2012/03/03

86) සුදු මළ දෙන “ගාල්ලේ රතු ගල“

සෙනසුරාදා දවස ...වෙනදාට වඩා අද ටිකක් බර සෙනසුරාදාවක් ..මොකද වෙනදනම් හරිම සැහැල්ලුවෙන් ගේ දොර එහෙම අස්පස් කරල ..විවේකයෙන් ඉන්න දවසනේ .ඒ වුනාට අද ටිකක් කාළගුණය හොඳ නැහැ .අඳුරු  වගේම කුණාටුවක් වගේ දවස පුරාම තද හුළඟක් ...මීට කිලෝමීටර් හය සීයකට විතර එහා ඉන්ඩියානා ප්‍රෙද්ශය හරහා හමාගිය දරුණූ ටොනේඩෝවත්  එක්ක ඊට ආසන්න මේ පළාත් පිළිබඳවත් “දරුණූ සුළං ඇතිවීමේ“ අවදානම ගැන දිගින් දිගටම කියැවුනා .


 

ඉතින් කෝකටත් කියලා රූපවාහිනියේ කාළගුණේ ගැන කියන චැනල් එක දවස පුරාම වගේ ක්‍රියාත්මකව තිබුණා ...ඒ අතරේ මනෝජ ගේ අස්පස් කරල ..කුස්සියට වැදුන ..මම කාළෙකට පස්සේ ලැබුණූ ලස්සන නවකතාවකට මගෙ සවන් යොමාගෙන හිටිය ...මේක කියවන්න ඕන එකක් නොවෙන නිසා අහගෙන හිටියා ..මොකද මේක Audio edition එකක් . කතාවේ හඩ ලබා දෙන්නා Scott Sowers මුළු කතාවම පණ දීල කියනවා..මට නම් මතක් වුනේ මීට අවුරුදු දහයකට , විස්සකට විතර ඉස්සර අපි ආසාවෙන් අහන් ඉඳපු “ගුවන් විදුලි රඟ මඬළ“ ...ඒ වගේම මැවිල පේන විදියට මේ කතාව මට ඇහෙනවා .. මේ අතරේ පොඩ්ඩො දෙන්න  අධ්‍යාපනික රූපවාහිනි චැනලය නරඹනවා ..මමත් මේක කනේ ගහගෙන ටීවී එක දිහා බලාන උන්නා ..මට තේරෙන විදියට එය ප්‍රංශ භාෂාවෙන් කෙරෙන වැඩසටහනක් ..දෙන්නම දන්න French වචන අල්ල ගන්න හරි පුළුවන් නිසා හරිම ආසයි මේ ප්‍රංශ වැඩසටහන නරඹන්නට ..මමත් ඇහැ එතන තියාගෙන හිත Impact එකේ රඳව ගත්තා ..පොඩ්ඩක් ඇස් දෙක පියාගත්තා ..කතාව ඒ තරම් ලස්සනයි ...

