2012/03/18

88) හැංගුණු තුන , දෙකට පැළෙන කෙඳිරිය ...

මීදුම් වළාවන් ගලාලා ......
වස්සානයේ මුල් සීමාව ආරම්භ වෙලා ...දවසේ  උදේ වරුවේ තද හිරු එළිය තිබුණත් හවස් වෙනකොට ටික ටික අදුරු වෙලා මීදුම එකතු වෙනවා . හෙට අනිද්ද වෙනකොට  බොහොම දරුණු අකුණු එක්ක වැස්ස පටන් ගනීවි . ලැබුණු මේ කෙටි කාළ සීමාවේ හැම කෙනෙක්ම ගෙවල් වලින් එළියට බැහැල , මෙතුවක් දවස් ගෙවල් අස්සේ හැංගිලා වගේ හිටපු පුංචි පැටවු මෙන්න දැන් පාර පුරා දුවනවා ..නටනවා ...හරිම සුන්දරයි ...ඒ හිනාවන් එක්ක ..මේ පළාතම අළුත් එළියකින් පිරිල ගිහින් වගේ මට හිතුනා. ..March break එක නිසා නිවාඩු උනත්  , අපේ දෙන්නත් දැන් ඉතින් හැමදාමත් Stonewood park එකේ තමා , මොකද යාලුවෝ ඔක්කොම එතැන . ..වැඩ අවසන් කරල ගෙදර ආ ගමන් ..“තාත්තේ අපි රෙඩී ....යමුද ? ....“ .. මොනවා කරන්නද “ යමු ඉතින් ...“ .....ආයෙ ඉතින් ගෙදර එන්නේ රෑ අට නමය වෙලා ...(මේ දවස් වල රෑ හත විතර වෙනකම් හොඳට ඉර එළිය තියෙනවා , පහුගිය කාළෙනම් හවස හතර වෙනකොට මහ ඇඳිරිය) ...ඔය නිසාම මේ දවස් ටිකේ ඇවිත් තිබුණු ඇමතුම් , පණිවිඩ බොහොමයකට පිළිතුරු දෙන්නට පමා වුනා ..ඒ ගැන සමාවන්න කියන්නම ඕනනේ ..



