවන එක ..මේක කරන්නේ අදාල ක්ෂේත්‍රය ගැන විශේෂ පුහුණුවක් තිබෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් මඟින් ....විශේෂයෙන්ම උග්‍ර අවපීඩනය Depression වගේ තත්ත්ව වලදි ඉතාමත් හොඳ ප්‍රතිපල ලබා දෙන මෙම E.C.T.ප්‍රතිකාරය 20-50% අතරේ ප්‍රතිඵලදායක බව අද හඳුනාගෙන තිබෙනවා . හුඟ දෙනෙක් දන්නවා මේකෙන් විකිරණ ප්‍රශ්නයක් නම් නැහැ කියලා ...බය තියෙන්නේ තමන්ගේ ඥාතියට “කරන්ට් එක අල්ලන“ එක තමයි ...ඔන්න ඕකයි එහෙනම් එතැනදි වෙන්නෙ ...මේ ගැන හොඳ වීඩියෝවක් මෙතැන තියෙනවා බලන්නකෝ ...

විකි රණේ ...උරණේ ...
හරි දැන් අපි ආයෙත් එමු ...අපේ මුල්ම කතාවට ..මේ කරන්ට් ඇල්ලිල්ල ගැන බයවෙන්නේ මේ විකිරණ ප්‍රශ්නේ නිසානේ  ..ඒ නිසා අපි ටිකක් වැඩි පුර මේ ගැන කතා කරමු .නැත්නම් වෙන්නේ Radiation therapy ගන්නා රෝගියා කිසිම හේතුවක් නැතිව සමාජයේදි කොන්වීමකට , ලක්වෙන එක ..ඒක ලෙඩේ නිසා හිත වැටිල ඉන්න මේ රෝගියා තවත් මානසිකව වට්ටන එක ..ඉතින් මේ ගැන හරියට දැනගත්තොත් ඔවුන්ට වන ඒ අසාධාරණයවත් අඩු කරගන්න පූළුවන් වේවි.

මුලින්ම මතක් කරගනිමු පිළිකාවක් කියන්නේ මොකක්ද ? ඒකේ ඇත්ත තත්ත්වය මොනවගේද කියන එක ...ඉතින් ඒකට ආයෙත් “රචනයක්“ ලියන්න ඕන නැහැනේ ...අපි මීට ඉස්සර ලිපි ගණනාවකදි මේ ගැන කතා කරල තිබෙනවා ..අද අපි කතා කරමු කොහොමද මේ පිළිකා සෛල කියන කරදරකාරී සෛලය  මරන්නට , දුර්වල කරන්නට මේ විකිරණ ප්‍රතිකාරය දායක වෙන්නේ කියලා ..මුල් ලිපි කියෙව්වනම් , නැතත් ඔබ දන්නවා මේ පිළිකා සෛල කිසිම පාලනයක් නැතිව බොහොම වේගෙන් පැටවු දමමින් පැතිරෙන බව , මේ පිළිකාව ගෙඩියක් නම් ටිකෙන් ටික වේගෙන් ලොකු වෙන බව ...ඔය නිසානේ රෝගියාට “රෝග ලක්ෂණ “ ඇතිවෙන්නේ ..දැන් මොකද කරන්න වෙන්නේ ...හොඳ කරන්න නම් කරන්න තියෙන්නේ වැඩ දෙකයි , එක්කෝ එයාව “කපල දාන“ එක ...එහෙම බැරිනම් “කොන් කරල“ අයින් කරල ..නොසලකා හරින එක ...එයින් මෙතැනදි කරන්නේ දෙවැන්න , ඒ කියන්නේ පිළිකා සෛල වලට නරක බලපෑම් ඇති කරමින් , ඒ සෛල තව දුරටත් බෙදෙන එක නවත්වමින් , ඊළඟ පිළිකා සෛල පරම්පරාව ඇතිවෙන එක නවත්වමින් රෝග තත්ත්වය පාලනය කරන එක ..නැත්නම් සියළුම පිළීකා සෛල මරල දාන එක ..

මේක කරන්නේ ගැමා කිරණ (හෝ විශේෂීතව සැකසු එක්ස් කිරණ ) වල ඇති ආරෝපිත Photon අංශු යොදාගනිමින් අර පිළිකා සෛල වල පැටවු හදන්න වැදගත්ම තැනට (න්‍යෂ්ටියට ...D.N.A වලට) පහර දෙන එක ..ඒ විදියට පැටවු හදන්න වැදගත් ම  D.N.A වෙනස් කරමින් දුර්වල කරමින් තමයි පිළීකා සෛලය මරන්නේ ..නැත්නම් ඊළඟ පරම්පරාව ඇති වීම වලක්වන්නේ ..කෙටියෙන්ම කිව්වොත් මේ විදියට ගැමා කිරණ වලින් පහර දීම මගින් පිළිකාව හැකිළිලා යනවා . මේ විදියට පිළිකාව හැකිළවීම සමහර අවස්ථා වල ශල්‍යකර්මයට පෙර කරන්නට වෙන්න පුළුවන් ...නැත්නම් ශල්‍යකර්මය හෝ  පිළිකානාශක ඖෂධ එක්කම හරි කරන්නත් පුළුවන් ..