....??....?? ...කවුදෝ ඇවිත් මට තට්ටු කරනවා ...මෙන්න බැලින්නම් පොඩ්ඩි මගේ කරේ නැගළ ..“මොකද මේ...කෝ දැන් බල බල හිටිය එක ඉවරද ...“ ....
“නෑ ..තාත්තේ අරකේ ගාල්ල ගැන කිව්වා ..අක්කි කියනවා නෑ කියල ...“ පොඩ්ඩි මූණ නරක් කරගෙන ..
“නෑ ...තාත්තේ ......“ ලොකූ මොකක්දෝ කියන්න හැදුව විතරයි ..
“නෑ මෙයා කියන්නේ බොරු තාත්තේ ...කිව්වා කිව්වා ..කිව්වා ..ගාල්ල ගැන තමයි කිව්වේ ...ලෙඩක් ගැනත් කිව්වා ...ඒ වුනාට ...“ පොඩ්ඩි දිනන්නමයි හදන්නේ ...
ලොකු දැන් ටිකක් කළබල අඩුයි ..ලොකු අක්කනේ ...එයා විස්තර කරන්න හදනවා ..“ නෑ තාත්තේ ..ඒකේ කියන්නේ බඩේ හැදෙන ලෙඩක් ගැන ...ඒකට කියන නම් ගැන කියත්දි මොකක්ද ගෝල් කතාවක් කිව්වා ..මෙයා මේක ඇහුණ විතරයි ....“...
“ගෝල් කතාවක් ..?....“
“ඔව් මොකක් හරි ගෝල් .......“ ..
“ගෝල් ස්ටෝන්ද ?..........“  මම ඇහැව්වා..
තාත්තට දාන්නට ප්‍රශ්න සොයනවා ...
“අන්න හරි . ඒක තමයි ...ඒකට ෆ්‍රෙන්ච් වලින් කියන්නේ කැල්කියුලි බිලියරී  කියලා ......මෙයා මේකට මාත් එක්ක රංඩුව ගාල්ල ගැන කිව්ව කියල ..“
“ඔව් පුතේ නංගි තාම එච්චර ෆ්‍රෙන්ච් වචන දන්නේ නැහැනේ ..., ඔයා  නංගිට කියල දෙන්නකෝ ඉතින් ..“
මට තව ටිකකින් වෙන දේ දන්න නිසා ගොඩින් බේරෙන්න හැදුවා ...
“මාත් දන්නෑ ...ඒකේ නම කිව්ව විතරයි ...ඇත්තටම මොකක්ද තාත්තේ Gallstone කියන්නේ ?“ ...ලොක්කිගේ ප්‍රශ්නයක් ....දැන් ඉතින් මගේ වැඩේ ඉවරයි ..කමක් නැහැ අද නිවාඩු දවසේ ගෙදර පන්තිය කළෙත් නැහැනේ ...“හ්ම් එහෙනම් එන්න දෙන්නම ...දෙන්නටම කියල දෙන්නම් ..හැබැයි ඊට පස්සේ මීට වඩා විස්තර හොයල මට කියන්න ඕන ..තේරුණානේ ....?‘......

දැන් ඉතින් කුණාටු ගැන ටොනේඩෝ ගැන කවුරුවත් කතා නැහැ ..මනෝජ නම් රේඩියෝ එකේ සද්දේ ටිකක් වැඩි කරගෙන ...අපි පටන් ගත්තා කතාව ...

දැන් ඉතින් මේ පොඩ්ඩෝ දෙන්නට කළ කතාව මෙතැන කියල හරියනවයැ නේද  ? ඒ නිසා මේ “ගල“ ගැන ඊට වඩා ටිකක් විස්තර සහිතව අපි කතා කරමු ...

ඇහෙන විදියට නම් පොඩ්ඩි කිව්ව වගේම “ගාල්ලේ ගලක් “ තමයි ...Gallstone ....ඒ වුනාට මෙතන Gall නේ ..ඒ කියන්නේ “පිත“ ..එහෙමනම් මේ කතාව ‘‘පිත් ගල්‘‘ ගැන ..

මොකක්ද මේ පිත ..ඔව් අපි කතා කරනවනේ වා පිත් සෙම් කියල දේකුත් ගැන ..මෙතැනදි කියන්න යන්නේ නම් ඒ සංකල්පයමද මම දන්නේ නැහැ ..අපි මේ කියන්න හදන පිත ...නැත්නම් Bile කියන්නේ අක්මාව ඇතුලේ නිශ්පාදනය වෙලා ..පිත්තාශය නැත්නම් Gallblader එක ඇතුලේ ගබඩා වෙලා ඉඳළ ටික ටික ආහාර මාර්ගයට ඇවිත් ..අපේ ආහාර දිරිවීමට විශේෂයෙන්ම අපේ ආහාරයේ මේද , තෙල් කොටස් ජිරණය කරගන්නට උදව් වෙන දියරයක් ...මේක කහ කොළ පාටට හුරු දියරයක් ..ප්‍රධාන වශයෙන් ජලය අඩංගු මේ දියරය ඇතුලේ කොලෙස්ටරෝල් , විවිධ අයන වර්ග එක්ක කහ පාට ලබා දෙන වර්ණකය Bile salt හදන්නේ නම් අපේ ඇඟේම තියෙන මිය ගිය රතු රුධිරාණූ උදව්වෙන් ..ඒ මිය ගිය රතු රුධීරාණූ වල තියෙන යකඩ කොටස මගින් තමයි මේ කහපාට  හැදෙන්නේ ..දැන් ඉතින් මේ කහ පාට වර්ණකය (බිලිරුබින් වැනි ) පිත එක්ක එකතු වෙලා අර කී වැඩ වලට අමතරව මල වලට “කහ පැහැය“ දෙන්නටත් උදව්වෙනවා ...

