2012/03/09

87) කාන්තා දිනය හා ස්ත්‍රී දූෂණය

අද දිනය ...
අද ජාත්‍යත්තර කාන්තා දිනය , ඒ කියන්නේ හැම වසරකම මාර්තු මාසේ 8 වැනිදා ලෝකය පුරාම කාන්තාවන්ගේ යහපත වෙනුවෙන් යම් කතිකාවක් සිදුවනවා නමුත් පොදු දෙයක් විදියට එදාටත් සැමරුම් උත්සව , පිළිගැනීම් පෙළපාලි තිබේවි , එයින් යම් යහපතක් වෙන්නට පුළුවන් , නමුත් මේ දිනයෙන් ඇරඹෙන එම කටයුත්ත වසර පුරා ක්‍රියාත්මක වෙනවාද කියන එකනම් ගැටළුවක් .


කෙසේ වෙතත් අදත් වෙනද වගේම උදේ පාන්දර පත්තර ටික බැලුවා , දැනට ඉන්න ප්‍රෙද්ශය නිසා කැනඩාව සහ ප්‍රෙද්ශයේ කාළගුණ තත්ත්ව ගැන කියවල ( හැමදාමත් මගේ පෝසට් එකේ කයිවාරු දෙකක් තියෙනවාමයි නේ ...එකක් කැනඩාව ගැන , මෙහෙ සිද්ධවන සමහර දේ ගැන ටිකක් විස්තර කරන්නේ හේතු කිහිපයක් නිසා , එකක් මේ රටට නවකයෙක් විදියට ඒ වෙනස්කම් මට “දැනෙන නිසා“ , දෙවැන්න මේ අවස්ථාව ලබා ගන්න , කැනඩාව වෙත එන්න උත්සාහ කරන පිරිසක් අපේ රටේ ඉන්නවා , විශේෂයෙන්ම මා සේවය කළ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල  ..ඉතින් එදා අපිටත් තිබුණ

ප්‍රශ්නයක් තමයි මේ රට කොහොම ඇත්ද , මොනවගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වේවිද ? ..ඔය වගේ ප්‍රශ්න මාලාවක් අපේ හිත් වල තිබුණා .නමුත් ඒ තත්ත්වයන් ගැන නිසි චිත්‍රයක් ලබා ගන්නට ලංකාවේ ඉන්න කාළේ අපට ලැබුණෙ නැහැ . ඒනිසා , ඒ වෙනස්කම වලට මුහුණ දෙමින් , ඒ වෙනස් අත්දැකීම් ලබනතුර ඒ පිළිබඳ සටහන් කරන්නේ , අප මෙන්ම මෙහි එන්නට පෙර මං බලා සිටින මගේ මිතුරන්ටත් “ඇත්ත තත්ත්වේ “ කුමක්දැයි යන්න ගැන පොඩි වැටහීමක් ලබා ගන්නටත් එක්ක, ඒ වෙනුවෙන්ම ලිපියක් ලියනවාට වඩා මේ විදියට කියන පහසු නිසා  ,

 දෙවන කයිවාරුව මගේ බිරින්දෑ සහ දරු දෙදෙනා ගැන ..ඒ ගැන නම් කෙටියෙන්ම කියන්න තියෙන්නේ , මෙවන් බිරිදකගේ, සහ මෙවන් දරු සම්පතක සෙනෙහස ලබන්නට මට තිබූ පින ගැන සතුටින් සිටින නිසා ....ඔවුන් ගැන නම් ලියනවා නොවෙයි ලියැවෙනවා ...ලොකුම කයිවාරුවක් බලන්න නම් මගේ අරමුණ පිටුවට යන්න “,) .


..ආයෙත් එමු කතාවට ...ඊළඟට යන්නේ ලංකාවේ පත්තර ටික බලන්න ...අදත් බලන්න ගත්තා ...මුලින්ම “ ස්ත්‍රී දුෂණයක අපරාධ කරුවෙක් ගැන ..“ , ඊළඟට අතවර කිරීමක් ගැන ..කොහොම වුනත් හැමදාමත් මේ වගේ සිදුවීම් කිහිපයක් දකින්නට ලැබෙනවා. අද ටිකක් වෙනස් ...ඔය සිදුවීම් අස්සේම ...කාන්තා දිනය වෙනුවෙන් වූ වැඩසටහන් ගැනත් ලිපියක් දෙකක් තිබුණා. මේ හැම දෙයක්ම කියවා අවසන් වුනාට පස්සේ , ඉතිරිව තිබෙන පැය දෙක තුන ඇතුලත ලිපියක් ලියන්නට හිතුනා ..කුමක් ගැනද ? ...ස්ත්‍රී දුෂණ ගැන .


ඇත්තටම මේක හුඟක් පුළුල් පරාසයක විහියෙන මාතෘකාවක් , නිතිය , වෛද්‍ය විද්‍යාත්මක , සමාජ විද්‍යාත්මක ඔය වගේ මාන කිහිපයකින් විග්‍රහ කරන්නට ඕන මාතෘකාවක් ..කෙසේ වුනත් මගේ දැනුමේ තරමට මේ හැම මානයකටම සාධාරණය ඉටු කරමින් මම ලියන්නම් , ඉතින් ඔබට හැකියාව තිබෙනවා මේ විග්‍රහයට යමක් එක් කරන්නටත් , නිසි තැන විවේචනය කරන්නටත් ..අවසානයේ යමෙක් තමන්ට තිබෙන වගකීම ගැනවත් සිතන්නට පෙළඹුණොත් , තමන්ට වන අවදානම ගැනවත් සිතන්නට පෙළඹුනොත් එයම සතුටක් ..

අපි මුලින්ම බලමුද මොකක්ද මේ “ස්ත්‍රී දුෂණය “ කියන්නේ ? ලිංගිකත්වය , ලිංගික කුතුහලය , සංසර්ගය වැනි දේ ජිවියාගේ පැවැත්මට වැදගත්ම දේ වුනත් මේ “ස්ත්‍රී දුෂණය“ කියන්නේ (Rape is a distortion of human sexuality) මානව ලිංගිකත්වය විකෘති කිරීමක් විදියටයි සායනික මනෝ විද්‍යාඥයයෙක් වන Nicholas Groth පවසන්නේ , එමෙන්ම එය අසහනයේ , නැත්නම් සෑහීමට පත්නොවීමේ (inadequacy) සිදුවීමක් බවත් ඔහු කියනවා..