අක්කල , නංගිලා ......හිරු රැස  ,උණුසුම
අදත් හවස්වරුවේ පාර්ක් ගියා ...දෙන්න එක්ක හොඳට නැටුවා ..තව යාළුවො කට්ටියකුත් හමුවෙලා ...ඉතින් කාළෙ යනව දැනෙනවයැ ...අපි දෙන්නත් ටිකක් විවේක පාඩුවේ කතා කර කර හිටිය ..ලොකූ පාර්ක් එක වටේ බයිසිකල් පදිනවා , පොඩීත් පස්සෙන් යන්න ලොකු උත්සාහයක ...කාළෙ යනවා ...ටික ටික මීදුමත් එනවා ..අපි බලාගෙන ඉන්නවා ...“තාත්තේ මේ ....මේ බලන්නකො ..අර ගහේ දළු ඇවිත් ...රතු පාටයි ....මේ ......“ බයිසිකලේ කොහේ හරි දාල මොකක්දෝ කොළ වගයක් අරගෙන පොඩ්ඩි මා ගාව “ .....“හ්ම් ..දැන් ගස්වල කොළ , දළු එන කාළෙනේ ..ඔය අර පාර්ක් එකේ මැද පාර අයිනේ තියෙන ගහේ නේද ? ....“  ..මටත් මතකයි එද්දි දැක්ක ..හරියට බල්බ් වැල් වගේ පුංචි පුංචි රතුපාට පොහොට්ටු වගයක් , ගහ මොකක්ද කියල නම් මාත් දන්නේ නෑ ..ඒත් හරිම ලස්සනයි ......
“ඔව් තාත්තේ ..ඒ වුනාම මේ බලන්න ..මේ දිග ඇරියම පෙති දෙකයි තියෙන්නේ ....ඒ වුනාට මේ වේලිච්ච කොළේ පෙති තුනක් තියෙනවනේ ......“.....පොඩ්ඩිට ඉතින් පොඩි දෙයක් ඇති ලොකු කතාවකට .....
ක්‍රීස් .........වේගෙන් ආපු අක්කණ්ඩි බයිසිකලේ බ්‍රේක් කළා ...වැලි පාරත් එක්ක ලිස්සල ඇවිත් අපි ගාවම නැවතුනා ...“හොඳයි ..තව පොඩ්ඩෙන් ..!...“ අම්මගෙන් වැඩි විස්තර අහගන්නේ නැතිව ලොකුත් හිමින් සීරුවේ අපේ කතාව අස්සට ආව ...
“ඇත්තමයි ..මෙයාටත් ඉතිං අහුවෙන්නේ ඕවමනේ ....“
“නෑ අක්කී ..මේ බලන්නකෝ ..මේකෙ පෙති දෙකයි ..එයා ලොකු වෙලා නාකි වුනාම පෙති තුනයි ...එහෙම වෙන්නේ කොහොමද ? ...“ පොඩ්ඩි මොකක්දෝ කුතුහළයක් එක්ක අක්කගෙන් අහන්නේ ..
“හාර්ට් එකේ වගේ නේද තාත්තේ....වැල්ව් දෙකක් එක් පැත්තේ අනෙක් පැත්තේ තුනක් ..නේද ?“ ලොකු ටිකක් ලොකු කතාවක් පටන් ගත්ත ...
“ඒ වුනාට වැල්ව් දෙක තුනක් වෙන්නේ නෑනේ වයසට යත්දි ...නේද තාත්තේ ..? ...“
මේ අතරේ මනෝජ තව කොළ දෙක තුනක් කඩාගෙන ඇවිත් ..
කොළ ප්‍රශ්න ...
“මේ බලන්න ...ඔය දල්ලේ පෙති දෙකක් වගේ තිබුණට අයිනට වෙන්න තව පොඩි පෙත්තක් තියෙනවා ...කොළේ ලොකු වෙනකොට ඒක වෙන් වෙනවා ඇති ......මෙන්න .....“ ...අම්මගේ විස්තර කිරීම අහගෙන දෙන්න එක්කම දළු දිග ඇර ඇර බලනවා ...
ප්‍රශ්නේ විසඳුනා ...දෙන්න එක්ක ආයෙත් තරඟෙට ගියා ...අපි දෙන්න ආයෙත් ටික වෙලාවකට තනිවුනා ...මගේ හිතට තව කතාවකට මුලක් පෑදුනා ...“ඒ වුනාට වැල්ව් දෙක  , තුනක් වෙන්නේ නෑනේ වයසට යත්දි ...නේද තාත්තේ ..? “  ඔන්න ඔය ප්‍රශ්නේ එක්ක මට හිතුන ලියන්නට , ....වයසට යත්දි දෙක , තුන විමක් නෙවෙයි ..ඊට ප්‍රතිවිරුද්ධ දෙයක් .. ඒකිව්වේ අඩු වයසෙදි හඳුන ගන්න , පෙති තුන ..පෙති දෙකක් වීමක් ගැන .....
මොන අණ්ඩර දෙමළයක්ද මේ ......කියවන ඔබ මාත් එක්ක දැන් ටිකක් අමනාපෙන් ඇති ...මේ වට වන්දනා නැතිව කතාව කිවනම් ඉවරයිනේ ..නේද ...ඒත් මොනවා කරන්නද ? සමහර බෙහෙත් දෙන්නට ඕන sugar coated කරලනේ ...ඒකයි මේ වට වන්දනාව ...

මොකක්ද මේ පෙති කතාව ....

