2012/05/28

103 ) හදවත රිද්දන පද්දන කකුල් දෙක

පොඩි දඟමල්ලයි , ලොකු අක්කයි 
පහුගිය දවස් ටිකේම ටිකක් කළබලකාරී උනා . මනෝජට එක පිට එක විභාග කිහිපයක් කරන්න උන නිසා ගෙදරම නිකං පාලුවට ගිහින් වගේ . ගේ දොර වැඩ වෙන වගේම කළත් පොඩ්ඩො දෙන්නත් එක්ක රැඳෙන කාළය හුඟක් අඩු වුනා . පොඩීට නං හුඟක් දැනෙනවා ඒ වෙනස . සිකුරාදා රෑ ගෙදර ආ වෙලාවෙ ඉඳන් ..“අම්මට ආයේ tests නැහැනේ ..සඳුද යන්නේ නැහැනේ ?...“ ප්‍රශ්න ගොඩයි. ඒ නිසාමත් අද විවේක දිනයත් නිසා ටිකක් උදේ වෙනකම්ම නිදා ගත්තා ....ඇත්තම කිව්වොත් හොඳටම එළිය වැටෙනකම්ම..පොඩ්ඩි තාමත් අම්මට තුරුල් වෙලා නිදි....නිදි වගේ ඉන්නවා ...  “තාත්ති අපි අරයව නැගිට්ටවමුද ? ....“ ඇහැරලා හුඟක් වෙලා ඇඳට වෙලා හිටි ලොකූ අහනවා ...“හ්ම් .... නංගිවත් නැගිට්ටවන්න , “ ...“මෙන්න හොර ගෙඩියා නිද වගේ ඉන්නවා ...ඒයි චූටී ....නැගිටින්න ......“ ...“ම්හු ..නෑ සද්දයක් ......“


“මේ බලන්න තාත්තේ ..මෙයා හොඳටම නිදි , ගොරවනවත් එක්ක ..ඒ වුනාට මේ ....කකුල් දෙක නං පැද්දෙනවා ....හොර ගෙඩියා .....“

“හූ හූ රැවටුනා ....මං නිදි නෑ ....මේ ..............“ පොඩ්ඩි ඇඳේ උඩ පනිනවා ..

“චූටි ....බලා ගෙන අම්මගේ ඇඟට වැටුනොත් ...තාම තුවාල හොඳ නැතිව ඇති ...“ ලොකූ නංගිට උපදෙස් දෙනවා ...

කොහොම හරි මේ යුද්දෙන් පස්සේ කවුරුත් නැගිටල ආව ..මොකද තව වෙලා හිටියනං දෙන්නගේ සංදර්ශන බලන්න වෙනවනේ ...

Hilton falls
අද දවස කොහොමත් අපේ cleaning day එක නිසා , ගේ ඔක්කොම අස්පස් කරනවා , රෙදි නමනවා , මනෝජ දවස් දෙක තුනකට හරියන්න කෑම හදනවා , ...ඇත්තම කිව්වොත් විවේක දවස නිසා වැඩ වැඩිම දවස අපි කාටත් ,

අද හවස හිල්ටන් ඇල්ල රක්ෂීතයේ සුන්දරත්වය විඳින්න යන්න හිටියත් , පොඩි වැස්සක සේයාවක් ආ නිසා ඒ වැඩේ මග හැරිය . මොකද අපිට තවමත් මේ රටේ වැහි තත්ත්වෙ ගැන හරි අවබෝධයක් නැහැ , මොකද දැනට තියෙන අත්දැකීම් හැටියට හරි ඉක්මණට වෙනස් වෙන කාළගුණයක් තමයි තියෙන්නේ ...