මාර්ක්ස් .....??????
මේ විකිරණ ප්‍රතිකාරය ලබා දෙන මූලික ක්‍රම තුනක් තියෙනවා ..ඒකක් තමයි එක්ස් රේඑකක් ගන්නවා වගේ යම් කිසි යන්ත්‍රයක් මතදි  , අදාල සෞඛ්‍ය කණ්ඩායම විසින් තීරණය කළ , ස්ථාන කිහිපයකට පුංචි ලයිට් එළීයක් වගේ අල්ලන එක (දැනෙන තරම් කිසිම වේදනාවක් නැති තරම් ) ...සාමාන්‍යෙයන් එක දිගට දින 20ක් විතර වුනත් මේ විදියට කරන්ට් අල්ලන්න පුළුවන් ..මේ විදියට Radiation therapy දෙන දින ගණන , ස්ථානය , දෙන මාත්‍රාව තීරණය කරන්නේ ප්‍රධාන පුද්ගලයින් තුන්දෙනෙක්ගේ අධීක්ෂණය මත , ඒ තමයි පිළිකා සම්බන්ධව ඉන්න විශේෂඥ වෛද්‍යවරයා , දෙවැන්න විකිරණ ප්‍රතිකාර අංශයේ ඉන්න Physicist (භෞතිකඥයා) , අනෙක් පුද්ගලයා Dosimetrist  (මාත්‍රාමාපකයා...) ලංකාවේ බොහෝ වෙලාවට නම් මුලින් කී දෙන්න තමයි ප්‍රධාන වගකීම  දරන්නේ ..මේ සියල්ල ඔවුන් කරන්නේ , CT scan , Xray ආදියෙන් පිළිකාවේ ප්‍රමාණය , වර්ගය  , ආසන්න අවයව , රෝගියාගේ වයස , වෙනත් රෝග තත්ත්ව ...පැතිරීම වගේ දේවල් සියල්ල ගැනම හඳුනාගෙන ..මෙහෙ හඳුනා ගත්තට පස්සේ තමයි රෝගියාට ප්‍රතිකාරය , නැත්නම් විකිරණ ඇතුළු විය යුතු ස්ථාන ඇඟේ සළකුණූ කරන්නේ (දැකළ ඇතිනේ පුංචි ප්ලාස්ටර් කෑලි අලවපු ,නැත්නම් කළුපාටට තිත් වලයක් මේ රෝගින්ගේ ඇඟේ සළකුණු කරල තිබෙනවා) .. අපි මේ කතා කළේ එක් විකිරණ ප්‍රතිකාර ක්‍රමයක් තමයි , මේක නම් කරන්නේ ...External Beam Radiation Therapy -EBRT නමින් ..දැන් මේ ගැන වැදගත්ම කතාව ...මේවිදියට ඇඟේ මතුපිටින් නම් විකිරණ ප්‍රතිකාර ලබා දෙන්නේ , ඒ රෝගියාගෙන් වෙනත් අයට කිසිම හානියක් නැහැ ..