දණ්ඩ නීති සංග්‍රහයේ 363 ඒකකයේ කියැවෙන පරිදි නම් , “ස්ත්‍රියගේ කැමැත්ත රහිතව , නැතිනම් බලපෑම් මත හෝ සිහි තත්ත්වය වෙනස් කොට ලබා ගත් කැමැත්ත සහිතව , හෝ ඇය වයස අවුරුදු 16ට අඩු නම් කැමැත්ත ඇතිව හෝ නැතිව ලිංගික සංසර්ගයේ යෙදිමයි (sexual intercourse with a woman without her consent; or where her consent has been obtained by use of force, threats or intimidation; where she is judicially separated from the man; with her consent when her consent was obtained when she was of unsound mind, in a state of intoxication induced by drugs or alcohol; with her consent when the man knows he is not her husband and she is under the belief that she is married to him; with or without her consent when she is under 16 years except when she is his wife who is over 12 years and not judicially separated from him)කියල කෙටියෙන් කියන්න පුළුවන් ,හැබැයි මේ ගැන නීතිය ගැන සවිස්තරාත්මක විග්‍රහයක් කරන්නට තරම් මට දැනුමක් නැහැ , ඒත් පුරවැසියෙක් අපිට ඉහත අයුරින් දළ අදහසක් ගන්නට පුළුවන් .



මේ එක්කම ලිංගික හිරිහැර කිරීම ගැනත් එහි සඳහන් , එහිදි කායිකව පමණක් නොවෙයි වාචිකව සිදුවන වේදනාවන්ට පවා නීතිමය රැක වරණයක් තිබෙනවා .A person who, by assault or use of criminal force sexually harasses another person or; by the use of words or actions causes sexual annoyance or harassment to another person commits the offence of sexual harassment. The explanation to the section states that unwelcome advances by words or actions used by a person in authority, in a workplace or any other place shall constitute sexual harassment. කෙසේ වෙතත් මේ ලිපිය තුල යම් සිමාවක් පවත්වා ගන්නට ඕනෑ නිසා අපි ස්ත්‍රී දුෂණය ගැන විතරක් කතා කරමු ,


පිටිපස්ස හැරිල බලන්නත් ලැජ්ජයි අපි ගැන 
මේ මොන අර්ථ විග්‍රහ කියවූවක් “ස්ත්‍රී දුෂණය“ යන්න කියැවුනු සැනින් අපට යම් වැටහිමක් එනවා , එහි කුරිරු බව , සහ පීඩාවිඳිමට ලක්වූවන් ගැන . ඒ වගේම ක්‍රමක්‍රමයෙන් දුෂණ ප්‍රමාණය සංඛ්‍යාත්මකව වැඩිවනවාත් මෙන්ම , ඒවායේ ඇති සැහැසි බවද වැඩිවන බවක් පේනවා . එහි සැහැසිබව පිළිබඳව විමසන්නට ගියහොත් මේ මිනිසුන් , තිරිසනුන්ගේ “තරමටත්“ පහළ යන බවක් හැඟෙනවා .එදා මැණිකක් අරගෙන දෙවුන්දර තුඩුවෙ සිට පේදුරුතුඩුවට බයක් හැකක් නැතිව ඇහැට කණට පෙනෙනෙ ගැහැණියකට වුනත් යන්නට පුළුවන් කී රටේ අද මාස තුනේ බිළිඳිය පවා මේ කුරිරුබවෙන් රැකගෙන “පරිස්සම් කරගන්නට වෙලා“ ..ඒ තරමට අපි “දියුණු වෙලා“ !!...ඒ තරමට ලිංගික ව්‍යාධියකින් පෙළෙන සමාජයක් බවට පත්වෙලා...ඒ විතරද අද එය පළිගැනීමේ එක් ක්‍රමයක් බවටත් පත් වෙමින් යනවා. මේ දිනවල ලංකාවේ සිදුවන ආන්දොලනාත්මක එක් සිදුවීමක් මෙවැන්නත් පිළිබඳ සටහන් තිබුණා.

ස්ත්‍රී දුෂණය කෙසේ සිදුවුවත් , එහි අවසන් ප්‍රථිපලය අවාසනාවන්ත වූවක් , එය මානසික පීඩනය , කායික වේදනාව , සමාජයීයමය වශයෙන් සිදුවන ගැහැට , ලෙසින් පැමිණ අකාළේ සිදුවන මරණයක් දක්වා විහිද යන්නට පුළුවන් . මේ නිසා අද මෙම “දුෂණය“ අවස්ථා කිහිපයක් යටතේ වර්ග කීරීමක් කරනවා . දැන් ඔබ අහවි මේ වර්ග කිරීම් මොකටද ? කියලා .ඔව් මේ වර්ග කිරීම් මගින් අපිට දැනට පවතින අවදානම් හඳුනාගන්න උදව්වක් ගන්නට පුළුවන් .