කොහොම හරි වැස්සත් එක්ක ටිකක් විවේකයක් ලැබුණා වගේ ...පොඩ්ඩො දෙන්න මොනවදෝ ටයිප් කරනවා . එයාලගේ බ්ලොග් වල ...මනෝජත් පහුගිය දවස් ටිකේ කතා කරන්න බැරි උන ඒවටත් හරියන්න එක්ක මිතුරියෝ ටිකත් එක්ක දුරකථන සංවාද ..ඒ අතරේ මං පටන් ගත්තා මගේ ඊළඟ පෝස්ට් එක හදාගන්න ...

අද මට මාතෘකාව දුන්නේ පොඩ්ඩි ...කොහොමද දන්නවද අර නිදාගෙන කකුල් හෙල්ලිල්ලෙන් ...ඒ කියන්නේ හොර නින්දෙන් කකුල් හෙලවිල්ල ගැන නෙවි ලියන්නේ , ඇත්තටම නින්දෙදි කකුල් වලට වද දෙන , සැලකිලිමත් විය යුතු රෝග තත්
දඟ - ලන කකුල් 

ත්වයක් ගැන ..ලෙඩේ නම R.L.S.... නෑ නෑ ..S.L.R. නෙවි ..මොකද බොහොම වටින ෆේස්බුක් ගෘෘප් එකක් වන https://www.facebook.com/groups/phototalks/ නිසා මේ S.L.R. වචනේ නං හැම තිස්සෙම දකිනවා .... ඒත් මේ නම් single-lens reflex (SLR) නෙවි .. අපි කතා කරන්න හදන ලෙඩේ නම් Restless Legs Syndrome -R.L.S.....

එහෙනං ඉතිං ආයුබෝ කියල බහිමුද කතාවට....

සැප නින්දක ...
කතාවට ඉස්සර වෙලා අපි මතක් කරගනිමුද ටිකක් දුර පයින් ඇවිදින්න වුන දවසක් ...කිලෝමීටර් දෙක තුනක් , ගිණිගහණ මද්දහනේ ... කොහොමද සනීපේ ...ඇඟපත රිදෙනව වගේ කෙළ නැති තරමට කට වේලිලා , ඔළුව මහ බරක් වගේ දැනෙන තරමට කකියත්දි කකුල් වලට දැනෙන සනීපේ ..... ඉතින් ඕක නං සාධාරණයි ! .... ඒ කිව්වේ මේ වගේ ඇවිද්දම කකුල් කැක්කුම එන එක සාධාරණයි , ඒත් ඇවිදින කොට සනීප වෙලා , විවේකෙන් ඉන්න කොට එන කකුල් කැක්කුමක් ගැන දන්නවද ?........ආන්න ඒක තමයි මේ ලෙඩේ ...අර සාධාරණ කකුල් කැක්කුමේ විරුද්ධ පැත්ත ...එයාට තමයි අපි R.L.S  කියන්නේ ..

