2012/04/04

91) මට මා නැති වන .....කළුවර මතකය

ජීවිතේ නියන්නේ පුදුමාකාර වෙනස්වීම් රැසක ප්‍රතිපලයක් ...කායිකව ..මානසිකව ..පාරිසරිකව ..සමාජයීයව ..ඔය වගේ විවිධාකාර මාන ඔස්සේ සිදුවන අනවරත වෙනස් වීම් මාලාවක් තමයි මෙය .. ඉතින් මේ වෙනස්විම් , වන බව දැන හඳුනගෙන , ඊට ගැලපෙන ලෙසින් හැඩ ගැසෙමින් ඉදිරියට යාම තමයි අපි කළ යුත්තේ ...විටෙක ඒ වෙනස් වීම් හිතට සතුටකුත් විටෙක දුකකුත් දේවි , සමහර විට එහෙම දෙයක් වුනාද කියන්න තරම් අපිට නෙදැනුනු වෙනස්විම් වෙන්නත් ඇති ..කෙසේ වෙතත් අපේ ජීවිතය , ජීවිතයක් කරන්නෙත් මේ වෙනස්වීමමයි ...



අද “ලෙඩ පෝසට් “ එකක් කියවන්න හිතාගෙන ආපු ඔයාට මේ මොන බණක්ද කියල හිතෙන්න ඇති ...ඔව් පොඩි බණක් තමයි ..මේ ගැනත් ටිකක් අපි හිතන්න එපායැ නේද ? ...මොකද අපිට තරුණ කාළෙ එන ..විසේට ඕව ගැන හිතෙන එකක්යැ .. ...Facebook එකේ time line එක දිගේ පහලට යත්දි මගේ ජීවිතේ වුනු විපර්යාස ගැන හිතමින් ...බලමින් යන අතරේ මෙන්න “පොඩ්ඩි“  මගේ කරේ ...“මේ ..තාත්ත පුංචි කාළේ මං වගේනේ ..“ , “හ්ම් ..ඒ කාළේ මගේ කොණ්ඩෙත් ඔයාගේ වගේ තමයි ....හැබැයි......මං ඒ කාළේ ඔයාට වැඩිය සුදුයි ....දන්නවද?......“
“ඇත්තද අම්මේ ...මේ කියන්නේ ....“ පොඩ්ඩිට වෙනද නැති ප්‍රශ්නයක් ආවා ...
“අම්ම කොහොමද අනේ ඒක දන්නේ ...ඔයාට ඒක අහන්න තිබුණෙ අහංගම ආත්තම්මගෙන්  ......“ ලොකු මැද්දට පැන්න ...
“ඔයා ඉන්නකෝ ....ඇත්තද අනේ මේ කියන්නේ ...“ ...
“හ්ම් ... ඒ කාළේ සුදුයි ..පුංචි කාළේ මාත් එක්ක අව්වේ ගිහින්නේ කලු වුනේ ......“ අම්මල දූල ගේ කතාව අහගෙන මටත්  හිනා....කොහොම හරි ඔක්කොම කට්ටිය මගේ වටේ .. වටේ විතරක් යැ .. එක්කෙනෙක් කරේ .... “මහේෂ් අපි අද ෆිල්ම් එකක් බලමුද ...මේ දෙන්නත් වැඩ ඉවරයිනේ .. “ මනෝජගෙන් යෝජනාවක් ...දැන් ඉතින් මගේ වැඩේ ඉවරයි ...ඒ වුනාට ඒකත් ඕනනේ .. සාමාන්‍යෙයන් සතියකට එකක් විතර හොඳ සිංහල චිත්‍රපටියක්  බලන්න දැන් පුරුදු වෙලා ...“මොකක්ද බලන්නේ ....“ ....Youtube පැත්තෙන් ටිකක් search කළා ... බලපු චිත්‍රපට , ටෙලි නාටක අතරෙ හොඳට හුරු රෑප රාමුවක් අහුවුනා .....“ජීවිතයට ඉඩ දෙන්න“ ....ඔව් අපි ලංකාවේ ඉන්න දවස්වල හරිම ආසාවෙන් බැලූ , වැඩිය සද්දේ නැති , බොහොම සුන්දර කතාවක් ...