ලොක්කාගේ තෑග්ග
Nicholas Groth  කළ පර්යේෂණ වලදී ස්ත්‍රී දුෂණ වලින් වැඩිම  ප්‍රමාණයක් සිදුවි ඇත්තේ Power rape එනම් , පිරිමියා තමාගේ බලපුළුවන්කාර කම් මඟින් ඇයව දුෂණයට ලක් කිරීමයි , රැවටීම් හෝ උපක්‍රමික ආකාරයෙන් ඇයව තතු කරගන්නා ඔහු , තමාගේ බලපුළුවන්කාරක කම යොදා ගනිමින් අවසානයේ ඇයව දුෂණයට ලක් කෙරෙනවා. අද අප රටේත් පොලිස් පොතට නොගිය මේබඳු අවස්ථා බොහොමයි . ආයතනයේ ඉහළ නිළධාරින්ගෙන් , ප්‍රෙද්ශයේ දේශපාලන හෝ එබඳු බලවතුන්ගේ දුෂණයට නැතිනම් පළාතේ චණ්ඩියන්ගේ දුෂණයට ලක්වන කිදෙනෙක් මේ ගැන ඔහුට විරුද්ධව පොලිස් පොතේ සටහන් කළාද ? මා සමුපකාර හෙද විදුහලේ දේශකවරයෙක් ලෙස  සේවය කරන කාළයේ දී කළ ක්ෂේත්‍ර අධ්‍යයන වැඩසටහනකදි එක් ශිෂ්‍යාවන් කණ්ඩායමක් වෙත ගම්වැසි කාන්තාවක් , සැමියා මිය ගිය එක් දරුමහක වූ ඇයට දිනපතා ගමේ චණ්ඩියාගෙන් සිදුවන අතවරයන් ගැන කළ විස්තරය අසා සිටින්නටත් අපහසු ,අමිහිරි වුවක් වුනා.

ඔහු හඳුන්වා දෙන අනෙක් ක්‍රමය Anger  rape .. ඒ කියන්නේ  පළිගැනීමේ චේතනාවම මුලික වන , ඉතාමත් රෞද්‍ර ආකාරයෙන් සිදුවන මේ ස්ත්‍රී දුෂණයේදි මරණයක් වුනත් සිදුවෙන්නට පුළුවන් .


අනෙක් අවස්ථාව Sadistic rape , පාළනය කරගත නොහැකි ලිංගික ආවේගය , ආක්‍රමණකාරී චර්යාවකට හැරවෙන මේ අවස්ථාවෙදි ක්‍රියාත්මක වන තත්ත්වයක්. මෙහි අවස්ථා ගනනාවක් තිබෙනවා . එහි උපරිම තත්ත්වයෙදි මළ මිණියක් එක්ක පවා ලිංගිකව හැසිරෙන්නට මොහුට පුළුවන් . අපි මේ ගැන මිට පෙර “ග්‍රීස් යකා හෙවත් ප්‍රසිද්ධ මානසික රෝගියා“ කියන ලිපියෙදි කතා කරල තිබෙන නිසා ආයත් මේ ගැන කියන්න ඕන නැහැනේ.


මේ වගේම තවත් බෙදීම් වර්ග ගණනාවක් තිබෙනවා , Date rape මිතුරු වෙසින් එන ඔහුගෙන් දුෂණයට ලක්වීම , ඖෂධ යොදා ගනිමින් මත්කර සිදුකරන Drug rape වගේම විවාහක බිරිඳට පවා කැමැත්තෙන් තොරව සිදු කරන marital rape කියන අවස්ථාව ගැන පවා අද පර්යේෂකයින් කරුණූ සොයනවා .


ඔවුන් එසේ කරුණු සොයත්දි අපි බලමු මේ විදියට ස්ත්‍රි දුෂණයකට තුඩු දෙන හේතු කාරණා මොනවාදැයි ...මේ ගැන සමාජ-ආර්ථික  හේතු සාධක වගේම ජෛව විද්‍යාත්මක හේතුත් තිබෙන බව හඳුනගන්න පුළුවන් . සමාජ-ආර්ථික හේතු සාධක වලදි මත්පැන් සහ මත් ද්‍රව්‍ය කියන දේ ඉහළ තැනක සිටිනවා . බොහෝ ස්ත්‍රී දුෂණ වලට පෙළඹෙන අවස්ථාව වන විට ඔහු , සමහර විට ඔහු සහ ඇය යන දෙදෙනාමත් මත්පැනින් හෝ යම් මත්ද්‍රව්‍යයකින් සන්තර්පනය වී සිටින අවස්ථා බහුලයි. අද පාසල් දරුවන් අතරට පවා මේ අනතුර රිංගවමින් සිටින බව ඔබ දන්නවාද? ඒ ප්‍රසිද්ධ මත් ද්‍රව්‍ය වල නම් වලින් නොවෙයි , යම් ඖෂධ නාම සහිතව .


ලාබායි දෙසීයයි ..පැය දෙකයි ..ජිවිත ???
මීට අමතරව ලිංගිකත්වය සහ සමාජයේ පවත්නා තත්ත්වය පිළබඳව නිසි අවබෝධයක් නොමැති වීමත් Date rape වලදි හදුනාගන්නට පුළුවන් . ඒ අනාවබෝධය නිසා තම හැඟීම් සමාජ ජීවියෙක් ලෙසින් පාළනයක් කර ගන්නට නොහැකීවීම නිසා ඒ තත්ත්වය තවත් වැඩි වෙනවා . මෙතැනදි විශේෂයෙන්ම love and lust කියන හැඟිම් දෙක හඳුනානොගත් පිරිසක් බිහිවෙමින් පවතිනවාදෝ කියන සැකය ඇති කරවන සාක්ෂි බොහොමයි මේ පිළිබඳව ලියැවුනු ලිපියට මෙතනින් යන්නට පුළුවන් .... එදා පෝදාට පන්සලේදි හමුවෙලා පුංචි ඉඟි බිඟියකින් ආදර හැඟිම් හුවමාරු කරගත්ත පෙම්වතුන් අද පෝයදාට රුපියල් දෙසියේ කාමර තුලට රිංගන තරමට මේ ඔඩු දුවල . සමහර මෙවන් ආයතන පවත්වාගෙන යන මම දන්න,  පුද්ගලයින් පවා  කියන්නේ ..ඔවුන් ලාබ ලබන්නෙම මේ වගේ එන “ෂෝට් ටයිම් කෑළි“ වලින් කියලයි (ඔවුන්ගේ භාෂාවෙන්ම කිව්වොත් ) , මෙයත් ප්‍රසිද්ධ නොවන ගණයේ ස්ත්‍රී දුෂණ ගණනාවකට හේතුවක් . (නිතියට අනුව ඇයගේ කැමැත්ත රහිතව ලිංගිකව එක්වීම ස්ත්‍රී දුෂණයට අදාල වන නිසා , මා දන්නා දැරියක් ඇගේ පෙම්වතාගෙන් හැම සති අන්තයකම  දූෂණයට ලක්වෙමින් තිබුණේ , ඇගේ ඡායාරූපයක් නිරුවත් කොට සකසා එය දෙමාපියන්ට පෙන්වන බව කියමින් කළ තර්ජනය මත , මේ එක් අවස්ථාවක් පමණයි ,  ) .