නිදි කඩන කකුල් 
අපි ටිකක් තේරුං බේරුං ඇතිව කතා කරමුකෝ ...මේන්න මේකයි මේ ලෙඩේදි වෙන්නේ ..අපි දැන් දවස පුරාම වෙහෙස මහන්සි වෙලා රාත්තිරියේ ඇඳට ගොඩ වෙනවනේ ..වෙන කරදරයක් නැත්තං දෙයියනේ කියල අපිට හොඳ නින්ද යනවනේ ..ඔය නින්ද ගිය වෙලාවට කකුල් දෙකට විතරක් නෙවි මුළු ඇඟටම හරිම සැහැල්ලුවක් නොවැ ......ඒත් අවාසනාව කියන්නේ මේ ලෙඩේ තියෙන අය ....නින්දට ගියාට නිදා ගන්න බැහැ හරියට ...ඔන්න ඇඳේදි තමයි එයාලගේ කකුල් කැක්කුම පටන් ගන්නේ , කකියනවා කියන්නේ කකුල් ගිණි ගන්නව වගේ දැනෙනවලු , සමහරුන්ට කටු අනිනව වගේ ..නැත්තං කකුල් ඇතුලෙන් නලියනව වගේ , ඇඹරෙනවා වගේ දැනෙන්න පටන් ගන්නවා , කොච්චර ඉවසගෙන හිටියත් මේ කැක්කුම ඉවසන්න බැරි තැන මේ උන්දෑ මොකදෑ කොරන්නේ ...ඇඳෙන් නැගිටල කකුල අතගගා ඉන්නවා ..නැත්නං ඉතින් බිමට බැහැල ඇඳ ගාව එහෙට මෙහෙට ඇවිදිනවා , ඕං එතකොට අමාරුව හරි යනවා ...ආයෙත් ඇඳට ගිහින් ඇඹීන්දක් වෙලා යත්දි ඕං ආයේ කකුලේ රුජාව ..මොකක් කොරන්නෙයි ආයෙ ඇඳෙන් බහිනවා ...කකුල් පොඩි කරනවා , තෙල් ගාල අතගාගන්නවා ...එක යුද්දයයි ...රෑ මැදියම වෙනකම්ම ඔහොමම තමයි ..සමහර විට මුළු රෑම මේ විදියට විඳවන අයත් නැතිව නෙවි ...ඒ විතරක් නෙවි මේ අයට සමහර විට නින්ද ගියත් නින්දෙන් කකුල් ගැස්සෙනවාperiodic limb movement disorder (PLMD) , හිතන්නේ නැතිවම වෙන මේ කකුල් විසිවිල්ලත් එක්ක බයවෙලා ඇහැරෙන්නත් පුළුවන් ...කෝම කෝම හරි මේ යුද්දෙ නිසා උදේට අවදි වෙන්නෙ “ජීවිතේ එපා වෙලා වගේ ...“ ..මොකද හරි නින්දක් නෑනේ ...

මේ අයට  නින්දෙදි විතරක්ම නෙවි , ඔෆිස් එකේ දිගටම වාඩි වෙලා ඉන්න කොට , එහෙම නැත්තං වාහනේක වාඩි වෙලා දුර ගමනක් යත්දි වුනත් ඔය කීව ලක්ෂණ ඇති වෙන්න පුළුවන් .දන්නවද මේ රටවල අධිවේග මාර්ග වල රිය අනතුරු වලින් බොහොමයක් සඳහාත් මේ ලෙඩේම හේතු වෙනවලු ..මොකද පැය දෙක තුනක් එක දිගට වාඩි වෙලා , සනීපෙට ඉන්නකොට ....ඔන්න ලෙඩේ නගිනවා ...ඉතින් කකුල ඇඹරෙන , පිච්චෙන මේ වේදනාවත් එක්ක , කකුල එහෙට මෙහෙට දඟලවන්න ගිය රියදුරු මහත්තරුන්ට රථයේ වේගය පාලනය කරගන්න අමාරු වෙන්න පුළුවන්.


ඔව් ..ඔව් මේක කියවන ඔයාටත් මෙහෙම දන්නේ නෑහැ  , මොකද මේ රෝග තත්ත්වය ඒ තරමටම බහුලයි , ඒත් තවමත් හුඟ දෙනෙක් මේක ලෙඩක් බව හදුනගන්නේ නැහැ , නැත්නම් ඒ ගැන සැලකිල්ලක් නැහැ ..නැත්නං මේ වගේ දේකට බෙහෙත් ගන්න  වෙලාවක් නැහැ... ...


දැන් ඉතින් “මොකක්ද මේකට හේතු කාරණේ ?“ .....කියල අහන්න ඉස්සර ඕං මං කියන්නංකෝ ඒ වැල් වටාරං ටිකත් .