ඒ ගැන කියන්න නම් මුලින්ම අපේ පන්තියට එන්නට ඕන ..( මේ එක්කම කියන්නට ඕන පහුගිය කාළේ පුරාවට ටිකක් රාජකාරි බහුල වුන නිසා අපේ ..“සොඳුරු සුව සිප් හල“ ට අළුත් ලිපියක් එක් කරන්නට බැරි වුනා ..මේ සතියෙ ඉදලා අළුත් වෙනසක් එක්ක එයත් අළුත් වේවි)

අද පන්තියේ අපිට කතා කරන්න වෙන්නේ හෘදය  ගැන
පහේ පන්තියේ ඉඳළම අපි දන්නවනේ හෘදයේ කොටස් , එහි ක්‍රියාකාරීත්වය ගැන සරළ කරුණූ ටිකක් ..මම දැන් ඔය දන්න දේවල්ම ආයේ ආයේ  මොකට කියනවද ..හැබැයි අද මාතෘකාවේ හැටියට අපිට කතා කරන්න වෙනවා ..වම් කෝෂීකාවේ (left ventricle) ඉඳළ පිරිසිදු රුධීරිය ඇඟ පුරා ගෙන යන්නට උදව්වෙන සංස්ථානික ධමනිය (Aorta) සහ එහි ආරම්භක ස්ථානය ගැන ..මේ මහා ධමනිය තමයි අපේ දේහයේ හැම තැනටම වගේ ඔක්සිජන් වැඩි , පිරිසිදු රුධිරය අරගෙන යන්නේ , ඒ නිසා එය ජීවිතය පවත්වා ගන්නට හරිම වැදගත් ධමනියක් ..හැබැයි කොච්චර වැදගත් වුනත් control එකක් තියෙන්න එපායැ ..නැත්නම් ඉතින් වැදගත්කං වතුරේනේ ...ඒ නිසා මේ සංස්ථානික ධමනියේ ආරම්භයේත් පොඩි පාළක කපාටයක් තියෙනවා ....ඒ කිව්වේ වැල්ව් එකක් ..ඒක ඇරුනම තමයි මේ හෘදයෙන් දේහය පුරා යන්නේ ..ඒ වැල්ව් එක වැහුනම ආයෙත් ලේ ටික ධමනිය දිගේ පිටිපස්සට ඇවිත් වම් කෝෂිකාව ඇතුලට නොවැටෙන විදියට තමයි මේ කපාටය වැඩ කරන්නේ . මේ දළ රූප සටහනේ කපාටය පියන් දෙකක් වගේ ඇඳළ තිබුණට ඇත්තටම Aorta එක ආරම්භයේ තියෙන්නේ පියන් තුනක් තිබෙන කපාටයක් ...ඒ පියන් තුනම හරියටම ක්‍රියාත්මක වීම තමයි නිරෝගී තත්ත්වය ...ඒත් එක්තරා අසාමන්‍යතාවයකදි මේ පියන් තුනෙන් දෙකක් එකට හාවෙලා ..තනි එකක් වගේ පිහිටනවා ..එතකොට හරියට වැඩ කරන්නේ පියන් දෙකක් තියෙන කපාටයක් වගේ ..


අන්න ඒ අසාමාන්‍ය තත්ත්වය ගැන තමයි අද අපි මේ කතා කරන්නේ .එය අපි වෛද්‍ය විද්‍යාත්මකව නම් කරන්නේ Bicuspid Aortic Valve Disease කියලා ..B.C.V.D(Bi කියන්නේ දෙක ...cuspid කියන්නේ තුඩු කියන එකනේ ...)   දැන් මොකද වෙන්නේ ...අර පෙති තුන් තියෙන කපාටහ හොඳට විවෘත වෙලා ..තමන්ගේ ධමනිය ඇතුලට පිරෙන්න හොදට ලේ අරගත්තට , මේ Bicuspid valve එකට අර වගේම හොඳට විවෘත වෙන්න අමාරුයි ..ඒ නිසා ඒ තුලින් ලේ ධමනියට ගලා එන්නට අමාරුයි ....ඔන්න ඔය අපහසුතාවයත් එක්ක මතුවන රෝග තත්ත්වය තමයි අපේ අද කතාව ..