තවත් ගැටළුවක් ලෙසින් දකිනා දෙයක් පෞරුෂත්ව ගැටළු , ඔවුන්ගේ ළමා කාළය තුල නිසි සුන්දරත්වය , ආදරය නොවිඳිවුන් වියපත් වුනාම සමාජ විරෝධී පෞරුෂත්වයක් Anti social personality ලබා ගන්නවා ..මව්පියන් වෙන්විම , මව විදේශගත වීම , කුඩා අවධියේදී අතවරයන්ට ලක්වීම වගේ සාධක නිසා ඔවුන් ලබන පීඩනය තව ටික කළකදි සමාජයට පිට කරන්නේ මෙවන් විකෘති මිනිසුන් ලෙසින්. ඒ නිසා තමන් ඇසුරු කරන , තමන්ගේ දරුවා ඇසුරු කරන පිරිස කෙබඳු පෞරුෂයක් සහිත වුවෙක් දැයි සොයා බලන එක වටිනවා .

මේ කී Anti social personality ඇති පුද්ගලයාගේ විපරීත චර්යාවන් තවත් උග්‍ර කරවන්න මත්පැන් වගේම  මාධ්‍යයත් යම් තරමකින් හවුල් වෙනවා . අද සමහර ටෙළි නාට්‍ය , චිත්‍රපට මෙන්ම ගීත වල රූප රචනා පවා මීට වගකිව යුතු බවයි මගේ හැඟිම. මා දුටු නව පරපුරේ එක් සිංහල ගිතයක රූප රචනයේ , ගීතයට කිසිම අදාල බවක් නැති කාන්තා අඟපසඟ පෙන්වීමක් පමණයි දකින්නට ලැබුණේ . ලිංගික කුතුහලය මේ ලෙසින් විකිණෙන විටෙක  ඒවැනි පෙළඹවීම් තුලින් එවන් වටපිටාවක් සකසා ගැනීමේ හැඟිමක් ඔවුන්ට ඇති වෙනවා . මා මෙයින් කියන්නේ නැහැ එවන් දේ දුටු පමණින් “ස්ත්‍රී දුෂණයන්“ කරන බවක් , නමුත් ඒ වෙනුවෙන් වන Fantasy එක්ක ඊට ගැලපෙන “කල්ලියක්“ සාදා ගන්නට හොඳ පෙළඹවීමක් ඉන් වනවා.

රස කූඩුව ...
එමෙන්ම ලිංගිකත්වය පිළිබඳ කිසිදු දැනීමක් නැති කොළු කුරුට්ටන් අන්තරජාලය තුලින් හෝ ජංගම දුරකථන තුලින් නරඹන ‘‘අසැබි චිත්‍රපට“ මගින් ඔවුන් තුල ඇති සුන්දර ලිංගික කුතුහලය ,“ කුරවලු“ කරවනවා. එයින් බිහිවන්නේ හැඟීම් කුරවලුවූ පරපුරක්. විශේෂයෙන්ම ඒවායේ රඟපානවුන් දක්වන අස්වාභාවික චර්යාවන් දකින් මේ “අහිංසකයින්“ , මේ අමුතු අත්දැකීම ලබා ගන්නට පෙළඹෙන එක සාමාන්‍ය වෙමින් පවතින අතරේ මෙයට මත්පැන් හෝ මත්ද්‍රව්‍යත් එක්වූ තැන “ස්ත්‍රී දුෂණයක්“ නොවේයැයි කියන්නට පුළුවන් කාටද ?

මේ විදියටම , ආර්ථික ගැටළු වගේම විවාහය ප්‍රමාදවීම වැනි දේ සාධක මත සමාජය තුල ඇතිවන “පීඩනයේ“ අතුරු ප්‍රතිපලයක් ලෙසිනුත් මේ අවදානම වැඩිවන බවයි පර්යේෂකයින් පවසන්නේ ,.


වැදගත්ම දේ ස්ත්‍රී දුෂණයක් නොවන්න කටයුතු කරන එක වුනත් කොහොම හරි “ස්ත්‍රී දුෂණයක්“ වුනොත් මොකද කරන්නට  ඕන කියන එක අපි කතා කරමු . මේ අවස්ථාවේ වැදගත්ම දේ සිදුවීම හංගගෙන ඉන්න එක නොවෙයි . එය පිළිබඳව පොලිසියේ කාන්තා අංශයට ගොස් හැකි ඉක්මණින් පැමිණිළි කිරීම හරිම වැදගත් . ඒ වගේම ඒ අවස්ථාවට යත්දි නාල පිරිසිදුවෙලා සිද්ධියට අදාල අවස්ථාවේ ඇඳන් හිටි ඇඳුම් එහෙම හොදලා ගියොත් ඔබ නොදැනුවත්වම ඔබේ පැමිණිල්ලට අවශ්‍ය සාක්ෂී නැතිවෙන්නත් පුළුවන් . මතක තියා ගන්න , එම සිදුවීම වුනු ස්ථානය , වෙලාව වගේම ඒ අවට තත්ත්වය ගැනත් පුද්ගලයා ගැනත් හැකි තරම් එම පොළිස් කාන්තා නිලධාරිනියට තොරතුරු ලබා දෙන්නට. ඒ වගේම ඔබේ ඇඟේ ඇතිවුන් සිරුම් හෝ සැපීම් තුවාල ඇත්නම් ඒ ගැනත් දැනුවත් කරන්න.