මතකද මේ ටෙලි නාටකය ...අර ...රිය අනතුරකින් පස්සේ තමා ගැන මතකය නැතිවෙලා ගිය විවාහක තරුණයෙක්ගේ කතාව ....බැලුවෙ නැත්නම් බලන්න ..ඇත්තටම ලස්සනයි .....



හරි කතාවෙන් කතාව හුඟක් දුර ගියා වගේ ..අපි ඉතින් අද කතාවේ මාතෘකාව කිව්වෙ නැහැනේ ..ඔන්න එහෙනම් ...ඔව් අද අපේ මාතෘකාව ....................ඇම්නීසියාව ......????????????  නෑ නෑ ඉන්දුනීසියාව නෙවි ...ඇම්නීසියාව ... මොකක්ද මේ ඇම්නීසියාවයි මේ කතාවත් අතර සම්බන්ධෙ .....?

ඔබ මේ නාට්‍යය බැලුවනම් මතද ඇති මේ තරුණයාට සිදුවන අනතුරකින් පස්සේ ඔහුගේ අතීතය ගැන තිබුණු මතකද නැතිව යනවා , ඔහු තමා කවුද කින එකවත් , නම ගම ...තමන්ගේ දරුව සහ බිරිඳවත් හඳුනගන්නේ නැහැ ..ඒ “තමාට තමාම නැතිවන “ මේ ගැටළුවේ වෙලිල ඉන්න තරුණයත් ...ඒ වඩා සිදුවන කතාවත් තමයි අද අපිට මේ මාතෘකාව දෙන්නේ ....

ම්......මතක නැහැනේ ...
මොකක්ද මේ ඇම්නීසියාව ....මොළයට වන යම් ආකාරයක බලපැමක් , ඒ කිව්වේ අනතුරක් , දැඩි කම්පනයක් වැනි දෙයක් නිසා , එහි තැන්පත්ව ඇති මතක දත්තයන් නැවත සිහි කැඳවන්නට නොහැකීවීම “ කියල ටිකක් බරට කියන්න පුළුවන් ..ඊට ලේසියි මෙහෙම කිව්වම ...මොළයට වන අනතුරක් නිසා සිදුවන “අසාමාන්‍ය අමතකවීම“ .....මෙහෙම කිව්වට මේ අමතක වීම ජීවිතයට සම්පුර්ණයෙන් වෙනස් කරන අමතක වීමක් ...තමන්ට තමන්ම නැති කරවන අමතක වීමක් .....කොහොමද ඔබට මේ වගේ හේතුවක් නිසා ඔබේ නම , ගම , ඔබේ පවුලේ අය , මේ කිසි දෙයක් අඳුනගන්න බැරි තත්ත්වයකට ආවොත් , එදාට මේ දකින , ඇහෙන , දැනෙන හැමදේම අළුත් දේවල් වේවි ,අස්වාභාවික දේවල් වේවි , ඇත්තටම ඔබ අළුත උපන් දරුවෙක්ගේ තත්ත්වයට ඒවි ..

මේ බලන්න මේ තත්ත්වයට ඇත්තටම මුහුණ දුන් අයෙක් කියන දේ , 

 

 

 

 

 

 




දැන් අපිට පොඩි අදහසක් තියෙනවනේ මේ තත්ත්වයේ දුක්බර ස්වභාවය ගැන ...අපි එහෙම නම් දැන් කතා කරමු මේ තත්ත්වය ගැන ටිකක් විස්තරාත්මකව ..

අපි මුලින් කීව වගේ ඇම්නීසියාව කියන්නේ “Partial or total loss of memory, usually resulting from shock, psychological disturbance, brain injury, or illness“ .. දැන් ඔබ හිතාවි අපි වයසට යත්දි , නැත්නම් අපේ ආත්තම්මලා , සීයලාට වෙන අමතකවීමද මේ කියල ..නැහැ , ඔය වයස්ගතවීමත් එක්ක වන “අමතකවීමට හේතුව ඩිමෙන්ෂියා කියන තත්ත්වය එහිදි මේ අමතකවීම සිදු වන්නේ ක්‍රමයෙන් , ටිකෙන් ටික , කෙසේ වුනත් ඩිමෙන්ෂියාවෙදි සියළු දේ අමතක වන්නේ නැතැ තරම් , නමුත් ඇම්නීසියාවෙදි ඩිමෙන්ෂියාට සාපේක්ෂව ඉක්මණින් හෝ එකවර සියල්ල අමතකව යන , නැවත මතකයට නගා ගත නොහැකි තත්ත්වයකට පත්වෙනවා .ඒත් මේ දෙන්නම එක ළඟ යාළුවෝ ..

