2012/05/17

101) හැංගි හැංගි සෙල්ලං කර සල්ලං වෙන ලෙඩේ ...

දැන් නම් හරිම රස්නෙයි , පොඩ්ඩො දෙන්න ගන්න ඉස්කෝලෙ ගාවට ගිහින් හිටි ටිකටත් ඔළුව කකියන්න වගේ , ඒත් තව ටික  වෙලාවක් ඉන්න ඕන , ඉස්කෝලේ දොර ඇරුණු ගමන් පොඩ් පැටවු ටික හිනා පුරෝගෙන දුව පනින හැටි බලන්න ආසයි , බහු සංස්කෘතික පරිසරයක් නිසා , සුදු කළු , දුඹූරු , ..පාට පාට පැටවු පිට්ටනිය පුරාම දුවන හිනාවෙන හැටි බලාන ඉන්නකොට නම් , මේ රස්නේ දැනෙන්නේ නැති තරම් ,

පොඩ්ඩි මත වුනා දොරෙන් , හිනාවක් දාගෙන කෙළින්ම මා ගාවම ඇවිත් නැවතුනේ , ..“කෝ ..අක්කි ආවේ නැත්ද ...“
“නෑ ...අපි ඉස්සරහින් ඉමු , එයා ඉතින් යාළුවොත් එක්ක චැට් එකක් දාගෙන ඒවි , ..“....
harley davidson fat boy
මෙන්න බයික් ...
දෙන්නම එකතු කරගෙන යාන්තං ඉස්කොලෙන් පැනගත්තා...දැන් ඉතින් තුරු සෙවනේ හිමින් සැරේ අපි ගෙදර බලා පිය මනිනවා ...අව්ව තිබුණට මේ ගස් හෙවනින් යත්දි නම් හරිම සිසිලසක් දැනෙන්නේ ...

එක එක වාහන හෙමිහිට පාර දිගේ ඇදෙනවා , මේ වෙලාවට ටිකක් තදබදය වැඩියි , ඒ වුනාට විනාඩු පහකින් ඔක්කොම නිදහස් ..පාරත් නිදහස් ...

බ්රූම් ..බ්රූම් ........



“තාත්ති අන්න NG එකක් , ලස්සනයිනේ , ...ඒ වුනාට අම්මෝ සද්දේ ....“වාහන අස්සේ හෙමින් එන මොටර් බයික් එකක බර හඩත් එක්ක පොඩ්ඩ් කෑගහනවා , මටත් එක කාළයක් මොටර් බයික් ගැන තිබුණු කුතුහලයත් එක්ක , බයික් වර්ග ගැන කතා වෙන නිසා  මේ දෙන්නත් ටිකක් දන්නවා ඒ ගැන .

“නෑ......ඒක NG නෙවි ...GN ....දැක්කද අර හැන්ඩ්ල් එකේ හැඩේ ...,‘‘ ලොකූත් එකතු වුනා ..

“දෙන්නම වැරදියි ...ඒක Harley Davidson බයික් එකක් , එකට කියන්නේ HD කියල ...අපේ ගෙදර තිබුණු බයික් එක වගේ පහලොස් ගුණයක් power එකක් තියෙනවා .. ඇහෙනවනේ බර සද්දේ ....“....

මටත් දැක්කම ආසා හිතුනත් මෙහේ ඒ වගේ බයික් එකක් නඩත්තු කරන එක ලේසි වැඩක් නෙවි ..අනෙක ඉතින් ගියත් යන්න පුළුවන් එකකෙනාටනේ ..ලංකාවේ නං ඉතිං හතරක් පහක් යන්න පුළුවන් ....

බයික් ගියා .අපි ගෙදර ආවා ..මනෝජත් එයාගේ පුහුණුවකට ගිය නිසා ගෙදර තනියම ඉන්න ටිකේ ..දෙන්නට පොත් බලා ගන්න කියල මං ආවා පරිගණකෙට ...යමක් ලියන්න හිතාගෙන ...මොකද මට ලියන්න මාතෘකාවක් අරන් දුන්නනේ මේ දෙන්න ....