අනේ ඔහොම බය වෙන්න එපා ...
ඒ කියන්නේ EBRT ගනිත්දි කිසිම රෝගියාගෙන් ඉවතට විකිරණ විදීමක් සිද්ධවෙන්නේ නැහැ[When receiving external-beam radiation therapy, the patient does not become radioactive; the radiation remains in the treatment room. However, with internal radiation therapy, a number of safety measures are necessary.-http://www.cancer.net 2010-July-12] ...ආයෙත් කියනවා ...සම හරහා එළියෙන් විකිරණ ප්‍රතිකාරයට ලක්වන රෝගියෙක්ගෙන් ....විකිරණ විදින්නේ නැහැ ..කිසිම බයක් නැතිව ඒ රෝගියත් එක්ක සාමාන්‍ය විදියට ළංව සිටින්නට  , වැඩකටයුතු කරන්නට පුළුවන් ..හැබැයි එයාගෙන් ඔබට අනතුරක් නැති වුනාට ඔබෙන් ඒ රෝගියාට අනතුරක් වෙන්න පුළුවන් ..මොකද දන්නවද ? ...මේ ප්‍රතිකාරය ටික දවසක් ගන්නකොට , රෝගියාගේ ප්‍රතිශක්තිය , ඒ කිව්වේ  ලෙඩ වලට ඔරොත්තු දීමේ හැකියාව තාවකාළිකව අඩු වෙනවා , අන්න ඒ වෙලාවට ඔබ “ආදරෙන් ලෙඩක් අරන් ගිහින් දුන්නොත් ..“  ටිකක් කරදර වෙන්න පුළුවන් ..ඔබට නෙවෙයි ..රෝගියාට ..ඔන්න ඔය හේතුව නිසා රෝගියා ළඟ ලොකු පිරිසක් නොගැවසුනාට කමක් නැහැ ..හැබැයි හොඳට මතක තියා ගත යුතු දේ , මේ ගැන ඒ පුද්ගලයාට පැහැදිලි කරල දෙන එක ..නැත්නම් මේ වෙලාවේ හරියට හිත රිදෙනවා ...

කතාව රබර් වගේ ඇදුනද මන්ද ..මොව කරන්නද මේ මාතෘකාව මගේ ජීවිතේ හුඟක් සංවේදී මාතෘකාවක් ..ලියනවාට වඩා ලියැවෙනවා කිව්වොත් හරි ...

මෙන්න බෙහෙත් කූරු ..
දැන් අනෙක් ක්‍රමය ..මෙතැනදි කෙරෙන්නේ පිළිකාවට පහර දීමට අවශ්‍ය විකිරණ  , නැත්නම් ගැමා කිරණ (හෝ ආරෝපිත ෆෝටෝන අංශු ) පිට කරන විකිරණශීලී මුල දුව්‍ය , නැත්නම් බෙහෙත් අඩංගු කූර .., කරල ඇඟ ඇතුලේ තැන්පත් කරන එක ...මේ විදියට තැන්පත් කරලා යම් දින ගණනක් ස්ථාවරව තබනවා ..කොහොම වුනත් මේ විදියට මේ විකිරණශීලී ඖෂධය අඩංගු උපකරණය ඇඟට ඇතුළු කරන්නේ , හරියටම පිළීකාව තිබෙන තැනට පමණක් වැඩි බලපෑමක් වන විදියට ..ඒත් මෙන්න මේ අවස්ථාවේ නම් රෝගියාගෙන් ඉවතට සුළු විකිරණ ප්‍රමාණයක් විහිදෙන්න පුළුවන් ...ඔන්න ඔන්න ..දැන් බය වුනා නේ ...ඉන්නකෝ ...කියල ඉවරවෙනකම් ...

හංගපු විකිරණ කූරූ
මේ විදියට විකිරණ ඉවතට විහිදෙන්න හැකි අවස්ථාවලදි බොහෝවිට රෝගියා ඒ සඳහා විශේෂිත වූ රෝහල් ඒකකයක රඳවනවා ...ඒ නිසා දැන් ගොඩාක් බයවෙන්න එපා ...එසේ නොකළ හැකි අවස්ථාවලදි , ඉවතට බලපෑම ඉතාමත් සීමා වන විදියට ප්‍රතිකාරමය උපක්‍රම (ශල්‍යකර්ම මගින්) භාවිත කරල ...රෝගියාව නිවසට යවන්නත් පුළුවන් ..හැබැයි එතැනදි විශේෂිත උපදෙස් කිහිපයක් දෙනවා , ඒතමයි යම් කාල සීමාවක් ..දින 14ක් නැත්නම් දින 30ක් (මේක රෝගය සහ ප්‍රතිකාරයේ මට්ටමත් එක්ක වෙනස්වෙන්න පුළුවන් දෙයක්)  රෝගියාට නිවසේ වෙනම ස්ථානයක් සූදානම් කර..අනෙක් අය සමඟ ගැටෙන්නට ඇති අවස්ථාවන් අඩු කළ යුතු බව ..අනෙක අවශ්‍යම අවස්ථාවකදි වුනත් ආසන්නයට යන පුද්ගලයාට වන අනතුර අඩුකර ගත හැකි ක්‍රම පැහැදිලි කර දීම , ( T.D.S. කියල අපි කෙටියෙන් කියන ...අඩු කාළ සීමාවක් අදාල රෝගියා සමඟ කටයුතු කිරීම Time  අනෙක තමන්ට විකිරණ වලින් විය හැකි හානිය අඩුවන ආකාරයට රෝගියා ගෙන් තරමක් ඈත්ව (අඩුම තරමේ අඩි 3ක් පමණවත් ) අදාල කටයුතු කිරීම (Distance) අවසන් කරුණ හැකිනම් විශේෂිත ආරක්ෂ ඇඟළුම් භාවිත කිරීම Shield)  , ඒ වගේම මේ කාළ සීමාව තුල වයස අවුරුදු 18 ට අඩු  දරුවන් , සහ ගර්භනී කාන්තාවන් මේ ආසන්නයට නොයා යුතු බව ...මෙන්න මේ කරුණූ විස්තරාත්මකව පැහැදිලි කරල දීල තමයි මේ විදියට විකිරණශීලී ඖෂධ ඇඟට ඇතුල කළ (කරල් හෝ කූරු වශයෙන්) රෝගියාව නිවසට යවන්නේ ..අර මුලින් කී දවස් ගණන ගියාට පස්සේ බයවෙන්න තරම් කාරණාවක් නැහැ ..මොකද ඒ දින ගණන දෙන්නේ අදාල බෙහෙත් ශක්තිය පවත්නා කාළයත් එක්ක ගණනය කරලා , ඒ කියන්නේ Half life එකත් එක්ක ..  මේ විදියට විකිරණශිලි ඖෂධ අඩංගු උපකරණයක් ඇඟට ඇතුළු කරලා විකිරණ ප්‍රතිකාරය ලබා දෙන ක්‍රමය නම් කරන්නේ Brachytherapy කියලා ..ඊටම කියනවා Internal Radiation therapy කියන නමත් ...