ගබඩාව ...
මේකට හේතු ගණනාවක් තිබෙනවා , ප්‍රධානම හේතුව මොළයට , විශේෂයෙන්ම මොළයේ මතකය ආශ්‍රිත ක්‍රියාකාරකම් වලට මැදිහත් වන හිපෝකැම්පස් , ලිම්බිග් පද්ධතිය ආශ්‍රිතව වන දැඩි කම්පන සහ අනතුරු , මේක අනතුරක් , මොළයේ ආසාදනයක් , නැත්නම් මොළය ඇතුලේ ගඩියක් හැදීම නිසාත් වෙන්න පුළුවන් . පොතේ නම් මේ තත්ත්වය විස්තර කරන්නේ Physiological Amnesia කියලා ...ඒ වගේම ඉතා උග්‍ර මානසික පීඩනයන් නිසාත් මේ තත්ත්වයට එන්න පුළුවන් , ඒ තත්ත්වය නම් කරන්නේ නම් Psychological amnesia කියලයි .කෙසේ වුනත් මින් වඩාත් වැඩි වශයෙන් හඳුනගන්නට ලැබෙන්නේ අනතුරු ආශ්‍රිතව මොළයට වන අනතුරුත් එක්ක ඇති වන Physiological amnesia කියන තත්ත්වය තමයි .මෙතන අනතුරු කීවේ රිය අනතුරු විතරක් නොවෙයි , මොළය ඇතුලට සිදුවන හදිසි ලේ ගැලීම් , ඒ වගේම මොලයට ලේ සැපයීම අඩාල වීම් වගේම අපස්මාරය වැනි තත්ත්වයනුත් ඊට අයත් .

අපි කිව්වනේ මේකට හේතු ගණනාවක් තිබෙනවා කියලා , එ නිසාම මේකේ වර්ග ගණනාවකුත් තිබෙනවා , අපි නිකමට වගේ බලමුද මේ වර්ග ටික ගැනත් .....

ඔබට මතකද රිය අනතුරු වලට ලක්වෙච්ච අපේ මිතුරන් කියනවා , ඊට පස්සේ මොකක් වුනාද මතක නැහැ , දන්නේ නැහැ කියල ..ඒ තමයි තාවකාළීකව(Transient) ඇතිවූ Anterograde amnesia කියන තත්ත්වය , අනෙක් වර්ගය තමයි මේ හුඟක් චිත්‍රපට වල කතාවෙන්නේ , ඒ කියන්නේ අනතුරක් වෙනවා , ඊට පස්සේ අනතුරක් ලක්ූ කෙනාට ඊට පෙර කාළයේ සියල්ල අමතක වෙනවා , තමන් කවුද ? , නම ගම , සියල්ල නැතිව යන මේ තත්ත්වය වෛද්‍යවිද්‍යාවෙදි නම් කරන්නේ Retrograde Amnesia කියලයි ..