අපි මේ කතා කරන තත්ත්වය ආරම්භ වන්නේ උපතටත් පෙර ..කළල අවධියේදිමයි ..ඉතින් මේ දරුවා උපදින අවස්ථවේ තියෙන්නේ මේ කියන පෙති දෙකේ Aortic valve එකක් ..මේ අක්‍රමවත් බව නිසා සමර විට සංස්ථානික මහා ධමනියට හෘදයේ ඉඳළ ලේ ඇතුළු වෙන එක හොද නොවෙන්න පුළුවන්(Aortic stenosis) ...ඒ වගේම සමහර විට කපාට හරියට වැහෙන්නේ නැති නිසා , ධමනියට ඇතුළු වුනු ලේ ආපස්සට (regurgitation) ඇවිත් තවත් හෘදයට කරදර ඇති කරන්නත් පුළුවන් ..කෙටියෙන්ම කිව්වොත් හෘදයේ ක්‍රියාකාරීතවය වෙනස් වනවා.

වැදගත්ම දේ ......... ... මේක පරම්පරාවෙන් එන්නට  සහ තවත් හේතු නිසා කළල අවස්ථාවෙම ඇතිවන තත්ත්වයක් නිසා වලක්වා ගන්නට අමාරුයි ..ඒත් හොඳ සැළකිල්ලෙන් පරික්ෂණ සහ නිරික්ෂණ කළොත් මේ තත්ත්වය මුලින්ම හඳුනාගන්නට පුළුවන් . මේ තතත්වය දරුවා කුඩා කාළයේදිම හඳුනගත්තොත් .....වෙන්නට තිබෙන අනතුරු සෑහෙන දුරකට අඩු කරගන්න පුළුවන්... ඒ නිසා දැන් ඉතිං කළබල නොවි මේ රෝග ලක්ෂණ ටික කියව ගන්නකෝ ....හැබැයි ඔන්න එක ලක්ෂණයක් දෙකක් දැක්ක ගමන් කළබල වෙන්නත් එපා ...සැකයක් තිබේනම් ඔබේ පවුලේ වෛද්‍යවරයා මගින් දරුවා පරික්ෂා කරවා ගන්න ..බොහෝවිට ඔහුගේ වෙද නලාවට මේ වෙනස හඳුනාගන්නට පුළුවන් වේවි ...කෝකටත් අපි දැන් විය හැකි ලක්ෂණ බලමුකෝ ..විශේෂයෙන්ම තව දෙයක් කියන්නට තිබෙනවා ..හුඟක් වෙලාවට මේ තත්ත්වය නොසැලකිල්ල නිසා මග හැරිලා යන්නට ඉඩ තිබෙනවා ..එහෙම වුනොත් එය හඳුනාගන්න අවස්ථාව වෙන විට තවත් කරදරයක් මතුවෙලා වෙන්නත් පුළුවන් .. මම මෙතැනදි නොසැලකිල්ල කියල කිව්වේ දරුවා පිළිබඳ , වෙනස්කම් පිළිබඳව තැකිමක් නොකරන දෙමාපියන් සහ සමහර සෞඛ්‍ය කණ්ඩායම් කියල කියන්නත් ඕන ..මොකද මේ තතත්වය හරියට හදුනගන්න අදාල පරික්ෂාවන් ඉතා සියුම්ව කරන්නට ඕන , විශේෂයෙන්ම හෘදයේ කෙරෙන Echocardiogram පරික්ෂාව ඉතාමත් සියුම්ව කළොත් මේ තත්ත්වය හදුනාගන්නට පහසුවුවත් ....අපේ රටේ ඉහළම රෝහල් වලදිත් මේ තත්ත්වය හදුනා නොගෙන (හඳුනාගන්නට උත්සාහ නොගෙන) පසුකාළිනව උග්‍ර අවස්ථාවට ආ විට ඒ හඳුනාගත් අවස්ථාත් අප දැක තිබෙනවා .)