බීපු විකිරණශීලී අයඩින් මගින් විනාශය කරන අයුරු
තවත් ක්‍රමයක් තියෙනවා විකිරණ ප්‍රතිකාර දෙන ..ඒ තමයි විකිරණශීලී ඖෂධය කටින් ..එහෙම නැත්නම් ඉන්ජෙක්ෂන් මාර්ගයෙන් ඇඟට ඇතුළු කරන එක (Systemic radiation therapy ) ..එතකොට ඒ බෙහෙත් ඇඟ දිගේ ..ලේ දිගේ යමින් පිළිකා සෛල සොයමින් පහර දෙනවා ..විශේෂයෙන්ම තයිරෝයිඩ් පිළිකා වලදි සාර්ථව යොදගන්නා විකිරණශීලි අයඩින් ප්‍රතිකාර මීට හොඳ උදාහරණයක් ...මේ අවස්ථාවේ දි නම් රෝගියා ගෙන් ඉවතට යම් විකිරණ ප්‍රමාණයක් විහිදෙනවා ..රෝගියාට එය ප්‍රතිකාරයක් වුනත් ඒ පිටවන විකිරණ ලක්වන අන් අයට එය හානියක් වන්නට පුළුවන් ... (දැන් මේක පටලවා ගන්න එපා , බහුලව ලබා දෙන පිළීකානාශක ඖෂධ Chemotherapy කියන විදින බෙහෙත්  ගැන නොවෙයි මේ කියන්නේ ...ඒ සාමාන්‍ය පිළිකා වාට්ටුවෙදි  නැත්නම් සායනයෙදි විදින බෙහෙතේ කිසිම විකිරණයක් නැහැ ...සමහර වෙලාවට ඒ සේලයින් බෝතල් ආවරණය කරල තියෙන්නේ විකිරණ නිසා නොවෙයි ...ඒ ඖෂධ වලට ඉර එළිය තදින් වැදුනොත් ක්‍රියාකාරීත්වය අඩු වෙන්න පුළුවන් නිසා ) .....අන්න ඒ නිසා තමයි මේ විදියට විකිරණශිලී බෙහෙත කටින් හරි ..විදින බෙහෙතක් විදියට හරි ලබා දෙන අවස්ථාවේ රෝගියා විශේෂිත ඒකකයක රඳවන්නේ ..සාමාන්‍යෙයන් කියන්නේ අයඩින් යුනිට් එක කියලා ...
ආරක්ෂීත බිත්ති ...
එය හදලා තියෙන්නේ විශේෂිත ආරක්ෂක පටල සහිත බිත්තියකින් ...එහි මල අපවහන පද්ධතිය ...ජල අපවහන පද්ධතිය පවා විශේෂ දැඩි ඝණකමකින් යුක්තවයි හදල තියෙනනේ ...මොකද මේ රෝගියාගේ ඇඟෙන් වගේම , කෙළ ..මළ මුත්‍රා හැම දෙයකින්ම විකිරණ පිටවන්නට හැකි නිසා ...සාමාන්‍යෙයන් මේ විදියට විශේෂීත ඒකකය තියගෙන ප්‍රතිකාර ලබා දෙන අවස්ථාවේ සාමාන්‍ය ප්‍රජාවේ අයට මේ රෝගියාගෙන් කිසිම අනතුරක් නැහැ ..විය හැකි යම් සුළු අවස්ථාවක් ඇතොත් ඇත්තේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට පමණයි ..නමුත් එය ඉතා සීමිත අවස්ථාවක් ...ඊට අවශ්‍ය ආරක්ෂක උපකරණ සහ විධිවිධාන නිසි ලෙස අනුගමනය කරනවා නම් ඒ අවස්ථාව හුඟක්ම අඩුයි ..