මාතෘකාව තමයි ...N.G.....ලෙඩක් නෙවි ..ලෙඩක් දාන කෙනෙක් මේ ..Neisserea gonhorrea ...දැං සමහර අය දන්නව ඇති මේ කවුද කියල ..ඔව් ගොනෝරියාව කියන ලිංගාශ්‍රිත බෝවන රෝගය ඇති කරන බැක්ටීරියාවගේ නම තමයි ඒ....

ඒ නිසා අපි අද කතා කරන්න යන්නේ N.G. හදන ගොනෝරියාව ගැන ...

කොච්චර කොරත් මොච්චරයි කියල ..අදත් හැමදාම වගේ “මොකක්ද මේ ගොනෝරියාව “ කියලම පටන් ගමුනේ...“ඕක තියෙන්නේ හංගේරියාවට ටිකක් දුරින් ...“ ...එහෙම කියන්න නම් එපා ..මොකද මේක “සෙල්ලං කරල හදා ගන්න“ ....සෙල්ලං නැති ලෙඩක් ....

මේ රෝගය ප්‍රධානව ලිංගාශ්‍රිත සම්ප්‍රේශනය වන රෝගයක් .නැත්නං  (ඔබා අයිය  කියනවා වගේ  උළුක්කු වෙන වචන නැතිව කිව්වොත්) ...Sexually Transmitted  Disease නමින් හදුන්වන රෝග කාණ්ඩයට තමයි ඇතුළු වෙන්නේ ....ඉතින් කෝමද මේ බැක්ටීරියාව ඇඟට ඇතුළු වෙන්නේ ....

ඊට ඉස්සර කියන්න ඕන.මේ ගොනෝරියා බැක්ටීරියාව හරි කැමතියි තෙත් , උණුසුම් ,ඒ වගේම හොඳ ප්‍රෝටීන ස්‍රාවයන් පිරිච්ච තැනක ඉන්න , ඒ වගේම ඒ පරිසරයේ මෙයා හොඳට පැටවු දාල ඉක්මණට වැඩෙනවා , ඒ නිසා අපේ ඇඟ ඇතුළෙ , විශේෂයෙන්ම ලිංගාශ්‍රිත අවයව , නල , වල  , ඊළඟට ගුද මාර්ගයේ ඇතුළු බිත්ති වල , යෝනි මාර්ගයේ ගැබ් ගෙල ආශ්‍රිතව (ගැබ් ගෙල ප්‍රෙද්ශයේ - cervix )වගේම උගුරේ ඇතුළු පටක වලත් සමහර විට ඇසේ වුනත් මෙයාට වැඩෙන්න පුළුවන් .....ඔව් ඉතින් වැඩෙන්න පුළුවන් බව දැන ගත්තා ...ඉතින් වැඩෙන්න කොහෙන්ද එන්නේ ..හුළඟෙන්ද ...නැත්නම් අතින්ද ?.....මේ රෝගය ප්‍රධානව සම්ප්‍රේශනය වන්නේ ලිංගික එක්වීම් එක්ක ......දැන් ඉතින් කිව් ගමන් බය වෙන්න එපා ....ම්...ටිකක් කල්පනාකාරී වීම සහ දැනුවත් වීම තමා  වඩා වැදගත් ....ඒ කිව්වේ ...නිරෝගී දෙදෙනෙක් අතරේ වෙන ලිංගික එක්වීමකදි මෙය බෝවෙන්න විදියක් නැහැ ඒ වගේම කොන්ඩමය නිවැරදිව භාවිත කරමින් කරන ආරක්ෂිත ලිංගික එක්වීමකදිත් එසේ වෙන්නේ නැහැ ...