මේ R.L.S. වල අවස්ථා දෙකක් තියෙනවා , අපි ලේසියට කියමු Primary නැත්නම් ප්‍රාථමික සහ Secondary  නැත්නං ද්විතීක රෝග අවස්ථා කියල , මේ දෙකටම පොදු හේතුවක් තමයි ස්නායු පද්ධතියේ සිදුවන යම් වෙනස් විමක් ...ඒ කිව්වේ මේ තතත්වයට ප්‍රධාන හේතුව අපේ මොළයේ සහ ස්නායු ආශ්‍රිතව තියෙන ඩොපැමීන් කියන ස්නායු සම්ප්‍රේශකයේ අසමතුලිතතාවය කියල දැනට සොයාගෙන තියෙනවා . නමුත් මේක විතරක්ම හේතු වෙනවා කියල තවම තහවුරු කරලා නැහැ , ඒ එක්කම ජානමය සම්බන්ධකම් වගේ තවත් හේතු තියෙන්න පුළුවන් .
සුදු කොඩි වනන අත (කකුල) 

විශේෂයෙන්ම Primary R.L.S වලට නම් මුලින්කී හේතුව තමයි ප්‍රධාන , ඒත් ලේ වල යකඩ හිඟකම  නිසා ඇතිවන නිරක්තිය Iron deficiency anemia  , දියවැඩියාවේදී සිදුවන ස්නායු බලපෑම් , ඒ එක්කම තයිරොයිඩ් ග්‍රන්ථීයේ ආබාධ , ආතරයිටිස් වගේ සන්ධී ආබාධ සහ වකුගඩු නරක් වන තත්ත්ව වලදිත් මේ කකුල් රිදිල්ල ඇතිවෙන්න පුළුවන් .(ගර්භනී කාන්තාවන්ටත් ඒ සමයෙදි ඇති වෙන්න පුළුවන් ඒකනම් තාවකාලිකයි) .ඒ නිසා මේක සුළු දෙයක් කියල අතහැරල දාන්න එපා , සමහර විට මේ කකුල් කැක්කුම මගින් ඔබට , අනාගතයේ විය හැකි ජීවිත අවදානමක පෙර ඇඟවීමක් කරනවා වෙන්නත් පුළුවන් . තව විදියකින් කිව්වොත් “සුදු කොඩි වනන්න ඉස්සෙල්ලා කකුල වනනවා වෙන්නත් බැරි නෑ ...“ ...බය කරන්න කීව නෙවි , පරිස්සම් වෙන්නයි කීවේ ...

දැන් ඉතින් මොකෑ කොරන්නේ කියන්න නේ හදන්නේ .....දැන් මං හදන්නේ ප්‍රශ්න පත්තරයක් දෙන්න , මේ ප්‍රශ්න පත්තරෙ ගොඩක් ප්‍රශ්න වලට උත්තරේ “ඔව් “ උනොත් ..........ලේස්ති වෙන එකයැ ඇත්තේ දොස්තර මහත්තයව හම්බවෙන්ට යන්න ...

මේ .. .කියන්නම ඕන දෙයක් , මේ ප්‍රශ්න මං හදාපුව එහෙම නෙවි , මේ ලෙඩේ සම්බන්ධව පර්යේෂණ කරන , Restless Legs Syndrome Foundation එකෙන් සකසපු ප්‍රශ්නාවලියක් ....හැබැයි හරි වටිනවා කියල හිතුනා ,

 මේං පත්තරේ ....නෑ ..ප්‍රශ්න පත්තරේ ...