මේ තත්ත්වය සහිත දරුවා හරිම ඉක්මණින් වෙහෙසට පත්වෙනවා ..සමහර විට ටික වෙලාවක් හඬන විටත් තදින් වෙහෙසට පත්වෙනවා . ඒ එක්කම ඇඟ සුදුමැළි වීම , හුස්ම ගන්නට අමාරුවීම වගේ ලක්ෂණ එන්නත් පුළුවන් . ටිකක් ලොකු දරුවෙක් නම් පපුවේ කැක්කුමකුත් මේ එක්ක කියන්න පුළුවන් . එහෙම නැත්නම් “පපුව ගැහෙනවා එළියට දැනෙනවා වගේ “ කියල කියන්නත් පුළුවන් ...නොසළකා ඉන්න එපා ..මේ වැදගත් ලක්ෂණයක් වෙන්නට පුළුවන් . මේ එක්කම දිගින් දිගටම දරුවගේ බර අඩු වීම , කකුළෙ වලළු කර හරිය ඉදිමිලා වගේ ඒ එක්කම දරුවගේ ක්‍රියාකාරකම් අඩුවීම වගේම ආහාර රුචිය අඩුවීමත් වෙන්නට පුළුවන් ලක්ෂණ ..ඔන්න දැන් ඉතිං  පොඩි එකා දවසත් දෙකක් කැම අප්පිරිය කළාම හාර්ට් ලෙඩක් කියල “ලෙඩ දාන්න එපා“ .... මේ තත්ත්වයේ සැළකළ යුතු මුල්ම ලක්ෂණය “අල්ල ගන්නේ “ ඔබේ පවුලේ වෛද්‍යවරයා ..ඔහු දරුවාගේ හෘද් ශබ්ද අහනවිට ...සාමාන්‍ය රිද්මයට අමතරව තවත් කෙදිරිළි හඬක් හෘදයෙන් ඇසෙන්නට ඉඩ තිබෙනවා , එය murmur කියලයි නම් කරන්නේ ..ඒ හදුනාගැනිම වුනොත් කෝකටත් කියලා දරුවා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්ට යොමු කරාවි ...

ඒ අවස්ථාවේ ECG,Echocardiogram කියල පරික්ෂණය , Xray , MRI කියන පරික්ෂණ වගේම ..සමහර විට හෘදයට යම්  ඩයි වර්ගයක් ඇතුළු කරළා ගන්න විශේෂිත Xray ක්‍රමයත් Angiography මේ අවස්ථාවේ යොදා ගන්නවා . ඒ පරික්ෂණ වලින් හදුනගත්තොත් දරුවාට B.C.V.D කියල ................එකපාරටම බෙහෙත් කරන එකක් නැහැ ..මුලින්ම බලාවි පවතින තත්ත්වය නිසා හෘදය අක්‍රමවත් විදියට විශාල වීමක් හෝ සංස්ථානික ධමනියට ආබාධයක් වීමේ හැකියාවක් ඇත්දැයි . එසේ නොවේ නම් දරුවාට සාමාන්‍ය ළමා ක්‍රියාකාරකම් වල යෙදෙන්නට දෙමින් වසරකට , වතාවක් හෘදයේ තත්ත්වය පිළිබඳ පරික්ෂා කරවා ගන්නට උපදෙස් දේවි ...දැන්නම් මේ කරුණ නොසළකා හරින්නට එපා ..මතක ඇතුව හැම වසරකදිම නැත්නම් නියම කළ කාළ සීමාවෙදි අදාල පරික්ෂණ කර ගනිමින් හෘදයේ තත්ත්වය පිළිබඳ විමසිල්ලෙන් ඉන්න . හුඟක් අවස්ථා වල දරුව ලොකු වෙලා අවුරුදු 20ක් 30ක් විතර එනකම් ලොකු කරදරයක් වෙන එකක් නැහැ ...සමහරවිට ඊටත් එහාට යනකම් කරදරයක් නෙවෙන්නත් පුළුවන් . හැබැයි අපේ නොසැලකිල්ල නිසා සිදුවන වෙනසක් මුල් අවස්ථාවේ හදුනා නොගත්තොත් තත්ත්පර කිහිපයකදි ජීවිතය වුනත් නැති වන්නට  තරම් දරුණූ ප්‍රතිපල දෙන්නටත් පුළුවන් .