ඇති යාන්තම් ....ඉවරයි වගේ ...නේද?....අද මේ කතා කළේ විකිරණ ප්‍රතිකාරයේ හොඳ නරක ..එහෙම නැත්නම් ප්‍රතිකාරය ගන්නා රෝගියෙක්ට උපදෙස් වගේ දෙයක් නෙවි ..ඒ ගැන දැන ගන්න ඕන නම් ඔබට පුළුවන් මීට පෙර පිළිකා ගැන සහ ප්‍රතිකාර ගැන ලියා ඇති ලිපි වලින් එම තොරතුරු ලබා ගන්න ..මට අදනම් ඕන වුනේ මේ විකිරණ ප්‍රතිකාර ගන්න රෝගියා (නැත්නම් කරන්ට් අල්ලන ලෙඩා) ..බෝම්බයක් වගේ මහ භයානක කෙනෙක් නෙවෙන බව පෙන්වන්නයි ...එහි ඇත්ත තත්ත්වය පෙන්වන්නයි ...

එහෙමනම් විකිරණ ප්‍රතිකාරයට ලක් වන ඔබේ මිතුරා , ඥාතියා නැත්නම් අසල්වැසියා පිළිබඳ භයංකාර හොල්මන් දැකීමෙන් වැළකි ,ඔහුට ..ඇයට සමාජයේ අනෙක් පුද්ගලයෙක්ම මෙන්ම සලකන්නට කටයුතු කරන්න ...නමුත් ප්‍රතිකාර ගන්නා කාළ සීමාවේ වැඩිය ලං නොවී ඉන්න .....මොකද ඒ ...ඔහුගෙන් ඔබට අනතුරක් නොවුනත් ඔබෙන් ඒ රෝගියාට අනතුරක් වෙන්න පුළුවන් නිසා ....රෝගියාව පරිස්සම් කරන්න ...එච්චරයි කතාව ...

දැන් පසු කතාව ...මධුෂාණි  ඉදිරි දෙක තුල Systemic Radiation Therapy සඳහා ඔබ සැමගේ උපකාරයෙන් රෝහල් ගත වේවි ...ඇයට ලබා දෙන විකිරණශීලී අයඩින් ප්‍රබල කිරණ මුදහරිමින් ලේ නහර පුරා දිව යාවි ...ඒ අයඩින් හරිම කැමැත්තෙන් තයිරොයිඩ් සෛල වලට ..නැත්නම් ඊට සම්බන්ධ පිළිකා සෛල තුලට රිංගාවි ...(මොකද අයඩින් තමන් තුලට කැන්දා ගන්නා මේ සෛල ආසාවෙන් ඉන්නේ ...) ...එහෙම ඇතුළු වන විකිරණශීලී අයඩින් එම තයිරොයිඩ් සෛල විනාශ කරාවි ..එදා ඒ තයිරොයිඩ් පිළිකා සෛලවලට තේරේවි ...මගේ යාළුව වන අයඩින් කියල ගේ ඇතුලට දාගත්තට මේ  කෙනානම් මගේ යාළුව වගේම ඉන්න හතුරෙක් කියල ..ඕව කොහේ හිතන්නද ..විකිරණශිලී අයිඩින් ඒ සියළු පිළිකා සෛල , තයිරොයිඩ් සෛල විනාශ කරනවා ....ඇය සුවපත් වෙනවා ඇය සුවපත් වෙනවාමයි ....හැබැයි ඇයට ජීවිත කාළෙම තයිරොක්සින් පෙති ගන්නට වෙනවා ...ඉතින් මොකද ?....සති කිහිපයකින් ඇය ආයෙත් සිනාසෙනවා ...යෞව්වනයේ සොඳුරු හැඟීම් පුරවාගෙන ඇය  සිනාසේවි සතුටින් ...ඉපිලේවි සතුටින් ..පිළිකාව පරදා මිනිස්කමට ජය ගෙන දුන්නාට ...ඒ ඉපිලෙන සතුට ඔබේ සිත් පහන් කරනා බව මට විශ්වාසයි ...ඒ කෙළි පොඩ්ඩිට  ජීවිතය දෙන්නට ..දිරිය දෙන්නට එක්වුනු සැම පිං පුදනවා ...නමුත් ඒ ගැන විස්තරාත්මක ලිපියක් ඔවුන් ඒ පිළිබඳ සම්පුර්ණ තොරතුරු ලබා දුන් පසු ලියන්නට හිතේ තියෙනවා ...