සාමාන්‍යෙයන් මෙලෙසින් පොලිස් ලේඛණගත වුනාට පස්සේ එම කාන්තාව අදාල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවෙත යොමු කෙරෙනවා. එහිදි ඔහු අතවරයට පත්වූ කාත්නාව සම්පුර්ණ පරික්ෂණයකට ලක්කෙරෙනවා . ඊට අමතරව ඇයගේ ලිංගික ප්‍රද්ශයෙන් ලබා ගන්නා තරල vaginal swabs වැනි  ක්‍රම මගින් පරික්ෂණ සඳහා යොමු කෙරෙනවා .ඒ වගේම ක්ෂණික පිළිසිඳ ගැනීම් වලක්වන ඖෂධ සඳහා යොමු කරන්නටත් පුළුවන් , අපි ඒ ගැන කතා කළා මතකද 68 වන ලිපියෙදි.


 ඒවගේම සිදුවු කායික තුවාල වලට ප්‍රතිකාර කෙරෙන ගමන්ම සිදුවූ මානසික තුවාල වලට නිසි ප්‍රතිකාර සහ උපදේශනය සඳහා “මානසික උපදේශන නිළධාරිවරියක“ වෙත යොමු කිරීමත් සිදුවෙනවා. මේ පිළිවෙලට යා හැක්කේ ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වයක ඉන්නවා නම් පමණයි . නමුත් මේ අතවරයෙන් පසුව ඇය අධික ලෙස ලේ වහනය වීම් අනතුරුදායක තත්ත්වයක නම් පළමුව රෝහල් ගත වීමයි වඩා වැදගත් , එතැනදී රෝහල් පොලීසිය මගින් අදාල කටයුතු සඳහා මැදිහත් වනවා.


මේ විදියට සිදුවන අතවරයක හානි මොනවාද කියල මම ඇහැව්වොත් , ඕකත් අහන්න දෙයක්ද කියල ඔබ කියාවි .. ඔව් පළමුවැන්න ඇයට ශාරීරික වශයෙන් වන අපදා ..තුවාල ලේ වහනයවිම් ..පටක ඉරීයාම් වැනි සමහර විට ජීවිත අවදානම් මට්ටමේ තුවාල , අනතුරු පවා වන්නට පුළුවන් .ඊට අමතරව සැළසුම් නොකළ දරු පිළිසිඳ ගැනීමක් (Unplanned pregnancy)  , ලිංගාශ්‍රිත රෝග වැනි ආපදාවන්ටත් පත්වෙන්නට පුළුවන්. මානසික වශයෙන් ඊටත් වඩා බලපෑමකට ඇය ලක් වෙනවා . මේ තත්ත්වයත් එක්ක වේදනාව , පීඩනය , සමාජය තමන් පිළිනොගන්නා කෙනෙක් බවට පත් කළා වැනි හැඟිමක් , කැළලක් වීම (Stigma) වැනි හැඟිම් නිසා අවපීඩන තත්ත්වයටත් ඇය පත්වෙනවා .සමහර විට එය කිසිවකුත් නොදන්නා තවත් එක සියදිවි නසා ගැනීම් දක්වා යන්නටත් පුළුවන් . ඒ නිසා හරිම වැදගත් ඉහත කී අයුරින් නිසි ප්‍රතිකාරය ලබා ගැනීම .


සැඟවුනු ලිංගික අපචාර වල තරම ...ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව
එහෙනම් අවසානයේ අපි කතා කරමු කොහොමද මේ වැනි ස්ත්‍රී දුෂණයක් වීම වලක්වා ගන්නේ කියන එක . එහිදි මුලින්ම කියන්නට ඕන “සමාජය ගැන , සමාජයේ සිදුවන දේ ගැන “ යහපත් දැනුමකින් ඉන්න කියන එක . ඒ වගේම මෙවන් දේ පිළිබඳ සිදුවීම් වලින් පාඩමක් ගෙන ගන්න කියන එක .එහෙම වුනොත් මේ වන අපරාධ “රැල්ලට “ පොඩි හරි බලපෑමක් කරන්න පුළුවන් . කෙටියේම කීවොත් තමන්ගේ ‘හිතවතා එන්නේ මොකාටද“  කියල හරියට හඳුන ගන්න පුළුවන් නම් ඒ ආදරය මෙවන් ගින්දර නොදෙන ආදරයක් වේවි . නමුත් එසේ හඳුනා නොගත්තොත් තවත් “සැඟවුනු ස්ත්‍රී දුෂණයක්“  ඇතිවීම වලක්වා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම තමන් “රැවටෙන , රැවටිය හැකි අවස්ථා හඳුනාගන්න පුළුවන් නම් හුඟක් වැදගත්.

ඒ වගේම “ලිංගිකත්වය සහ ආශ්‍රිත ජීව ක්‍රියා සහ උපත්පාළන ක්‍රම “ ගැන පාසල් අවධියෙදිම නිසි දැනුමක් ලබා දීමත් මේ ස්වභාවික සංසිද්ධිය ගැන අස්වාභාවිකව සිතන්නට පෙළඹීම වලක්වන්නට පුළුවන් වේවි. මේ පිළිබඳව මීට වසර දෙකකට විතර පෙර ක්ෂේත්‍ර වැඩසටහනක කොටසක් ලෙසින්  පිටදෙනිය මහා විද්‍යාලයේ දරුවන් පිරිසට මා විසින් කළ “ලිංගිකත්වය සහ ආශ්‍රිත ජීව ක්‍රියා සහ උපත්පාළන ක්‍රම“ පිළිබඳ කළ දේශනය අවසානයේ ප්‍රශ්න අසන්නට ලබා දුන් අවස්ථාවේ මේසේ උඩ ගොඩගැහුණු කොළ කෑලිවල තිබුණූ ප්‍රශ්න වලට උත්තර දෙත්දි සමහර දෙමාපියන්ගේ , ගුරුවරුන්ගේ ඇස් උඩ ගියත් වැඩසටහන නිමාවුනාට පස්සේ ලැබුණු ප්‍රතිචාර හරිම රසවත් . සමහර දෙමාපියන් කිව් විදියට ඔවුන්ට ඕන වෙලා තිබුණ “ඒ ටික කියා දෙන්න “ ඒත් කෙල්ලගේ ,කොල්ලගේ මූණ බලාගෙන ඕව කොහොම කියන්නද “ කියන ප්‍රශ්නය තමයි මගෙන් ඇහැව්වේ. (මේ වැඩසටහනට   සංවිධානයේදි සෑහෙන කැප කිරිමක් කළ “අනිල් මණ්ඩලවත්ත“ පුතා අද සරු ව්‍යාපාරිකයෙන් බවත් , ඔහුත් මේ සටහන් බලන බවත් මම දන්නවා . )