තව එකක් තියෙනවා , සමහර විට මේ ගැන නම් කවුරුත් ටිකක් දන්නව ඇති , ඒ තමයි අපේ මහත්වරු මධ්‍යසාර බොන්න ගිහින් , බීල විතරක් නෙවි නාගෙනම බීල සිහකල්පනාව නැතිවෙනකම්ම බොන අවස්ථාවට පස්සේ සිදුවන දේ , මතකද මන්ද ඒ අවස්ථාවට මුහුණ දුන්නු මිත්‍ර යෝ මේක කියවනවා නම් , මතකද “එදා ඊට පස්සේ මොකක් වුනාද මන්ද , උදේ බලනකොට මෙන්න බෝඩිමේ ...කොහොම ආවද , මතක නැහැ“ ..මේ තමයි alcohol related amnesia කියන තත්ත්වය මේකනම් පැය හයක් අටක් අතරෙදි සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවා , ඒත් හොඳට මතක තියා ගන්න , දිගින් දිගටම මේ තත්ත්වයට පත්වීම , අනාගතේදි Kosrsakoff syndrome කියන මතකය නැතිවන , කල්පනා ශක්තිය නැතිව යන හොඳ කරගන්න අමාරු නරක තත්ත්වයට යාමේ මුල් පියවර .මේ Kosrsakoff syndrome තත්ත්වයත් ඇම්නීසියා වර්ගයක් . අනෙක නම් වයසට ගියාම එන  Transient global amnesia කියන අවස්ථාව ටික වෙලාවකට දැන් කරපු දේවල්  “ඔක්කොම අමතක වන“ තත්ත්වය. අපේ වයසක සීයල සමහර දවස් වලට  දවල්ට කෑම කාළ , පත්තරේ බලල , ටික වෙලාවකින් ආයේ අහනවනේ “පුතේ අපි අද දවල්ට තාම කෑවේ නෑ නේද  ? කියලා ...“ .ඒ T.G.A අවස්ථාවක් ...

තව “ලස්සන අමතක වීමක් තියෙනවා “ ඒ තමයි Lacunar amnesia මේ අයට හැම දේම මතකයි හැබැයි ඒ අතරේ සිදුවූ යම් දෙයක් ගැන කිසිම මතකයක් නැහැ ..සමහර විට විවාහ වු දිනයේ වූ දේ කිසිවක් මතක නැති වෙන්න පුළුවන් , නැත්නම් පාසල් කාළයේ කිසිම දෙයක් මතක නැති වෙන්න පුළුවන් ...ඒ අසාමාන්‍ය තත්ත්වය තමයි Lacunar amnesia කියන්නේ ..

ඔය වගේ කියාගෙන ගියාම දිග ලිස්ට් එකක් ලියන්න පුළුවන් , ඒත් ඕක කියවගෙන යන්නත් එපායැ නේද , අන්තිමට “සොඳුරු සුව අසපුව“ කියන බ්ලොග් එක ගැන Lacunar amnesia ඇති වෙන්නත් බැරි නැහැ . ඒ නිසා දැන් අපි මෙතැනින් තව තැනකට පනිමු ..

මේක මුලින්ම හඳුනගන්නේ මේ පුද්ගලයාගේ ළඟම අය , ඒක වෙනසක් බව හඳුනගත්තට පස්සේ වෛද්‍යවරයෙක් ළඟට යොමු වුනාට පස්සේ ඔහු කරන මූලික පරික්ෂා කිහිපයකින් හරියටම මේ මොකක්ද කියල හඳුනගනීවි , එය තහවුරු කරගන්නට මොළයේ MRI ,CT වැනි ස්කෑනින් පරික්ෂණ කරන්නට ඉඩ තිබෙනවා .

ඊටත් වඩා අවශ්‍ය වුනොත් අක්මාවේ ක්‍රියාකාරීත්වය සහ රුධීරයේ ලවන ප්‍රමාණ අගය කෙරෙන රැධිර පරික්ෂණ කිහිපයකුත් කරන්නට ඉඩ තිබෙනවා . ඒ එක්කම මොළයේ අසාදනයක් නම් කොන්ද විදල කරන පරික්ෂණය (සුෂුම්නා තරළය සුළු ප්‍රමාණයක් ගෙන ) කරන්නට පුළුවන් .මේ තත්ත්වයට හේතුව මොළයේ ලේ ගමනාගමනයේ ප්‍රශ්නයක් නම් Cerebral angiography කියන විශේෂිත එක්ස් කිරණ ඡායාරූප ගන්නත් පුළුවන් .