ඒසේනම් සමුගන්නට අවසරයි ....

සමුගන්න බැහැ නොවැ “සයිබරයේ සිහින උළෙල “ ගැන නොකියා ...ඉතින් භාග්‍යවන්ත මාසයේ විසි දෙවනදා වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මේ සොඳුරු ඉසව්වට එන්නට පින නැතිමුත් සුබ පතන්නම් ඒ ගැන තොරතුරු http://cyberfestival.blogspot.com/ මගින් සහ https://www.facebook.com/profile.php?id=100003496014469  තුලින් ...අන්තර්ජාලයේ ලාංකීය මිතුරන් හමුව ඒ සුහද බව තවත් නංවන්නට මේ අත්වැලක් වන බව නම් විශ්වාසයි ...දුකක් තියෙනවා ...ගිය අවුරුද්දේ ඔය කාළෙ මම සිංහල බ්ලොග් ගැන කිසිවක් දැන සිටියේ නැහැ ..දැන ගෙන ටිකක් අඩිය තියනකොට මේ අවුරුද්දේ වැඩසටහනට එන්න විදියක් නැහැ සිටින්නේ දුර ඈතක නිසා ...කමක් නැහැ ...ඉදිරි වසරකදි ඔය හැමෝමත් එක්ක හමුවෙලා කතා කරන්නට සිතාගෙන එතෙක් මේ Digital අවකාශයේදී ගතින් හමුනොවී , සිතින් හමුවී දොඩමළු වෙමු .....

දැන් නම් සමුගන්න වෙලාව හරි .....පොඩ්ඩක් උඩට ගිහින් “අර වෙලාවත් “ බලලම යන්නකෝ ....

18 comments:

  1. ඔබ තුමාට මා මීට පෙරත් සඳහන් කර ඇති මගේ ලඟම ඥාති සොහොයුරියකට තියෙන පිලිකාවක් ගැන . ඇයත් යනවා මේ කරන්ට් අල්ලන්නට . නමුත් මම කිසිම දිනක ඇයගෙන් මේ පිලිබඳව විමසා නැහැ දැන ගන්නට කැමත්ත තිබුනත් . ඇයගේ සිත පාරවන්න අකමැති නිසා.
    …විස්තරය බොහොම පැහැදිලියි . බොහෝ නොදත් කරුණු දැනගත්තා .
    …බොහොම ස්තූතියි .

    …මධූෂාණි ගැන අපිත් බලාපොරොත්තු දල්වා බලා සිටිනවා . ඇයට සුවපත් වෙනකම් .

    ReplyDelete
  2. හරිම වැදගත් ලිපියක්. පුංචි ප්‍රශ්නයක් තියනවා. පිළිකා සඳහා ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ හිස කෙස් හැලීයාමක් මා දැක තිබෙනවා. එසේ වන්නේ මෙම විකිරණ ප්‍රථිකාරය නිසාද? හැකිනම් පහදා දෙන මෙන් ඉල්ලා සිටිනවා.

    ReplyDelete
  3. මහේෂ්,
    කීමො තෙරපි හා රේඩියේෂන් තෙරපි අතර වෙනසක් තියෙනවද?

    මධුෂානි ගැන විස්තර ලිව්වාට ස්තුතියි..

    ReplyDelete
  4. ප්‍රතික්‍රර්මය ගැන අපිව දැනුවත් කලාට ස්තුතියි
    අපි ඒ ගැන මොනවත්ම දැනගෙන හිටියේ නෑනේ

    ReplyDelete
  5. -Gimhani,
    ස්තුතියි ඔබට පැමිණීම සහ අදහස් දැක්වීම වෙනුවෙන් ..