ඔය තමයි  Bile ගැන කෙටි කතාව ..දැන් ඉතින් ඔතන ගල් හැදෙන්නේ කොහොම ද ? ..හේතු ගණනාවක් ..සමහර විට පිත්තාශය ඇතුලට වැඩිපුර කොලෙස්ටරෝල් හදල එවන නිසා වෙන්නත් පුළුවන් ..ඒහෙම එන කොලෙස්ටරෝල් පිතේ තියෙන වතුර එක්ක දියවෙන්නේ නැතිව වෙන වෙනම ගුළි ගැහිල “ගල්“ හැදෙන්න පුළුවන් ..ඒ වගේම කැල්සියම් වගේ අයන ඇවිත් පිතේ තියෙන අනෙක් සංයෝග එකතු කරල බැඳ ගෙන “ගලක්“ හදා ගන්නත් පුළුවන් ...ඒ විතරක් නෙවි ..සමහර රෝග තත්ත්ව වලට දෙන ඖෂධ වල බලපෑමෙන්ම “පිත් ගල්“ Gallstone   හැදෙන්නත් පුළුවන් බව අද හඳුනාගෙන තිබෙනවා ....ඒත් වාසනාවක් ..හුඟක් වෙලාවට මේ විදියට පොඩි ගල් හැදුනත් ඒව විටෙක දියවෙලා යනවා ..නැත්නම් කරදර කරන්නේ නැතිව පිත්තාශය ඇතුලේ හැංගිලා ඉන්නවා ..ඇත්තම කිවවොත් අපි හුඟ දෙනෙක්ගේ ඇඟ ඇතුළෙ මේ කියන Gallstone තියෙන්න ඉඩක් තියෙනවා ..ලක්ෂණ නැතත් .

මෙන්න මේ අය ටිකක් පරිස්සමින් මේ ගැන සොයල බලන එක හොඳයි ...ඒ කිව්වේ මේ අය ටිකක් අවදානම වැඩි කණ්ඩායම ....මොකක්ද මේ කණ්ඩායම ..ඒකේ නම තමයි 3F....අළුත් ගෘප් එකක් වගේ නේ ..ඔව් මේ තමයි Fat , Fourty ,  Female කියන අවස්ථා හතර ..ඒ කිව්වේ හුඟක් තරබාරු අය, කොළෙස්ටරෝල් අධික  ...වයස 40 වගේ සීමාවේ ඉන්න අය ..එයිනුත් කාන්තාවන් ...මෙන්න මේ තුන් දෙනා හුඟක් අවදානම් මේ පිත්ගල් ඇතිවෙන්න ...ඒ වගේම ගර්භණී අවස්ථාවේ ඉන්නා කාන්තාවනුත් ..උපත් පාලන පෙති හෝ යම් හෝමෝන ලබා ගන්නා කාන්තාවනුත් මේ ගල් අනතුරේ ඉන්නවා ...ඒ වගේම රැධීරය ආශ්‍රිත ලෙඩ (රතු රුධිරාණූ අධිකව සහ අසාමාන්‍ය ලෙස බිඳී යන) හෝ අක්මාව ආශ්‍රිතව සිරෝසිස් වැනි තතත්ව තිබෙන අයත් අවදානම් කණ්ඩායමේ ...