හරි මේ මොකකින් හරි ලෙඩේ මේකයි කියල හඳුනගත්ත කියමු . දැන් මොකද වෙන්නේ , ඔව් බෙහෙත් කරාවි ...ඇත්ත ඒත් ඇම්නීසියාවටම කියල බෙහෙතක් තවම නැහැ , කරන්නේ ඊට හේතු වුනු තත්ත්වයට ප්‍රතිකාර කිරීම විතරයි , ඒ ප්‍රතිකාර වලින් හුඟක් අවස්ථා වල රෝගියාගේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවා . එහෙම නොවුනොත් සිදු වෙන්නේ පවුලේ අයට මේ තත්ත්වයට ගොදුරු වු “තමන්ගේ කෙනා“ එක්ක ඊට හුරු වීම , ඔහුට ක්‍රමක්‍රමයෙන් හැම දේම හුරු කරන්න වේවි පොඩි බබෙකුට වගේම , රෝහලේන් Speech therapy, cognitive therapy ,Occupational therapy වැනි චිකිත්සීය ප්‍රතිකාර ලබා ගන්නට පුළුවන් , හැබැයි ලොකු වගකීමක් ඔබට තිබෙනවා , ඒ මේ තත්ත්වයට ගොදුරු වූ “ඔබේ කෙනා“ බබෙක් වගේ රැක බලා ගන්න වේවි.හැම දේම ටික ටික කියල දෙන්න වේවි ,කාළයක් යාවි , සමහර විට මාස කීපයක් , නැත්නම් අවුරුදු ගණනාවක් වෙන්නත් පුළුවන් ...සමහර විට නොවන්නත් බැරි නැහැ .... ඔක්කොටම වඩා වෙනද හිටිය කෙනා නොවෙන නිසා හිතේ ලොකු දුකක් නම් දරා ගන්න වේවි . මේ විදියට උදව් කළොත් හොඳ තත්ත්වයකට ගන්න පුළුවන් , මතකනේ අපි බලපු දෙවැනි වීඩියෝ එක.විශේෂයෙන්ම මේ එක්කම මේ තත්ත්වයට පත්වුනු පුද්ගලයා මේ වෙනස ගැන දැන ගනිත්දි Depression කියන මානසික රෝගී තත්ත්වයට පත්වෙන්න පුළුවන් . ඒ ගැන අවදානයෙන් ඉන්න ඕන ...

ඕං කතාව ඉවරයි ..දැන් “මතකෙයි“ මුලින් කියපුවා ........එහෙනම් බය වෙන්න එපා ...ඇම්නීසියා නැහැ වගේ ..

එහෙනම් වෙන දවසක ලෙඩක් දාගන්න කතා කරමු , අදට සමුගන්නම් .

15 comments:

  1. තුන්වන වතාවටත් මම 1 හුරේ

    ReplyDelete
  2. වටින ලිපියක් අයියේ, අහලා තිබුණට මේ ගැන විස්තර දැනගත්තෙ අදයි. ස්තූතියි!

    ReplyDelete
  3. එතකොට බාශාව? එකත් අමතක වෙනවාද? ඉපදුනු ළමයෙක්ගේ තත්වෙට පත්වෙනවා කියද්දී භාෂාව ත් දන්නේ නැහැ නේද?

    මම බලලා තියෙනවා චිත්‍රපටයක් ඔය වගේ අනතුරකින් එත් අවරුදු 5 කට අතීතය අමතක වුනු සිදුවීමක්. ඇත්තමට ඉතාම ශෝකනියයි...

    දැනුවත් කිරීම ගැන බොහොම ස්තුති

    ReplyDelete
  4. ඇම්නීසියාව ප්‍රවීනා, මහ ගෙදර බලපු අපිට අරුමයක්ද ??? හැහ් !

    ඇල්ශයිමර් සහ ඇම්නීසියාවේ සම්භන්දයක් තියනවද ?

    ReplyDelete
  5. මගේ මිත්‍රයෙකුත් ඉන්නවා ලගදි රිය අනතුරක් වෙලා මතක ශක්තිය නැති . මම හිතන්නේ කලක්‌ යාවි ඔහු සුවපත් වන්නට.

    දැනුවත් කලාට ස්තුතියි .