    -priyantha,
    ඔව් ප්‍රියන්ත මහත්මයා ...මේ අවස්ථා දෙකේදිම හිස කෙස් යාම වෙන්න පුළුවන් ...ඉන් වැඩිම අවස්ථාව තිබෙන්නේ පිළිකානාශක ඖෂධ වලදි , හේතුව මේකයි ..මේ ප්‍රතිකාර දෙකේදිම වැඩිම පහර “කළබළකාරී සෛල“ නැත්නම් ඉක්මණින් බෙදෙන සෛල වලට වැඩි පහරක් දෙන විදියට ..මේ විදියට ක්‍රියාත්මක වන ඖෂධය , නැත්නම් විකිරණ ප්‍රතිකාරය “කළබලෙන්, වේගයෙන් බබෙදෙන පිලිකා සෛල වලට “ වැඩි හානියක් කරන අතරේ ..ඒ වගේම වේගයෙන් බෙදෙන සාමාන්‍ය සෛල ..ඒ කියන්නේ සමේ සෛල , කට ඇතුළේ ..බඩේ ඇතුළු ස්ථරය වගේ තැන්වල හොඳ සෛල වලටත් මේ ප්‍රතිකාරයෙන් පහර වදිනවා ..ඒ නිසා තමයි ඔවුන්ගේ කෙස් හැළෙන වේගය වැඩි වන්නේ ...(ඒයත් සමේ ඉන්න “කළබළකරී සෛලයක් ) ...ඉතින් ඔන්න ඕකයි වෙන්නේ ...මේ ගැන මගේ 15 , 26 , 39 . ලිපි වලින් විස්තරාතමකව කියැවෙනවා ....ස්තුතියි ඔබේ පැමිණීමට ..අදහස් දැක්විමට ..

    -රූ.... ,
    මේ දෙක අතර වෙනස්කම් සහ සමානකම් දෙකම තිබෙනවා ..වෙනස්කම තමයි කීමෝතෙරපි වලදි රසායනිකමය පහරදීමක් මඟින් පිළිකා සෛල මරණ එක සහ විකිරණ ප්‍රතිකාරයේදි ගැමා කිරණ වගේ ශත්කිමත් ආරෝපිත අංශුමය කිරණ මඟින් පිළිකා සෛල මරණ එක .. දෙකේදිම කළබලකාරී සෛල , පිළිකා සෛල දෙවර්ගයටම අනතුරු සිද්ධවෙන්වා ...මේ ගැන මගේ 15 , 26 , 39 . ලිපි වලින් විස්තරාතමකව කියැවෙනවා ,
    ස්තුතියි

    -ජිංජිබිරිස් ,
    පැමිණියාට වගේම අදහස් දැක්වූවාටත් ස්තුතියි ...(ලස්සන නමක්නේ දාගෙන තියෙන්නේ ...අපේ පොඩ්ඩිට ඔය හිනා මනාවයි ..)

    ReplyDelete
  6. දිනෙන් දිනම අලුත් දේ කියා දෙනවාට බොහොම ස්තුතියි .

    ReplyDelete
  7. -Bindi ,
    ස්තුතියි බින්දි ...

    ReplyDelete
  8. අද තමයි මුලින්ම මෙහෙම දෙයක් දැන ගත්තේ.. බොහොම ස්තූතියි මහේෂ් අයියේ..

    අනිවා මධුෂාණි සුවපත් වෙනවාමයි..

    ReplyDelete
  9. -Mr.Sithi ,
    ස්තුතියි ඔබට....

    ReplyDelete
  10. ගොඩාක් වටිනා ලිපියක්. මගේ හොදම මිතුරියකගේ අම්මා ටත් පිළිකාවක් තිබුනා. දැන් මේ වෙනකොට ඇය මිය ගිහින්. ඒ උනත් ඇය මහරගම ප්‍රතිකාර කරනවිට අයව බලන්න යන්න ලග ඉන්න කැමැත්තක් දැක්කුවේ නැහැ ඔය විකිරණ වලට දක්වන බිය නිසා. අන්තිමට ලොකු ඇය නැති නිසා මගේ මිතුරිය නැවතුනා, ඇගේ තනියට මමත් නැවතුනා

    ReplyDelete
  11. විකිරන ප්‍රතිකාරවලට ගොඩක් අය බයවෙන්නෙ මේ වගේ දැනුවත් කිරීම් නැති නිසා . . . ස්තුතියි අයියට මේ දැනුවත් කිරීම් වලට

    ReplyDelete
  12. ලංකාවට ආපු වෙලාවෙ අවාසනාවන්ත විදිහට දැනගන්න ලැබුණා වසීලීස්සගෙ රටේ මගේ සහෝදරියක් වගේ ලඟින්ම ඉන්න මිතුරියකගෙ තාත්තට prostate cancer එකක් නිසා මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ගන්න සිදු වෙලා බව..අංකල්ට නම් දැනට කරදරයක් නැහැ..