රස නීරස වන්නටත් බැරි නැහැ ...
මේ අනතුරෙන් වලකින්නට තවත් හොඳ උපක්‍රම ලෙසින් පාසල් කාළයේදි ක්‍රීඩාවට සෞන්දර්යයට යොමුවීමත් , සමාජශීලී පැවතුම් පවත්වා ගැනීමත් වැදගත් .  ඒ  වගේම පාසල් කාළයෙන් පිටත , නැත්නම් පුහුණුවෙන් රැකියාවෙන් පසු අනාරක්ශිත ස්ථාන වල තනිව නොගැවසීමත් හරිම වැදගත් . ඒවගේම හැකියාවක් තිබේනම් ආත්මාරක්ෂක සටන් හැකියාවක් ලබා ගෙන තිබීමත් වැදගත් වේවි . ඒ වගේම මිතුරන් එක්ක හෝ හිතවතාත් එක් ක ආහාර පාන ගැනීමෙදිත් වෙන්නට පුළුවන් දේ බොහෝමයි . සමහර විට ඔබට ලබා දෙන පානය මත්වන දියරයක් වන්නට පුළුවන් , නැතිනම් xxxpills ලෙසින් හැදින්වෙන ඉතා කුඩා පෙත්තක් එයට එක් කරන්නටත් අනෙක් පාර්ශවයට හැකියාව් තිබෙනවා . ප්‍රථිපලය ඔබේ සිහි තත්ත්වය වෙනස් වීම , නැත්නම් සිහිය තාවකාළිකව නැතිවීම වෙන්නටත් පුළුවන් . අවදානම ගැන කියන්න ඕන නැහැනේ ...ඒ නිසා එවන් පරිසරයකදි තමන්ගේ ආරක්ෂාව පිළිබඳ විය යුතු සැළකිළිමත්වීම් පිළිබඳව ඔබටම සිතා බලන්නට පුළුවන් . මේ වගේම තම දරුවන් පිළිබඳ දෙමාපියන්ගේ සැළකිළිමත්බව අඩුවීමත් මේ අවදානම ඉහළ නංවනවා .

පරිස්සමට සෙළවිය යුතු මීයා 
මේ විදියටම අන්තජාලය නැත්නම් ජංගම දුරකථන මගින් තමන්ගේ අතිශ්‍යය පෞද්ගලික දෑ , ප්‍රචාරය කිරීමත් , එමගින් හමුවන “නොහඳුනන පුද්ගලයින්“ සමඟ අනිසි ඇසුරට ලක්වීමත් තමන් වෙත මෙවන් අනතුරක් කැන්දා ගැනීමක් විය හැකි බව අවසන් වශයෙන් කියන්නටම ඕන . ඊටම අදාලව විශේෂයෙන් කාන්තාවන් තමන්ගේ ඇඳුම් සහ පැළදුම් කෙතරම් අදාල ස්ථානයට , වෙලාවට ගැලපේදැයි විමසිළිමත් වීමත් මේ අවදානම සීමා කරගන්නට උපක්‍රමයක් . මෙය කියත්දි මගේ සිහියට ආවේ , එවකට ගාල්ල ප්‍රෙද්ශයේ රාජකාරි කළ මා මිත්‍ර උසස් පොලිස් නිළධාරියෙක් (අද ඔහු එක්තරා දේශපාලනික බලපෑමක් නිසා එම තනතුරෙන් ඉවත් කළ බව ආරංචි වුනා) කී දෙයක් . “මචං හොඳට බැදපු , සුවඳ ගහන  මස් කැල්ලක් දික් කරගෙන පාර දිගේ ගියාම කෙළ හල හල බල්ලො බලල්ලු පස්සෙන් එනවා , සමහරවුන් පැනල මස් කැල්ල කඩාගෙන යනවා ..ඉතින් ඒකේ වරද මස් කෑල්ලෙද ..අර සතාගෙද , නැත්නම් මස් කෑල්ල බැඳල රසට හදාගෙන එළියට දික් කරගෙන යන එකාගෙද ? ...“ කොහොම වුනත් මගේ මිත්‍රයට එක්තරා ප්‍රාදේශිය දේශපාලන “අඥයෙක්ගේ“ බලපෑම නිසා අද ඒ තනතුර අහිමි වුනත් ඔහු කීදේ ගැන යමක් හිතන්න තියෙනව.

මේ ලිපිය හුඟක්ම ස්ත්‍රි පාර්ශවය ගැන ආරක්ෂාව කතා කළත් අද අපේ “කොළු පැටවුන් “ පරිස්සම් කරගන්න එක ඊටත් වඩා අමාරු දෙයක් බවත් දන්න නිසා මේ  හැම  ලිංගික අපචාරයක්ම අපේ දැනුවත් බවත් එක්ක සීමා කරගන්නට පුළුවන් බව හිතේ රදවා ගත්තොත් හොඳා .

මේක ලියන්න ගත්තේ ඊයේ (8 වන දා) ඒත් අවසන් කරලා publish කරන්නේ අද නම වැනිදා ...

16 comments:

  1. Sujeewa AriyanandaMarch 9, 2012 at 6:51 PM

    ලෝක කාන්තා දින වෙනුවෙන් ඔබ හොද ‍ෙස්වයක් කරලා තියනවා.ඹබ පැවසුවා වගේ බොහොම දෙනෙක්ට ටික දිනකදි මෙක අමතක වෙනව එහෙම නොකරන්න අපි වගබලා ගනිමු

    ReplyDelete
  2. ඉතා වැදගත් ලිපියක්!!