    ReplyDelete
  6. මම ඒ කාලේ මෝටර් සයිකලය නවත්තලා පාර හරහා පනිනකොට මෝටර් සයිකලයක ගැටිලා අනතුරු වාට්ටුවේ හිටියා. එදා පොලීසියට දීල තිබුනේ අපුරු කටඋත්තරයක්.. සයිකලේ පැදගෙන යනකොට කන්ටේනර් ලොරියක හැප්පිලා කියලයි.. මට සිහිය ආවට පස්සෙත් ඇත්ත දේ මතක නැහැ.. කලකට පස්සේ තමයි මතක් උනේ පාර හරහා පනින්න ගිය එක..

    ReplyDelete
  7. ස්තුතියි මේ ගැන කියලා දුන්නට..8 වෙනි ජේදයේ තියන ඇම්නීසියා වර්ග ගැන පොඩ්ඩක් ආයෙ බලවද? එකම නම තියන නිසා පැටලුනාද මන්දා?


    කොහොමවුනත් මට First 50 dates ෆිල්ම් එක මතක්වුනා..
    රෝගියෙක් බලාගන්න තියෙන්න ඕන ඉවසීම ගැන හොඳට ඒකෙ පෙන්නලා තිබුනා මතකයි..

    ReplyDelete
  8. *සමාවන්න , පිළිතුරු සපයන්නට පමා වුනාට ***

    -වර්ණා ,
    ස්තුතියි වර්ණා , ඔව් මේ අනතුරට බලපාන මොළයේ කොටස සහ , ඒ අනතුරේ ප්‍රමාණය මත , කිසිදු සංවේදනයක් පිළිබඳ හැඟිමක් පවා නොදන්නා තත්ත්වයේ සිට සුළු අමතක වීම් වීම දක්වා පුළුල් පරාසයක නැතිවීම් වෙන්න පුළුවන් ,ඒ කියන්නේ භාෂාව පවා අමතක වෙන්නට පුළුවන් . නමුත් මගේ වෘත්තීය අත්දැකීම් ඇතුලේ භාෂාව අමතක වූ කෙනෙක් දකින්නට ලැබුණේ නැහැ , මට හමුවුනු ඉහළම අවස්ථාව තමයි සමහර වචන අමතක වූ සහ අදහසක් ගලපා ගන්නට බැරි වූ අනතුරකට ලක්වූ පියෙක් , ඔහුට කියාගන්නට ඕන දේ කියා ගන්නට බැරුව හඬා වැටුනු හැටි තාම මට නම් මතකයි , ,ඔහුත් මාස කිහිපයකට පස්සේ සෑහෙන දුරකට යථා තත්ත්වයට පත්ව තිබුණා ..ස්තුතියි ඔබේ පැමිණිම සහ අදහස් දැක්වීමට ..

    -ලහිරු ,
    ස්තුතිය ලහිරු මල්ලි...

    -ඕනයා ,
    ඔව් මල්ලී , ඇම්නීසියාවේ සහ ඇල්සයිමර් අතර යම් සමාන කමක් තිබෙනවා , ඒ අමතක වීම කියන කාරණේද , නමුත් අමතක වන ආකාරය , වේගය සහ ස්වභාවය මත මේ අවස්ථා දෙක දුරස් ..හැබැයි ඉතින් එක නට්ටේ ගෙඩි වගේ තමා ..ස්තුතිය මල්ලි ..


    -Gimhani ,
    ඔව් Gimhani , බොහෝ අවස්ථා වලදි කල් ගත වීමත් , ප්‍රතිකාරත් සමඟ යම් තරමකට හෝ යථාතත්ත්වයට පත්වෙනවා , මම ඔබේ මිතුරාට සුවය පතනවා , ස්තුතියි පැමිණීමට ..

    -සරත් ලංකාප්‍රිය,
    එහෙනම් ඔබටත් Transient Anterograde amnesia තත්ත්වයේ අත්දැකීමක්ම තිබෙනවා ...ස්තුතියි ඔබේ පැමිණිමට ..