    ඉතින් අංකල්ව බලලා ඒ ගමන්ම මම චූටි අක්කලගෙ ගෙදරත් යන්න තමා සූදානම් වුණේ..අපේ චූටි අක්කලෙගෙ ගෙවල් තියෙන්නෙ මහරගම පිළිකා රෝහලේ ඉඳලා පයින් යන දුරක..අර කියපු අක්කගෙ දුරින් නෑදෑ වෙන..චූටි අක්කලගෙ ගෙවල් වලට කිට්ටුවම පදිංචි ආන්ටි කෙනෙකුත් ඒ වෙලාවෙ ලෙඩා බලන්න ඇවිත් තිබුණා.අපි දෙන්නම රෝහලෙන් පිටවෙලා කටුවාවල පාරට ඇවිදගෙන ගියේ රෝහල් තාප්පෙ අයිනෙන් වැටිලා තියෙන පාරෙනුයි..එතකොට තමා ඒ ආන්ටි කිව්වෙ..ඒ හරියෙ පදිංචි වෙලා ඉන්න අයත් ඔය ''කරන්ට් ඇල්ලිල්ල'' නිසා අසනීප වෙනවය කියලා..ප්‍රතිකාර වලදි හාවිත වෙන විකිරණ ධාරිතාව ඉතාම කුඩා ප්‍රමාණයක් බව මම පැහැදිලි කරල දෙන්න උත්සහ කලාට එයා ඒක පිළිගත්තෙම නෑ...මේ ලිපිය දැක්කහම මට හිතුනෙ ආනේ ඒ ආන්ටිත් මේක කියෙව්වනම් කියලයි..මොකද ඒ මනුස්සය ඔය විදිහට කී දෙනෙක්ට කියාවිද දන්නෙ නැති නිසා... වටින ලිපියක් හෙද තුමනි...

    ReplyDelete
  13. කියවනකොට නම් බයත් හිතෙනවා........... ඒත් ගොඩක් වටින ලිපියක්....... බොහෝම ස්තුතියි මෙහෙම ලිපියක් පළ කළාට....

    ReplyDelete
  14. -වර්ණා ,
    ඔව් ඔය තමයි සිද්ධවෙන දේ මේ කරුණූ හරියට නොදැනීම නිසා ....
    ස්තුතියි ඔබට ..

    -ඕනයා .
    ඇත්තෙන්ම ..ස්තුතියි පැමැණිම වෙනුවෙන් මල්ලි..

    -මකුළු පැංචි ,
    ඔව් මේ වැරදි කතාවල් හරි ඉක්මණට ප්‍රචාරය වෙනවා ...නමුත් නිවැරදි දේ පතුරවන්න සෑහෙන මහන්සියක් ගන්නට වෙනවා ..පුළුවන්ම නම් මේ ගැන දැනුවත් කරන්න ..එය ලොකු පිනක් ...ස්තුතියි පැංචී ....

    -chamari
    ඇත්ත කතාව තමයි ලිවේ ..දැනුවත් වුනානම් සතුටුයි ...ස්තුතියි

    ReplyDelete
  15. Yeah. Its true. But, there were so many researches going on selective cancer drug peptoids design. Arn't they still in usable stage?

    So much researches are published on selctive cancer drugs on pubmed. Y sri lanka still not use them?

    ReplyDelete
  16. -Anonymous ,
    Yes I agreed with you , and Oncology is a very interesting subject with more researches. But some newly anticancer drugs are very expensive.However , actual situation in our hospital is some time we do not have enough vitamin tablets.
    But as you say , if we use modern anticancer drugs , we can cure or totally control most of cancers.
    Thank you .

    ReplyDelete
  17. mama adai me lipiya kiyewwe.kiyanna bari tharam watinawa.mokada mageth thayroid 1,iwath karala thiyenne.matath cancer ekak thibuna .namuth dan eka suway,mata danaganna ona thayroiud eka iwath kirimen mata athiwana athuru abada.ewa walakka ganna krama

    ReplyDelete
    Replies
    1. සතුටුයි ලිපිය කියෙව්වාට වගේම අත්දැකීම් ඇති ඔබෙන් ලැබුණූ කොමෙන්ටුවට , මෙහෙමයි , තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කළාම ස්වභාවිකය ඇඟට තයිරොක්සි්න් ලැබෙන ක්‍රමය නැතිව යනවා , නමුත් ඒ අඩුව පුරවන්නට අද තයිරොක්සින් පෙති ලබා ගන්නට පුළුවන් , සමහර විට දැනටමත් ඔබට එම පෙති ලබා දෙනවා ඇති , එය නිසි ලෙස දිගටම ගැනීම මගින් , තයිරෝඩයඉවත් කිරීම නිසා ඇතිවන අතුරු ආබාධ බොහොමයක් සම්පුර්ණයෙන්ම අඩු කරගන්නට පුළුවන් .
      ස්තුතියි

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)