    ReplyDelete
  3. මං නම් බලාපොරොත්තු වුනේම කැනඩාව වගේ රටවල ඇති වන මෙවන් සිද්දි ගැන දැනගන්න නමුත් ලිපිය පුරාවට ඇත්තෙ ලංකාව ගැන. කැනඩාව වගේ රටවල රේප් සීන් අඩුද මන්ද..
    මෙහෙමයි අපේ අධ්‍යාපන ක්‍රමය හරි වෙහෙසකාරි එකක්. ඒකෙදි ඒ ලෙවල් ලමයා ගොඩක් වෙලාවට විභාගයට හැර වෙනත් කිසිවකට යොමු වන්නේ නෑ ඒවා භාදාවන් වෙයි කියලා.
    ඒ නිාස කාලයක් තිස්සේ පැවතුනු මේ අධ්‍යාපනය පසුපස එලවීමේ ක්‍රමය නිසා අද..
    සෞන්දර්යෙන් තොර, ක්‍රීඩා නොකරන, වෙනත් කිසිදු ක්‍රියාකාරකමක නොයෙදෙන සෙක්ස් මතම ෆැන්ටෑස්ටික් ලෝකය තනපු අය තම ාඉන්නෙ..ඒ අයගෙ එකම සීනය සෙක්ස්..එකම ආතල් එක එක සෙක්ස්..සෙක්ස් නැත්තං වෙන කිසිවක් නෑ...
    වර්ථමාන කලා ක්ෂේත්‍රය උනත් හෙමයි..
    සමාර වෙලාවට සෙක්ස් කෑලි හෝ කිනම් හෝ ලිංගාශ්‍රිත වචනයක් ඇති බ්ලොග් එකක් හිට් වෙනව හිතාගන්න බැරි තරමට.
    මොකෝ හේතුව අපේමිනිස්සුන්ගෙ පරම සුවය සතුට සහ ටාගට් එක වෙලා තියෙන්නෙ සෙක්ස්....මම මේ කිව්වෙ මට හිතෙන දේ සමාරවිට කලාව ක්‍රීඩාව දියුනු යුරෝපිය අමෙරිකානු රටවලත් මේම ඇති..ඒ ගැන මම දන්නෙ නෑ..

    ReplyDelete
  4. නීතිය පිළිබඳව අමතක කලත් පුරවැසියන් විදිහට අපෙත් වගකීමක් තියනවා දූෂණයට ලක්වූවන් සාමාන්‍ය ජීවිත ගත කිරීමට උදව් වීම.
    අතවරයට ලක්වූවන් බොහෝ විට නීතියට ඉදිරියට නොයන්නේ ඒ සමාජ ආකල්ප වලට මුහුණ දීමට නොහැකි නිසා..

    ස්තුතියි ලිපියට..

    ReplyDelete
  5. -Sujeewa Ariyananda,
    ස්තුතියි සුජීව මහත්මයා ඔබේ අදහස් දැක්වීමට ..

    -.ChAnDiKa..,
    ස්තුතියි ඔබටත්..

    -amila chathuranga ,
    ස්තුතියි අමිල ...ඔබේ අදහස ඉහළින් ගරු කරමින් අපි ටිකක් ඒ ගැන කතා කරමු . Rape කියන දේ හැම රටකම වගේ තිබෙනවා , සමහර රට වලදි එය සංඛ්‍යා ලේඛණ ගත වුනත් සමහර අවස්ථාවල ලේඛණගත වෙන්නේ නැහැ. ලෝකය පුරාම ගත්තොත් 60%ක් කාන්තා අතවරයන් ලේඛණගත වන්නේ නැහැ. ඒ වගේම ලෝකය පුරාම ගත්තොත් කාන්තාවන් 3:1 ක් ජිවිතේ යම් අවස්ථාවක යම් ආකාරයක ලිංගික අතවරයකට (දුෂණය යන අදහස පමණක් නොවේ) භාජනය වනවා.ලංකාවේ දී මේ ලේඛණගත විම ඔබ කියනා කරුණ නිසාමත් තවත් අඩුයි මට සිතෙන විදියට. දැනට ඇති අළුත්ම සංඛ්‍යා ලේඛණ අනුව ගත්තොත් දියුණූ රටවල් අතුරින් දැනට ඉහළම ස්ත්‍රි දුෂණ සංඛ්‍යාවක් ලේඛණගත වන්නේ ඇමෙරිකාව තුල (එය ජනගහනයෙන් දහසකය 0.29ක් තරම් ඉහළ අගයක්) The US has the world’s highest rate of rape, 4x’s higher than German, 13x’s higher than England, 29x’s higher than Japan , එය සැම මිනිත්තු දෙකකට වතාවකම යම් අයුරක ලිංගික අතවරයකට ලක්වන තරමේ ඉහළ අගයක් . අප්‍රිකානු රාජ්‍යයක් වන ලෙසොතෝවේ ජනගහනයෙන් ලක්ෂයකට 90 ක පමණ ස්ත්‍රි දුෂණ සංඛ්‍යාවක් ලේඛණ ගත්වත්දි එයට පළමු ස්ථානය දුන්නොත් ලංකාවට ලැබෙන්නේ 24වන තැන (100,000:7.4 - මේ හැබැයි 2004 ට අනුව , ඊට පස්සේ නිවැරදි වාර්තාවක් සොයාගන්නට අමාරුයි , හිතෙන විදියට අදනම් ඊට වඩා වැඩිය වගේ ) , කැනඩාව තුලත් ලක්ෂයකට 1.5 තත්ත්වයක් තියාගෙන 54 වන තැන ඉන්නවා .

    ඔබේ අදහස මට හිතෙන විදියට 100%ක් හරි . මමත් පෙන්වන්නට උත්සාහ කළේ මේ ලිංගික කුතුහලය , ෆැන්ටසියක් බවට පත් කරගත් , සහ ඊටත් වඩා හානිය ඒ ෆැන්ටසිය තුලම ජීවිත් වෙමින් , ඒ ෆැන්ටසියම ජීවිතය කරගන්නා පිරිසක් බිහිවීමේ හානිය .

    ඔබට බොහොම ස්තුතියි සරු අදසක් එක් කළාට...