කෘතිම කපාටක් දාන්නත් පුළුවන්
ඒ කිව්වේ හෘදයේ ක්‍රියාකාරිත්වය ක්ෂණිකව නතරවීම , නැත්නම් අපි කතා කළ සංස්ථානික ධමනිය පුපුරායාම වගේ මාරාන්තික අවස්ථාවකටත් මේ පත්වෙන්නට ඉඩ නැතිවා නොවේ .

ප්‍රථිකාර කළ යුතු මට්ටමේ නම් හෘදයේ ක්‍රියාකාරීත්වය ශක්තිමත් කරන ඖෂධ , රුධීර පීඩනය පාලනයට ඖෂධ වගේ ඖෂධීය ප්‍රතිකාර කරාවි ..ඒත් මෙයින් යම් තරමක හෝ සහනයක් ලබන්නට නම් ශල්‍ය ප්‍රතිකාර අවශ්‍යමයි ..ඒ කිව්වේ අපි කතා කළ කපාට පටු වෙලා නම් ( වියපත් විමත් එක්ක වෙන්නට පුළුවන්) එය පළල් කිරිමක් ...නැත්නම් කපාට අක්‍රියනම් කෘතිම හෘද් කපාට යෙදීමක් වගේ කරන්නට වේවි .

හොඳට මතකා තියා ගන්න ..දරුවට මේ වගේ තත්ත්වයක් ඇත්නම් , ව්‍යායාම සීමා කල යුතු බවට විශේෂ වෛද්‍ය උපදේශයක් නොවේ නම්  , දරුවට සීමා තහංචි දමන්නට එපා ...දරුවා හිතින් ලෙඩෙක් කරන්නත් එපා ...දරුවාගේ සාමාන්‍ය ළමා කාළය ගත කරන්නට දෙන්න , සෙල්ලම් කරන්න , නටන්න , සිංදු කියන්න  ඉඩ දෙන්න .. හැබැයි දෙමාපියන් විදියට ඔබේ අවධානය වැඩිපුර යොදන්නට කැප වෙන්න ...තව දෙයක් දරුවා ලොකු වුනාම තමන්ගේ තත්ත්වය ගැන අවබෝධයක් දෙන්න ..මොකද ඔහු  නැත්නම් ඇය විවාහවෙත්දි විශේෂ උපදෙස් තමන්ගේ වෛද්‍යවරයාගෙන් ලබා ගන්න එක වඩාත් සුදුසු නිසා ..මොකද නැත්නම් මේ තත්ත්වය තවත් පරම්පරාවක පැටියෙක්ට යන්නට පුළුවන් ...

එහෙම නම් අද කතාවත් මෙතෙකින් අවසානයි ....දැන් නම් වෙලාව උදේ පාන්දර තුනහමාරයි ...එහෙමනම් අපි යන්නම් ..මොකද හෙට උදේ නැගිට කට්ටිය එක්ක ලැහැස්ති වෙන්න ඕන “බස් රේඩියෝ එකේ නිශාන්තය අහන්න“ ...එසේ නම් ඔබ සැමට සුවදායි දිවියක් පතනවා .....