    -රූ.... ,
    සටහනේ දක්වා ඇති වර්ග වල නම් වැරැද්දක් නැහැ රූ.... , අපි මෙතන කතා කරල තියෙන්නේ අනතුරෙන් පසු , වන දේ අමතක වන Anterograde Amnesia ගැනත් , අනතුරට පෙර මතකයන් නැතිව යන Retrograde amnesia ගැනත් , මත්පැන් අධිකව භාවිත කළ අවස්ථා වල එන alcohol related am: ගැනත් එහිම උග්‍ර අවස්ථා වන Korsakoff syndrom ගැන සහ “සමහර දේ “ විතරක් අමතක වන Lacunar amnesia ගැනත් විතරයි ... අනිත් අවස්ථාව වයස් ගතවීමත් එක්ක එන පොදු තත්ත්වය....Transient global amnesia .....
    ඔබට ගැටළුව ආවේ “අනෙක නම් වයසට ගියාම එන “පොඩි අමතක වීම් වෙන“ තත්ත්වය Transient global amnesia කියන ටික වෙලාවක් පවතින “ඔක්කොම අමතක වන“ තත්ත්වය.“ කියන වාක්‍යෙය් නම් අපි එය මෙහෙම කියමු , වයස් ගතවුනාම ටික වෙලවකට , ළඟදි වෙච්ච ඔක්කොම අමතක වෙලා යන අවස්ථාවක් එනවා , අන්න ඒක තමයි TGA කියන්නේ .
    දන්වන්නේ අපේ සීයල එහෙම මේ කෑම කාළ ටික වෙලාවකින් කියන්නේ “පුතේ අද අපි දවල්ට කෑවේ නෑ නේද ? කියල“ අන්න ඒ වගේ...

    ස්තුතියි රූ ලිපිය හොඳින්ම කියෙව්වාට ...

    ReplyDelete
  9. -රෑ....
    ඒ වාක්‍යය අපහැදිලිය කියල හිතුන ..දැන බලන්න ...ස්තුතියි

    ReplyDelete
  10. ඔය මට්ටමට නැති උනත් රට ආවට පස්සේ ලංකාවේදී තරමක් හොඳින් වැඩ කරපු මතකය පොඩ්ඩක් අවුල් වෙලා වගේ දැනෙනවනේ...
    ඉස්සර මට ආපස්සට මතක් කරකර දිනපොත් ලියන්න පුළුවන්කම තිබුනා සති දෙකක් තුනක් පස්සට යනකල් උනත්
    (දිනපොත් කියල කිව්වට මම දවස ගානේ ලියන්නේ නැහැ, සතියකට දෙකකට වතාවක් තමයි ලියන්නේ)
    ඒත් දැන් මතකය ටිකක් හොරවෙලා
    මගේ විතරක් නෙමෙයි, මාත් එක්ක ඉන්න අනිත් යාළුවො දෙන්නත් එහෙමයි
    අමතක වෙන ගතිය ටිකක් වැඩිවෙලා වගේ දැනෙනවා මෙහෙ ආවට පස්සේ... :(

    ReplyDelete
  11. මේකත් ඒ වගේ දේකට පත්වෙච්ච පවුලක් ගැන කියවෙන ලස්සන ෆිල්ම් එකක්. The Music never stopped.

    ReplyDelete
  12. -ලොකු පුතා ,
    ඔය තත්ත්වය හුඟක් දුරට සාමන්‍යයි , මොකද ගෙදර දොර , හුරුපුරුදු පරිසරයෙන් ඈත්වුනාම හිතේ එන “ගැටීමත්“ එක්ක , ස්තුතිය ඔබට ..

    -Isuru ,
    ස්තුතියි ඔබට..

    ReplyDelete
  13. හැම නිතරම බ්ලොග 1 බැලුවට කොමෙන්ට් දාන්න වෙන්නෑ.මේවා ලියන්න මහන්සි වෙනවට හුගක්ම පින්.ඔබතුමා දැන් ලංකාවෙන් යනකොට වඩා සුදුවෙලා නේද?

    ReplyDelete
  14. -Anonymous ,
    බොහොම ස්තුතියි , ටිකක් සුදු වෙලා තියේවි . මොකද උපන්ගේ “කළු“ මකන්න බැහැනේ ..
    බොහොම ස්තුතියි .

    ReplyDelete
  15. මම මේ චිත්‍රපටියෙ ලිංක් එක කලින් දෙන්න හිටියත් අමතක උනා. මේ චිත්‍රපටිය බලන්න. 50 First Dates

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)