    -රූ....,
    ඔබ පවසන දේ සම්පුර්ණ ඇත්ත , ඒත් ඔය කියන stigma ව නිසා තමයි මේ තත්ත්වය පිළිබඳ හරි විස්තරයක් හඳුනාගන්නට බැරි වන්නේ සහ අඳුරේ සිදුවන සැඟවුනු මරණ බිහිවන්නේත් ...

    ස්තුතියි ..රූ

    ReplyDelete
  6. හැමදාමත් ඔබ අපිට වැදගත් යමක් කියා දෙනවා . අද ලිපියත් බොහොම වටින ලිපියක් . යම් විදියකින් අතවරයකට ලක් උනොත් එහිදි අනුගමනය කල යුතු ආකාරය, ගතයුතු නීතිමය පියවර සඳහන් කර ඇති නිසා ලිපියේ අගය තවත් වැඩි කලා .

    ReplyDelete
  7. රයිපනෝල් ලංකාවෙ තහනම් වෙන්නත් එක හේතුවක් නේද ස්ත්‍රී දූෂන???

    ReplyDelete
  8. -Gimhani ,
    ස්තුතියි ඔබට...

    -ඕනයා ,
    ඔබ කියන ඖෂධය ලංකාව තුල Misuse of Prescription Drug ඖෂධයක් විදියට U.N.විසින් හදුනාගෙන ඇති ඖෂධයක් ..ස්තුතියි මල්ලී.

    ReplyDelete
  9. ගොඩාක් ස්තුති මෙවන් වූ වැදගත් ලිපියක් ලිවිම ගැන :)

    ReplyDelete
  10. -වර්ණා ,
    ස්තුතියි ඔබට ..

    ReplyDelete
  11. ඉතා වැදගත් කාලීන ලිපියක්,ස්තුතියි.

    ReplyDelete
  12. කවදාවත් නොවිසඳෙන ප්‍රශ්නයක් . අපේ ආච්චිලා අපේ අම්මල ව ගොඩක් පරිස්සන් කළා . ඒ තද නීති දාල ගැහැණු ළමයි වැඩිය සමාජයට නිරාවරණය නොකර . ඊට පසු අපේ පරම්පරාව යම් නිදහසක් ලැබුවා . ලෝකය ගැන වඩාත් පුළුල්ව දුටුවා . දැන් මගේ ළමයින්ගේ පරම්පරාව . ආයිත් අපේ ආච්චිලා කලාවගේ ගෙදරට හිර කරලා හදන්න වෙලාද . අපි පරිනාමයේ පහලට යනවද කියලා මට හිතෙන්නේ . ළමයින් විදිහට අපිට වැඩිහිටි පිරිමි පරාන වලින් එච්චර කරදරයක් තිබුනේ නැහැ . දැන් සියලගෙන් මාමලාගෙන්..සමහර විට තාත්තලාගෙන් වත් ළමෙක්ට බේරෙන්න බැහැනේ . බෞද්ධ රටක් විදිහට අපි ලජ්ජා වෙන්න ඕනේ . බුදුදහමේ මුලික හරය වත් අඳුනගන්න බැරුව අතරමන් වෙලා නේද අපේ රට . නීති තද නිසාද මන්ද වියට්නාමය ටිකක් අපිට වඩා හොඳයි . ඕන ඇඳුමක් ඇදන් රෑ පානෙක වුනත් කෙල්ලෙක්ට පාරක යන්න පුළුවන් . මහා දවාලෙත් එහෙම බැරි අපේ රට ගැන දුකයි . ලිංගික නිදහස වැඩි ඇමරිකාවත් එහෙම නම් අනේ මන්ද මොකක්ද මේකට කරන්නේ .

    ReplyDelete
  13. -newton edirisinghe ,
    ස්තුතියි ඔබතුමාට...

    -Bindi ,
    ඇත්තෙන්ම බින්දි , අපේ රටේ සිද්ධවීගෙන යන විදිය ගැන කල්පනා කළාම නම් හෙට දවස මොනවගේ වේද හිතාගන්න බැරි තරම් ,දැන් දැන් වයසක ආච්චි කෙනෙක්ටවත් තනිපංගලමේ ඉන්න බැරි තරමට විකෘති වෙලා , මිට ඉහත අමිල මල්ලි කීව වගේම “එකම ආතල් එක එක සෙක්ස්“ බවට පත්වූ තරුණ සමාජයක් බිහිවෙමින් යනවා වාගේ.බොහොම ස්තුතියි කතා බහට එක්වූවාට , සමාවන්න පිළිතුරු දෙන්නට ප්‍රමාද වීම ගැන ..දැනුයි ගෙදර ආවේ ..

    ReplyDelete
  14. බොහොමයක් තරුණ අවදියට එලබෙනකොට ගමෙන් නගරයට ටිවුෂන් ගන්න එන ළමයින් මේ තත්වයට පත් වෙනවා ඇයි ඒ.....?

    ReplyDelete
  15. ටිවුෂන් ගන්න ගමෙන් නගරයට එන ළමයි වැඩිපුර මේ තත්වයට පත්වීමට යම් හේතුවක් තියෙනවද ................?

    ReplyDelete
  16. -lalith ,
    ඔව් lalith , මෙතැනදි නම් නොදැනුවත්කම(ඒ කියන්නේ ලිංගික අධ්‍යාපනය විතරක් නොවෙයි , සාමාන්‍ය සමාජයේ සිදුවීම් ගැන පවා) , කුතුහලය , වගේම දෙමාපිය වැඩිහිටියන් සමඟ තිබෙන සෘජු බැඳිම් වලින් තාවකාළිකව හෝ “නිදහස්වීම“ වැනි හේතු සාධක නිසා මේ තත්ත්වයට හේතුවක් කියලයි මට හිතෙන්නේ ..ඒ එක්කම නාගරික වටපිටාවේ ඉන්න මේ ගමේ ඉඳළ එන අය ඩැහැගන්න සූදානම්ව , පෙර පුහුණුලත් පිරිසකුත් ඉන්න බව අපි දන්නවනේ ..ඉතින් ඔය වගේ සාධක එකතු වුනාම ...ඔබ කියන දේ නොවේ යැයි කියන්නට පුළුවන්ද? ස්තුතියි lalith .

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)