ගල් මල්ල..
හරි දැන් බලමු මේ ගල් හැදුනොත් මොකද වෙන්නේ කියලා ...ඇත්තටම මුලින්ම කීව වගේ බොහොමයක් පුද්ගලයන්ට මේ ගල නිසා කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ ..වෙනත් රෝගයක් ගැන පරික්ෂා කරත්දි එක්සේ එකකට හරි ස්කෑනින් එකකට හරි තමයි මේ ගල අහුවෙන්නේ ..නමුත් සමහර පිරිසකට මේ පිත් ගල නිසා රෝග ලක්ෂණ මතු වෙන්න පුළුවන් ...ඒ ලක්ෂණ අතරින් හරිම අපහසු අවස්ථාව තමයි බඩේ දකුණු පැත්තේ ඉහළට වන්නට හරියටම ඉළ ඇට පහළින් ඇති වන තීව්‍ර සහ උග්‍ර වේදනාවක් (විශේෂයෙන්ම තෙල් වැඩි කෑම ගත් අවස්ථාවක) ..මේක අපි බිලියරි කොලික් එකක් විදියට තමයි වෛද්‍ය විද්‍යාත්මකව නම් කරන්නේ ..මේ කියල Gallstone එක පිත්තාශයේ ඉඳන් එන නාල වල හිර වුනාම තමයි මේ තද , ඉවසන්න බැරි තරම් වන වේදනාව ඇති වන්නේ ...මේක විනාඩි පහලොවක් විතර එක දිගට තියෙන්න පුළුවන් , දාඩිය දාල , සමහර විට වමනේ දාන්න තරම්ම තද වේදනාවක් වෙන්නට ඉඩ තියෙනවා .නිදා ගන්නම බැහැ ..පැත්තට නම් කෙහෙත්ම බැහැ .කොහොම වුනත් සමහර අවස්ථාවල මේ වේදනාව පැය 4ක් 5ක් විතර දිග කාළයකට තියෙන්නත් පුළුවන් ..මේ තත්ත්වය නම් ඒ තරම් හොඳ නැහැ ..ඒ කියන්නේ පැය 5කට වඩා මේ උග්‍ර වේදනාව තිබුණොත් ඉක්මණින්ම පහසුකම් සහිත රෝහලකට ඇතුළු කරවන්න ඇයව ..හේතුව මේ වන විට පිත්තාශය ඇතුළේ පොඩි පොඩි කරදර වෙනව වෙන්න පුළුවන් ...(ඒ කිව්වේ පිත්තාශය ඇතුලේ ප්‍රදාහික තත්ත්වයක් වගේ ) ...හොඳට මතක තියා ගන්න මේ වේදනාව සමහර විට දැනෙන්න පුළුවන් පපුවෙ අමාරුවක් විදියටම ....හරියටම පපුව හරියෙන් නැත්නම් පිට මැද්දෙන් ...ඒ කියන්නේ  අවදානම් හෘදයාබාධයක වේදනාව වගේම වෙන්න පුළුවන් ...

 මේ එක්කම දින කිහිපයක ඉඳන් කෑම කන්න අප්‍රිය ගතියක් ..නැත්නම් කෑවට දිරවන්නේ නැති තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන් ..(Dyspepsia)  ,හැම තිස්සෙම උගුරට එන ගතියක් ..බඩ පුරවාදාපු බවක් දැනෙන්නත් පුළුවන් ..සමහර අවස්ථා වල මේ එක්කම මද උණක් ඇතිවෙන්නත් ..ඉඩ තිබෙනවා ..වැදගත්ම දේ මේ අවස්ථාවේ පිටවන මළපහ වල වර්ණය කිරිමැටි පාටට වෙන්න ඉඩ තිබෙනවා ...මොකද හේතුව ...අර මළ වලට වර්ණ දෙන පිත දැන් එන්නේ නැහැ ආහාර මාර්ගයට ..මළ වලට ..ඇයි ? ඒ එන මාර්ගය පිත් ගලෙන් හිර වෙලා නිසා ..ඒ නිසා මළ සුදු පැහැයක් ගන්නට පුළුවන් ..වැඩේ ටිකක් උග්‍ර තත්ත්වෙට ඇවිල්ල නම් මේ  පිත් වර්ණක ආයෙත් ලේ වලට ඇතුළු වෙලා ...හමේ ..ඇස් වල තැන්පත් වෙන්න පුළුවන් , එහෙම වුනොත් හරියට සෙංගමාලය තත්ත්වයේදි වගේම ඇස , සම කහ පාට වෙන්නත් ඉඩ තිබෙනවා ...