මේ ලිංගික එක්වීමට දායක වුනු එක් අයෙක්ගේ ඇඟ තුල මේ N.G බැක්ටීරියාව හිටියොත් ....ඒ වගේම මේ ලිංගික ක්‍රියාකාරකමේදී ඒ පුද්ගලයාගේ යම් දේහ තරලයක් දෙවැනි පුද්ගලයගේ තුවාලයක් එහෙම නැත්නම් තුනී ශ්ලේශ්මල පටලයක් මත (ලිංගික අවයව , කට , ගුද මාර්ගය වගේ කොටස්වල ඇතුළු පැත්තේ තියෙන්නේ මේ කියන ශ්ලේමල පටලයක් නේ ) ගෑවුනොත් ..ඔන්න වැඩේ හරි ..ඒ කියන්නේ මේ බැක්ටීරියාවට පුළුවන් දැන් අර පළමු කෙනාගෙන් දෙවැන්නාට මාරු වෙන්න ..ඒ විදියට මාරු වෙන බැක්ටීරියාව තව දවස් 5-7 ක් යන කම් හැංගිලා තමන්ගේ පිරිස වැඩි කරගන්වා ..ඊට පස්සේ තමයි ලෙඩ දෙන්න පටන් ගන්නේ ...

දැන් ඉතින් දැන ගන්න ඕන ප්‍රශ්න ගොඩක් තියෙන බව මං දන්නවා , ටික ටික කියන්නං ...කාන්තාවක් සහ පිරිමියෙක් අතර යෝනි මාර්ගය ඔස්සේ සිදුවන එක්වීමකදි විතරද මේ බැක්ටීරියාව නිරෝගී කෙනාට ඇතුළු වෙන්නේ කියල අහන්න හිතෙනව නේ ...ඕකට උත්තරේ හරි ලේසියි ..අපි කිව්වනේ මේ බැක්ටීරියාව ඉන්න පුළුවන් තැන් ..ගුද මාර්ගය , උගුර , ඇස ...ඉතින් ඔතනින් අපි ඇහැ අයින් කරමු , මොකද එයා මේවට ගාව ගන්න ඕනයැ....ඒ නිසා ගුද සංසර්ගය Anal intercourse හෝ මුඛ සංසර්ගය Oral intercourse කියන අවස්ථා දෙකේදිත් මේ විදියට ලෙඩේ බෝවෙන්න පුළුවන් ...විශේෂයෙන්ම Anal intercourse අවස්ථාවෙදි ගුද මාර්ගයේ විගේම පුරුශ ලිංගේන්දියේත් පටක ඉරියාම් වෙන අවදානම වැඩි නිසා බැක්ටීරියාවට හරිම ලේසියෙන් අනෙත් කෙනාට මාරු වෙන්න පුළුවන් ...අනෙක් වැදගත්ම ප්‍රශ්නය අහන්න පුළුවන් , “අපි ලිංගිකව එක්වුනාට ශ්‍රක්‍රාණු පිට වෙන්න Ejaculation ඉස්සර වෙලා වැඩේ නැවැත්තුව ඉතින් බෝවේද කියන එක ... “ ..ඔව් එක් අයෙකුට මේ ලෙඩේ තිබුණනම් බෝවෙන්න පුළුවන් , මොකද මෙතැනදි වැදගත් ශුක්‍රාණූ පිට වුනාද නැත්ද කියන එක නෙවි ,බැක්ටීරියාවට හුවමාරු වෙන්න ඕන කරන තරල ගෑවුනාද කියන එක , අද හුඟක් කතා කරන සමලිංගික ක්‍රියාකාරකම් වලදි මේ අනතුර තිබේද කියන එක ...ඔව් , Gay and Lesbian දෙගොල්ලන්ටත් ....මේ අවදානම තිබෙනවා . හොඳට මතක තියා ගන්න ඕන දේ , මේ බැක්ටීරියාව උගුරෙත් ඉන්නවා ......!!