****පසුව එක් කළෙමි.
අද උදේ බලත්දි “සිංහල බ්ලොග් තරඟාවලිය 2011“  වැඩසටහනේදි “හොඳම අධ්‍යාපනික බ්ලොග් තුන අතර මේ සොඳුරු සුව අසපුවත් තිබුණා ...හිතට නිරාමිස සතුටක් දැනුනා ....ඒ සිංහල බ්ලොග් අවකාශයේ “මහා පතාකයන්“  අතරේ අපේ මේ පුංචි බ්ලොග් අඩවිය ගැනත් යම් තරමක හරි හඳුනාගැනීමක් වී තිබීම පිළිබඳව ...ඉතින් ඒ හඳුනා ගැනීම කළ ඔබ සැමට බොහොම ස්තුතියි ...කෙසේ වෙතත් හිතේ සතුට වෙනුවෙන් මේ කටයුත්ත ඉදිරියටත් කරගෙන යනවා ...ඔබ එනවා නම් , ඔබ කියවනවා නම් ..ඔබ යම් තරමක හෝ දැනුමක් ලබා ගන්නවා නම් ....එයයි මගේ සතුට .... “සතුට , ජීවිතය ...ජීවිතයක් සේ ...ජීවත් කරවන බව මගේ හැඟුමයි“ ...“

22 comments:

  1. මේ ලිපි ටික ඔක්කෝම නිවාඩුවක් වත් දාලා බලන්න ඕන අප්පා . . ඒ තරම් වැදගත් . . ඒත් නිවාඩු දාට ඉතිං රාජකාරී දාට වඩා වැඩ . .

    ReplyDelete
  2. අහ් මගේ සුභ පැතුම් ජයග්‍රහනයට . . .

    ReplyDelete
  3. ඉස්සෙල්ලම මගෙ සුභ පැතුම් පිලිගන්න.

    දෙවනියට,
    මේ විස්තරය කියවද්දිම මට මතක් උනේ මම බලපු චිත්‍රපටියක්. ෆික්ෂන් කොමඩියක් උනාට මිනිස් සිරුරේ අභ්‍යන්තරය මම මුලින්ම දැක්කෙ ඒ චිත්‍රපටියෙන්. නිකං ඉන්න වෙලාවක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න, <a href="http://en.wikipedia.org/wiki/Innerspace>Inner Space (1987)</a>

    ප.ලි.
    මගෙ කොමෙන්ට් එක පෝස්ට් එකට අදාල නැතිඋනාට ගනන් ගන්න එපා

    ReplyDelete
  4. -සොඳුරු සිතැති මිනිසා,
    ස්තුතියි ඔබට , පැමිණිම සතුටක් ...

    -දුකා ,
    ඇත්තෙන්ම , නිවාඩුව , නිවාඩුවේ ගත කරන්නේ වෙන්නේ බොහොම කලාතුරකින් තමයි , ඔව් ඉඩක් ලද විට එන්න , ඔබේ පැමිනිම මට සතුටක්...ස්තුතියි ඔබට , එය ජයක් නම් , එහි සතුට ඔබටත් හිමියි, මක් නිසාද යත් , ඔබ සැමගේ දිරි ගැන්වීම් , සහයවිම් නොවන්නට “සොඳුරු සුව අසපුවක්“ ඉදිරියට නොයන්නට තිබුණා ..

    -ඕනයා ,
    ස්තුතියි මල්ලි , වටින link එකක් දීල තියෙන්නේ , අදම download කරගන්න ඕන ..ස්තුතියි ඔබට ..

    ReplyDelete
  5. ඔබගේ බ්ලොග් එකේ දිගටම සිටි කෙනෙක් විදියට ලොකු සතුටක් දැනුනා . ජය වේවා !

    ReplyDelete
  6. සිනිතවරලා දෙන හිනදනේ කියවන්න කම්මැලි නැත්තේ . කියන්න දෙයක් නැහැ . ලිපියත් සුපිරි ..බ්ලොග් එකත් සුපිරි ...මගේ හද පිරි සුබපැතුම .