ගල් අල්ලන scanning 
කොහොම වුනත් මේ වගේ ලක්ෂණ සහිතව අපහසුතාවක් තිබේ නම් හොඳම දේ ඔබේ වෛද්‍යවරයා හමුවන එක ..ඔහු මූලික පරික්ෂණ කිහිපයකින් පසුව යම් නිගමනයකට ඒවි ...එතැනදි කෙරෙන මර්ෆීස් පරික්ෂණයෙදි .ඔබේ බඩේ ඉහළ ..ඉළ ඇට සීමාවෙන් පොඩි තෙරපීමක් කරන ගමන් ඔබට කියාවි ගැඹුරට හුස්ම ගන්න කියලා ...බලන්න ..එය කරත්දි වේදනාවක් දැනෙනවා නම් ඒ බව වෛද්‍යවරයාට කියන්න .එය හොඳ හඳුනාගැනිමේ ලක්ෂණයක් ... ඒ මුලික පරික්ෂණ වලින් පසුව රුධිය ආශ්‍රිත පරික්ෂණ කිහිපයක් මගින් රුධීරයේ බිලිරුබින් ප්‍රමාණය ,අක්මාවේ ක්‍රියාකාරීතවය වගේ සොයා බැළීම් කරනවා .ඊට අමතරව බඩේ ස්කෑනින් පරික්ෂාවක් , එක්ස් රේ පිටපත් කිහිපයක් ගන්නත් පුළුවන් ..මේ සියල්ල ප්‍රමාණවත් නොවේ නම් සහ තව දුරටත් සොයා බැලීම් කළ යුතු තැනකදි විතරක් E.R.C.P සහ P.T.C.A.කියන විශේෂීත පරික්ෂණ කරන්නත් පුළුවන් ..ඒ මගින් හරියටම  එම පිත් නාල වලට වුනු හානිය ගැන පවා අදහසක් ගන්නට පුළුවන් ..

දැන් අවසානයේ මේ සියල්ල හඳුනා ගත්තට පස්සේ ප්‍රතිකාර ක්‍රම කිහිපයක් තිබෙනවා ..එකක් කොලෙස්ටරෝල් නිසා හැදුනු ගල් නම් ඒව දිය කරන්නට බොන බෙහෙත් දේවි ..ඒත් හැබැයි  ඒ දියවෙන වැඩේ හරියට ලක් යනවා ..ඒ නිසා සහ තත්ත්වයේ හැටියට ශල්‍යකර්මයක් මගින් මේ පිත්තාශය ඉවත් කරන්නට ඉඩ තිබෙනවා ..Chelecystectomy ..මොකද මේ ඉවත් කිරීම කළා කියල ඒ පුද්ලයාට ලොකු හානියක් වෙන්නේ නැහැ ..දැන් නම් ඉන්ඩොස්කොපික් ක්‍රමයට කරන්න පුළුවන් නිසා ඉස්සර වගේ දවස් ගාණක් රෝහල් ගත වෙලා ඉන්න වෙන මහා ශල්‍යකර්මයක් කරන්නට ඕනත් නැහැ ..දවසකින් දෙකකින් රෝහලෙන් පිට වෙලා යන්නත් පුළුවන් ...

දැන් ඔබ අහවි මේකත් අර මුත්‍රා ගල් වගේ කුඩු කරලා දාන්න බැරිද කියලා ...පුළුවන් ..නමුත් ඒ වැඩේ ඒ තරම් සාර්ථක නැහැ ..මොකද ආයෙත් හරිම ඉක්මණට ගල් හැදෙන්න පටන් ගන්නවා .. ඒ නිසා බහුලවම කෙරෙන්නේ  මේ කිව්ව ක්‍රම දෙකෙන් එකක් තමයි ..