ඔන්න දැන් ඉතින් එයාව අතින් වත් අල්ලන් තැනිව ඉන්න එපා ...සාමාන්‍ය ස්ඵර්ශ කිරීම් , වැළඳ ගැනීම් (දේහ ,  ලිංගික තරල නොගෑවෙන පරිදි) මඟින් මේ ගෝනෝරියාව බෝවෙන්නේ නැහැ ., ඒත් රෝගියාගේ ලිංගික තරලයක් ඔබේ ඇඟිළි වල ගෑවුනා නම් . ...දැන් ඔබ වැරදිලාවත් ඔබේ ඇහැ පිසදාන්න අර  තරලය සහිත ඇඟිල්ල ඇසේ ගෑවොත් ඔබත් සළු තමා ...ඒ කිව්වේ ඔබටත් දැන් මේ රෝගය ඇස ආශ්‍රිතව ඇතිවීමට අවදානමක් තිබෙනවා .....මේ වැඩේම ගොනෝරියාව සහිත ගර්භණීමවකට උපදින දරුවෙකුටත් වෙන්න පුළුවන් , ඒ විදියට යෝනි මාර්ගය තුලින් එත්දි දරුවගේ ඇසේ ඒ තරලය ගෑවුනොත් දරුවාට උපතින්ම ගොනෝරියා රෝගය හැදෙනවා , ඒ නිසා අපි තව ටිකකින් කියන ලක්ෂණ සහ ඊට තුඩු දෙන සැකයක් තිබේනම් , ඒ වගේම ඔබ ගර්භනී නම් ඉක්මණින් ඒ බව ඔබේ වෛද්‍යවරයාට පවසන්නම ඕන , එවිට ඔබත් ඔබේ දරුවාත් දෙන්නම ආරක්ෂා කරගන්නට පුළුවන් වෙනවා ..

පාට පාට ලෝ....කයක් ..
 ඒ නිසා , කෝකටත් එයාට මේ කියන්න හදන ලෙඩේ තියෙන බවට සැකයක් , ලක්ෂණ තියේ නම් තවත් අල්ල ..අල්ල නිකං ඉන්නේ නැතිව , හොඳට අල්ලගෙන ලඟම තියෙන ලිංගාශ්‍රිත රෝග සායනයට යන්න ...හරිම වැදගත් මේ රෝගී පුද්ගලයත් එක්ක ලිංගික එක්වීමක් (අනාරක්ෂිත ඒකවීමක්) වුනු හැමකෙනෙක් මේ සායනයට යොමු කිරීමත් හරිම වැදගත් ...බය වෙන්න එපා , මේ ලිංගාශ්‍රිත රෝග සායනය ඔබේ පෞද්ගලිකත්වය හොඳින් සුරකිනවා , ඒ වගේම වෙන සායනවලට වඩා ඔබේ ප්‍රශ්න කතා කරන්නත් පුළුවන් තැනක් ,

ඕන් දැන් ඉතිං කෝච්චිය ගියා වගේ කියවගෙන ගියා නේ ...මේ සමහර දේ පුළුවන් සරළම සහ සමාජයේ විස්තර කරන්න පුළුවන් යහපත්ම විදියටයි විස්තර කළේ ...අදාල තැන් ප්‍රායෝගිකව තේරුම් ගන්න බලන්න ...ප්‍රශ්න තිබුනොත් දාන්න ..උත්තර දෙන්නම් ...මොකද වෙන ලෙඩ වගේ නෙවි STD ගැන කතා කරන්න නම් සමාජය ඇතුළෙ ඒ ගැන තියෙන අවබෝධය පිළිබඳව , කටකතාත් දැන ගන්නම ඕන ..මොකද ඒ සමහර කටකතා නැත්නම් වැරදි මත නිසා මේ රෝග තත්ත්වය පාලනය කරන්නට අමාරු වෙනවා ..