    ReplyDelete
  7. -Gimhani,
    ඔව් ගිම්හානි , ඔබ වැනි සැමගේ දිරි ගැන්වීම් නිසා ලද මෙය , ජයක් නම් , එහි සතුට ඔබටමයි ...ස්තුතියි

    -Bindi ,
    ස්තුතියි බින්දි , ඔබ සැමගේ දිරි ගැන්වීම් නොවෙන්නට මෙය මෙතෙක් නොඑන්නටත් ඉඩ තිබුණා , ඒ නිසා ඒ සතුට ඔබටමයි

    ReplyDelete
  8. ආරෝග්‍යා පරමා ලාභා කියනවානේ. ඉහතින් මේකට අනිවාර්යයෙන්ම උසස් තැනක් ලැබෙන්න ඕනා. මගෙත් සුබපැතුම්..

    ReplyDelete
  9. -සරත් ලංකාප්‍රිය ,
    ස්තුතියි ඔබට ..පැමිණිම සතුටකි මට .

    ReplyDelete
  10. වසරේ හොඳම අධ්‍යාපනික බ්ලොග් අඩවිය - සොඳුරු සුව අසපුවට මගෙන් උණුසුම් සුභ පැතුම්

    ReplyDelete
  11. මට දැනෙන සතුට නිමක් නෑ . මුල සිටම ඔබගේ ලිපි කියවපු හා
    …කමෙන්ට් කල කෙනෙක් වශයෙන් දැනෙන සතුට අපමණයි .
    …ඔබ අප වෙනුවෙන් විශාල මෙහෙයක් කල කෙනෙක්.
    …ජය පතනවා !

    ReplyDelete
  12. හදවතින්ම සුබ පතනවා !!! (මම මෙකෙ කොමෙන්ට් නොකෙරුවට මෙ බ්ලොග් එක කියවනවා. කොමෙන්ට් නොකරන්නෙ උම්බෑ කියනවා කාට හරි තේරෙයි කියලා. :) )

    ReplyDelete
  13. -priyantha ,
    ස්තුතියි ඔබට ..

    -Gimhani ,
    ස්තුතියි ගිම්හානි ,

    -වර්ණා,
    ඔබටත් ස්තුතියි ...

    -Loku John,
    කොමෙන්ට් නොකළත් ඔබ එන එකම මට සතුටක් , ස්තුතියි

    ReplyDelete
  14. සොඳුරු සුව අසපුවේ ජයග්‍රහනයට හදපතුලින්ම සුභ පැතුම්..
    ගොඩක් දේ ගැන අපත් එක්ක බෙදාගන්න ශක්තිය කාලය ඉඩපාඩු ලැබේවා..

    ReplyDelete
  15. -රූ.... ,
    ස්තුතියි රූ.... ඔබත් සොඳුරු සුව අසපුවේ තවත් ළඟ මිතුරෙක් .

    ReplyDelete
  16. මම සොඳුරු සුව අසපුවේ මුල ඉදලා තියෙන සේරම ලිපි කියවලා තියනවා.
    නමුත් කමන්ට් එකක් දාන පළමු අවස්ථාව තමයි මේක.
    මෙච්චර කල් ඇවිත් කියවලා ගියාට කමන්ට් කලේ නැති එකට සමාවෙන්න ඕන මම දන්නවා බ්ලොග් කරුවෙකුගේ සතුට තියෙන්නේ කමන්ට් එකේ විත්තිය.
    එහෙනම් මගෙන් සුභ පැතුම්!!!

    ReplyDelete
  17. -ලිලංක රවිනාත් ,
    ස්තුතිය ලිලංක , ඔබේ අදහස් දැක්වීම සතුටක් ..

    ReplyDelete
  18. SATHUTUI ATHTHATAMA..TAWA TAWAT LIAYANNA SHAKTHIYA LABEWA...

    ReplyDelete
  19. ස්තූතියි අපිව දැනුවත් කරනවාට.

    ReplyDelete
  20. -king Ramsis ,
    sthuthiyi obatath ....

    -අටර්‍මපහුර,
    ස්තුතියි ඔබේ පැමිණීමම සතුටක්

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)