හොඳට මතක තියා ගන්න මේ ලක්ෂණ ආවාම ඔය පොඩි පොඩි අත්බෙහෙත් කර කර ඉඳළා වැඩ වරද්ද ගන්න එපා .මොකද මේ gallstone හිර වෙලා , පිත්තාශය එහෙම නැත්නම් ඒ නාල හිර වුනොත් ඒක පිත්තාශයට වගේම ..ඊටත් වඩා වැදගත් අග්න්‍යාශය , අක්මාව වගේ ඉන්ද්‍රියයන්ට බලපානවා ...ඒ බලපෑමෙන් ඒ ප්‍රධාන ඉන්ද්‍රියයන්ට හානියක් වුනොත් ......ජීවිතේ අනතුරේ ...

හොඳට කන්න 
වලක්වා ගන්න මෙහෙමයි කියල කියන්න බැරි තරම් ...ඒත් කොලෙස්ටරෝල් ප්‍රමාණය පාළනය කරගැනීම ...තරබාරුව පාළනය කර ගැනීම වගේම , තන්තු යහමින් ඇති ආහාර වේලකට හුරු විමත් මඟින්  විය හැකි අවදානම අඩු කරගන්න නම් පුළුවන් ..

ඒ අවදානම එහෙම අඩු කරගන්න පුළුවන් කියල බලත්දි “අපේ අවදානමත්...ඒ කිව්වේ Wind warning “ එකත් ඉවත් කරලා ... දැන් ඉතින් කාළගුණේ පැත්තෙන් නම් “අවදානම් අඩු රැයක්“ ...සනීපෙට නිදා ගන්න ඕන ...
කොහේ නිදා ගන්නද ? ...දෙන්න එක්ක Impact අහනවා .....! .... නෑ දෙන්නටම ...තුන් දෙනාටම කතාව අහගෙනම නින්ද ගිහින් ...එහෙනම් මාත් මේ කතාව මෙතැනින් නිමා කරනවා  ..අසා සිටි ඔබ සැමට ....ස්තුතියි ... !!!!

7 comments:

  1. පිත්තාශය ඉවත් කලාම වෙන අතුරු බලපෑම් නැද්ද ??

    ReplyDelete
  2. -ඕනයා .
    ඔව් මල්ලී , මෙහි හුඟක් දරුණුම අතුරු ආබාධ අඩුයි ...සමහරුන්ට ඊට පස්සේ මළපහ රටාවේ වෙනසක් (දියරමය ස්වභාවයක් ) ඇති වෙන්න පුළුවන් ..ඒ වගේම සමහර විට තරමක වේදනාවක් ඇති වන්නට පුළුවන් නමුත් එය ඉතා පහසුවෙන් ඖෂධ මගින් පාලනය කරන්නට පුළුවන් ...සාරාංශයක් ලෙස රෝගී වූ පිත්තාශය පැවතීමෙන් ඇති වන අපහසුතා සහ අනතුරු තරම් උග්‍ර ආපදා ඇති වන්නේ නැහැ ...

    -amila chathuranga,
    Thank you .

    ReplyDelete
  3. මාත් අහන්න හිටිය ප්‍රශ්නය ඕනයා අසා තිබෙනවා . පිළිතුරට ස්තුතියි .
    මේ අවස්ථාවට කුඩා දරුවනුත් භාජනය වෙනවද ?

    ReplyDelete
  4. -Gimhani ,
    ස්තුතියි ඔබට ....සාමාන්‍යෙයන් කුඩා දරුවන්ට මෙම තත්ත්වය ඇති වන අවස්ථා විරළයි , නමුත් දැන් දැන් ඒ අවසථා ටිකෙන් ටික වැඩි වන බවක් හඳුනාගෙන තිබෙනවා ...

    ReplyDelete
  5. Wasantha B,
    Mahathmayaneni, Mage Liver function test eka asbaawikaya dan awrudu 05ka pamana sita. mama arakku panaya nokarami. Wayasa 32ki. Scan kalath normalya. eyatath hethu wanuye me rooga thathwayada.

    ReplyDelete
    Replies
    1. Wasantha B,

      Thawada mage lewala rathu rudiranu agaya pahathaya eyata hethuwanuye mahata Thalseemiya test eken positive agayak labeemai

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)