දැන් බලමුකෝ මේ ගොනෝරියාවේ ලක්ෂණ මොනවද කියලා .....අපි කිව්වනේ මේ අනාරක්ෂීත ලිංගික එක්වීමෙන් දින 5-7කට පස්සේ ලක්ෂණ මතු වෙනවා කියල ...සමහර විට මේ ලක්ෂණ මතුවෙන්න දින 14ක් විතර යන්නත් පුළුවන් ..ඒ විතරක් නෙවි ..භයානකම දේ ..සමහර වෙලාවට මේ කියන්න හදන කිසිම රෝග ලක්ෂණයක් නැතිව උනත් බැක්ටීරියාව හැංගිලා ඉන්න පුළුවන් ...ඕං ඔය නිසා ක්‍රීම් උලාගෙන හීන් සීරුවෙ හිටියට මේ කියන වැක්කෙරෙන ලක්ෂණ නැති වුනාට ....එයා ඇඟ ඇතුලේ ගොනෝරියා විෂබීජ හැංගිලා ඉන්න පූළුවන් නිසා (මොකද සමහර කාන්තාවන්ට මේ කියන රෝග ලක්ෂණ ඇත්තෙම නැති තරම්) ...කෝකටත් පරිස්සම මුලට දාල ..කොන්ඩමයක් හරියට පාවිච්චි කරන එක තමා හොඳ ...

ගිණි පිඹිල්ල...
දැන් මෙන්න ලක්ෂණ මල්ල ....කාන්තාවකට නම් යෝනි මාර්ගයෙන් ඇලෙන සුළු .ඝනකම් ...ඒ වගේම කහ කොළ පාටට හුරු ස්‍රාවයක් වැඟිරෙන්න පුළුවන් ..දැන් කවුරුවත් බයවෙන්න එපා ...ලිංගික වශයෙන් සරු කාන්තාවකගේ යෝනි මාර්ගයෙන් අවර්ණ ගන්ධයක් රහිත ස්‍රාවයක් සුළු වශයෙන් එන්නට පුළුවන් ..එය සාමාන්‍යයි .. විශේෂයෙන්ම සංසර්ගයට පෙර ..පෙර සෙල්ලම ..foreplay හරියට කළා නම් ....
මේ රෝගී කාත්තාවගේ ආර්තව චක්‍රයට නොගැලපෙන අවස්ථා වලත් සුළු වශයෙන් ලේ වහනය වීමක් වෙනවා .ඒ වගේම බඩේ යට හරියේ තද කැක්කුමකින් තමයි හැම තිස්සෙම ඉන්නේ ...මුත්‍රා කරන්න ගියාම නම් ඉවසන්න බැරි දැවිල්ලක් ., ඒ වගේම වාර ගණනත් වැඩියි , මේ මුත්‍රා කරල එන ගමන් ..මෙන්න ආයෙත් යන්න වගේ ....හැබැයි දැන් ඉතින් කටට සැරට කොච්චි සම්බෝලයක් එහෙම කාපු දවසට මෙහෙම උනා කියල මූණ බයේ නටන්න හදන්න එපා ... ...

අන්ධකරවන රතු විම 
නෝනට එහෙම වුනා කියමු ..ඉතින් මහත්තයට කෝමෙයි ....එයාටත් මෙහෙමයි ...එයාටත් අද දැවිල්ල නම් එහෙම මයි ...දෙන්නම පිච්චෙනවා ...මහත්තයගේ ශිෂ්නය තුලිනුත් කහ කොළ පාට දියරය වැඟිරෙනවා ....ශිශ්න කෙළවර පිළිස්සෙන , නැත්නම් තදින් කසල සුළු ස්වභාවයක් ඇතිවෙනවා ..ඒ විතරක්ම නෙවි තව දවසක් දෙකක් ගියාම වෘෂණ කෝෂ Testicles ඉදිමිලා තද වේදනාවක් එනවා ...

hand holding a pink latex oral dam
කට පරිස්සම් කර ගන්නට
මේ එක්කම තද උණක් , උගුර වණ වීමක් වගේ Sore throat ඇති වෙන්නත් පුළුවන් ..උගුර වගේම තවත් කෙනෙක්ට ගුද මාර්ගයේ මේ තත්ත්වයන් ඇති වෙන්නත් පුළුවන් ..හරිම වේදනාකාරී ...අප්‍රසන්න අවස්ථා වකට පත්වේවි ...ඒ විතරක් නෙවි , මේ රෝගය ඇස් වලට බලපෑව නම් ..ඇස් අන්ධවීමටත් හේතු වෙන්න පුළුවන් , තවත් දුර ගියොත් ගොනෝරියා බැක්ටීරියාව මොළයේ පටල වලටත් පහර දෙනවා , එතැනදි නම් මොලේ  උණ තත්ත්වයක් මෙනින්ජයිටිස් තත්ත්වයක් ඇති කරනවා ..එහි බැරැරුම් කම කියන්න ඕන නැහැනේ .. ඒ නිසා වඩාත්ම හොඳ මේ රෝගයට ඇති අවදානම අඩු කරගන්න එක, ...ඒකට ලිංගික එක්වීමක් අවශ්‍ය නම්  ..ඒ සඳහා විශ්වාසවන්ත එක් සහකරුවෙක් තෝරාගැනීම වගේම , එසේ නොවන අවස්ථා වලදි ..ඒ වගේම සැක සහිත අවස්ථා වකදි ආරක්ෂීත ක්‍රම අනුගමනය කිරීම (කෙටියෙන්ම කිව්වොත් හරියට කොන්ඩමේ  දමාගන්න) ...දැන් ඉතින් කොන්ඩම් ගැන විතරක් නෙවි ...Dental dams ගැනත් දැන ගන්න ඕන ...මොකද ඩෙන්ටල් ඩෑම්ස් මගින් මුඛ සංසර්ගයේදි වන අනතුර අඩු කෙරෙනවා ..

මෙන්න සැර බැක්ටීරියා..
මේ ලක්ෂණ ඇත්නම් අදාල සායනයට ගියාම , ඔබේ ලිංගික තරල පරික්ෂණයට ලක්කරාවි , රැධීර පරික්ෂණ කිහිපයකුත් එක්ක ...ඊට පස්සේ ප්‍රතිජෛවක කිහිපයක් , දින කිහිපයක් තුල නිවැරදිව පාවිච්චි කරන විදියත් එක්කම කියල , ඖෂධත් ලබා දේවි ..දැන් ඉතින් තියෙන්නේ දෙන්න එක්ක ...හරි අදාල ස්‍රාවීන් ගැවුනු කට්ටියම බෙහෙත් ටික හරියට බොන එක ....එහෙම වුනොත් රෝගයෙන් ලොකු කරදරයක් නොවී ගැලවෙන්න පූළුවන් ..වැදගත්ම දේ මේ ප්‍රතිකාරය දෙන්නගෙන් එක්කෙනෙක්ට විතරක් කරල වැඩක් වෙන්නේ නැහැ ..අදාල අනාරක්ෂීත ලිංගික එක්වීමට අදලා දෙන්නම ප්‍රතිකාරය ගන්නට ඕන .. හරියට කරගත්තොත් 99%ක්ම කිසි කරදරයක් නැතිව හොඳ කරගන්නට පුළුවන් ..හැබැයි මේ තතත්වය වරින් වර ඇති වීම නම් අවදානමක් මොකද antibiotic resistant ගොනෝරියා බැක්ටීරියා කාණ්ඩ දැන් ටිකෙන් ටික වැඩියිලු ...එහෙම වුනොත් ලොකු කරදරයක් මොකද එතකොට ලෙඩේ හොඳකරන්න බැක්ටීරියාවෝ මරන්න බෙහෙත් නැති වෙන නිසා (මේ අනතුර ගැන සොඳුරු සුව අසපුවේ 5වන ලිපියෙන් තවත් තොරතුරු දැන ගන්න පුළුවන්), ඒ වගේම ප්‍රතිකාර නිසි පරිදි නොගත්තොත් මොළේ පටක විනාශවීම් , ඒ වගේම අත්පයේ හන්දි වල ඉදිමීම් එක්ක කාන්තාවකගේ නම් ගර්භාෂය ආශ්‍රිතව තවත් කරදර රාශියකට මුහුණපාන්නට වෙන්න පුළුවන්. ...

එහෙනං බයික් එකෙන් පටන් ගත්ත කතාව ටිකක් දුර ගියා ..කෝකටත් ඔය හැමදේම “දුර දිග“ බලලා  කරගන්න එකතමා හොඳ ..ඒකට දැනුම කියන සම්පත හරියට ප්‍රයෝජනේට ගන්න හැඟීම් සහ සංවේදනයන්ට විතරක් මුල් තැන දෙන්න ගිහින් ලෙඩ හදාගන්නවා හෙම නෙවි....

එහෙම නම් අදට ගිහින් එන්නම් ...ඔබ සැමට සුවය වගේම සතුට පිරි දිවියක් .....

12 comments:

  1. මේ රෝගය ඇස් වල හා උගුරේ ඇති වෙනව කියල දැන සිටියේ නෑ .
    …හැමදාමත් කියනව වගෙ හොද ලිපියක් . බොහොම ස්තූතියි ඔබේ දැනුම බෙදා දෙනවාට .

    ReplyDelete
  2. //.හැබැයි මේ තතත්වය වරින් වර ඇති වීම නම් අවදානමක් මොකද antibiotic resistant ගොනෝරියා බැක්ටීරියා කාණ්ඩ දැන් ටිකෙන් ටික වැඩියිලු ..//
    මේකෙන් කියන්නේ ලෙඩේ හැදිලා සුව වුනත් ආයෙත් හැදෙන්න පුළුවන් කියන එකද?

    හැමදාම වගේ ස්තුතයි ලිපියට..

    ReplyDelete
  3. ස්තුතියි ලිපියට

    ReplyDelete
  4. තෙවන වසරේ ඉගෙන ගත්ත මතකයි ක්ශුද්‍ර ජීව විද්‍යාවට :)

    ReplyDelete
  5. වැදගත් තොරතුරු ගොඩක් දැන ගත්තා..

    ReplyDelete
  6. -Gimhani ,
    ස්තුතියි ගිම්හානි ...ඔව් අළුත් දේවල් ටික ටික හරි දැන ගන්නකොට දැනෙන්නේ සතුටක්, බොහොම ස්තුතියි ඔබට..

    -රූ.... ,
    හොඳ ප්‍රශ්නයක් රූ.... ,
    කතාව මෙහෙමයි ..සම්පුර්ණයෙන් හොඳ වුනොත් , ඒ කියන්නේ බැක්ටීරියාව සම්පුර්ණයෙන් විනාශ කරල දාගත්තොත් ඒ අවස්ථාවේ ලෙඩේ අවසන් , ආයෙත් බැක්ටීරියාවෙක් ඇඟට දා නොගත්තොත් හැරෙන්නට නැවත ඇති වෙන්නට ඉඩක් නැහැ ,

    හැබැයි , ගොනෝරියා තත්ත්වයට දෙන ප්‍රතිකාර නිසි ලෙස නොගෙන බාගෙට වැඩේ කර ගත්තනම් , ඉතිරි වෙලා ඉන්න බැක්ටීරියා නිසා ආයෙත් මතුවෙන්න පුළුවන් ..

    අනෙක සමුපර්ණ සුව වීමකට පස්සේ , ආයෙත් අර ලෙඩ මල්ල එක්ක අනාරක්ෂිත ලිංගික එක්විමක යෙදුනොත් ..ඔන්න තව අවස්ථාවක් ..

    ඔය තමයි නැවත නැවත ඇතිවීමේ අවස්ථා..
    ස්තුතියි රූ....

    -Loku John ,
    ස්තුතියි Loku John , ඔන්න මේ ලිපියේ ඉඳන් ඔබ කී විදියට ලේබල් දාන්න පටන් ගත්තා ..පැරණි ලිපි වලටත් ඉඩ ලද විගස ලේබල් යොදන්නම් ,
    ස්තුතියි ඔබේ පැමිණිමට ..

    -Sabith,
    ඔව් Sabith , මමත් ආසාවෙන් රසවිඳි විෂයයක් ...බොහොම ස්තුතියි ඔබට..

    -Dinesh ,
    ස්තුතියි Dinesh ,

    ReplyDelete
  7. thanks mahesh. women usually asymptomatic. ng can infect any columnar epithelium urethra rectum pharynx cervix conjunctiva .but not vagina which is squamous.best explanation great work.good luck.

    ReplyDelete
  8. -dr kamalani,
    Thank you dr kamalani for your valuable comment.
    yes I've meant just cervix not vagina (යෝනි මාර්ගයේ ගැබ් ගෙල ආශ්‍රිතව) ...Thank you and highly appreciate your suggestions.

    ReplyDelete
  9. ඇත්තටම ස්තුතියි.තවත් නොදන්නා දෙයක් ඔබෙන් දැනගත්තා ඒ විතරක් නෙවේ ටිකක් බයත් හිතුනා ඒත් ඉතින් අපි තාම පොඩියිනේ ඒක නිසා තාම ඔය අවදානම් නැහැ කියලා පොඩි සැනසීමකුත් දැනෙනවා :)

    ReplyDelete
  10. මා යටතේ සිටි සොල්දාදුවකු මේ ලෙඩේ හදාගත්තා. ඔහුගෙන් ඔහුගේ බිරිඳටත් බෝවුනා. ඇය රෝහලට ගියාම වයිද්‍ය පරීක්ෂණයේදී හෙළිවූ කරුණු වලින් තමයි, සැමියාගේ හොරේ එලිවුනේ. එක පැත්තකින් මේ සොල්දාදුවාට විරුද්ධව විනයානුකූලව ක්‍රියාකළ හැකියි, රෝගය බෝවුනේ බිරිඳගෙන් නොවන නිසා. අනික් පැත්තෙන් ඔහුගේ බිරිඳ දික්කසාද වෙන්න සූදානම් වුනා. මොහු වෙඩි තබාගෙන මැරෙන්න සූදානම් වුන වෙලාවේ එය වලක්වාගන්නට හැකිවුනා. (එයත් යුද හමුදාවෙන් අස්කිරීමට තරම් බරපතල වරදක්) නීති පොතටම සීමානොවී, මම මේ කැඩෙන්න ගිය පවුල එකතුකලා. මා මිත්‍ර වයිද්යවරයකු ලවා රහසේ බෙහෙත්දී සනීප කළා. මට මතක හැටියට නොරෝක්සීන් වැනි නමක් තියන අවුෂධයක් තමයි අඹුසැමි යුවලටම එන්නත් කලේ.

    ReplyDelete
  11. -මඩිස්සලේ නිශාන්,
    ස්තුතියි මඩිස්සලේ නිශාන් , ඔව් දැන ගන්න එකනම් හොඳයි , ඒත් දැන ගත්තම එන “බය“ නිසාම අපි පරිස්සම් වෙන්න උත්සාහ කරාවි , ස්තුතියි නැවතත්..

    -විචාරක Wicharaka ,
    ඔබතුමා කී දේට සමාන උදාහරණ බොහොමයි , ඒ වගේම ඔබතුමා කළ දේ නම් ඉහළින්ම අගය කරන්නට ඕන ..මොකද නැත්නම් මේ සුව කළ හැකි රෝගය නිසා පවුල් ජීවිතයක් , ජීවිතයක් නිමා වන්නට ඉඩ තිබුණා ,
    ස්තුතියි වටිනා අදහසක් එක් කළාට ...

    ReplyDelete
  12. දැනුවත් කිරීමට ගොඩක් තුති...... සමහර දේවල් ගැන නම් ඇත්තටම ටිකක් බයත් හිතෙනවා ඉතින්....

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)