  1. ඔයත් එක්ක  ඇඳේ  නිදා ගන්න කෙනාගෙන් උදේට මෙහෙම complain එනවද? “ඊයෙත් ඔයා රෑ පයින් ගැහැවනේ මට , මට නිදාගන්නත් බැරි උනා ඔයාගේ මේ පයින් ගැහිල්ලත් එක්ක “ ...(මේ විදයට හරි ඒ තේරුම එන විදියකට)
  2. ඔයාට නින්දෙන් හරි , අවදි වෙන්න කිට්ටුව හරි දැනිල තියෙනවද , තමන්ගේ කකුල එකපාර ගැස්සිලා , විසි වෙන්න වගේ හැදුව කියල ..නැත්නං ඕන කමක් නැතිව නිකංම වෙනස් කම්පනයක් උනා කියලා ...
  3. මේ දැඟලිල්ල නිසා රෑට හරියට නින්ද ගියේ නැත්ද ? ඒ නිසාම දවස පුරා හරිම තෙහෙට්ටුවක් දැනුනද ?
  4. හාන්සි උනාම නැත්තං විවේක පාඩුවේ වාඩි වෙලා ඉන්නකොට කකුළ හොළවන්න , අඹරන්න , අතගාන්න (තමන්ගේ කකුල) , හොළවන්න වගේ හිතෙනවද ?
  5. එක තැනක වාඩි වෙලා හුඟ වෙලාවක් ඉන්න අමාරුද ? 
  6. නිදාගන්න ගිහින් ටික වෙලාවකින් කකුලේ මේ කියපු විදියේ කැක්කුමක් එනවද ?
  7. ඒ කැක්කුම ආවම , ඇඳෙන බැහැල කකුල බිම තියල තද කළාම , ඇවිද්දම අමාරුව අඩු වෙනවද ?
හරි දෙන්න බලන්න උත්තර .....මේ හතෙන් තුනකට වඩා “ඔව් “ කියපු අය ටිකක් පරිස්සම් වෙන එක .....ඇත්තටම වෛද්‍ය උපදෙසක් ගන්න එකතමා හොඳ ...ගණන් නොගෙන ඉඳල , වැඩි පුර ගණන් යන ප්‍රතිකාර වලට යන්න ඉස්සර ...මොකද විශේෂයෙන්ම secondary R.L.S .වලදි වෙනත් රෝග ගණනාවක අවදානමක් තියෙන බව අපි කිව්වනේ ...

ඔක්කොම කියන්න ...
හරි දැන් දොස්තර මහත්තයා ගාවට ගියාම මොකද වෙන්නේ ..ඔහු ඔබෙන් මේ අමාරුව ගැන “ඔබේ වචනයක්“ අහන්න කැමති වේවි , ඒ කියන්නේ මේ රෝග තත්ත්වය තහවුරු කරගැනීමේදී රෝගියාගේ පැහැදිලි කිරීම් හරිම වැදගත් ,  ඒනිසා “මං සල්ලි ගෙවලනේ තියෙන්නේ , දොස්තර මහත්තය අල්ල ගන්නේ නැතෑ අමාරුව කියල , කකුල දික් කරගෙන“ ඉඳල වැඩක් නැහැ , කියන්න , තියෙන අමාරුකං , නින්දෙදි කකුලේ කැක්කුම ඇති වෙන විදිය , ඒක අඩුවෙන්න කරගන්න දේවල්..ඔය ඔක්කොම කියන්න ..මට නං හිතෙන්නේ වැඩියම හොඳ පවුලේ වෛද්‍යවරයා විදියට ඉන්න දොස්තර මහත්තයා , මොකද ඔහුට වෙලාව තියෙනවා මේ කතාව අහන්න , නැත්තං ඉතින් වාඩි වෙන්නත් ඉස්සර වෙලා තුන්ඩුව ලියල ඉවරයිනේ නේද ?...

මේ විස්තර කිරීමෙන් පස්සේ රෝග තත්ත්වය ගැන යම් අදහසක් ගත්තට පස්සේ සාමාන්‍ය රුධිර පරික්ෂණ කිහිපයක් කරමින් ඔබේ ලේ වල සීනි , ලවණ වර්ග ප්‍රමාණයන් , රතු රුධිරාණූ වල සංයුතුය සහ ප්‍රමාණයන් , වකුගඩු වල ක්‍රියාකාරීත්වයට අදාල ලේ පරික්ෂණ කිහිපයක් කරන්නට වේවි . ඔබ රජයේ රෝහලක් ආසන්නයේ නම් , E.M.G. කියන පරික්ෂණයටත් යොමු කරන්න ඉඩ තියෙනවා . (බය වෙන්න එපා , මේ පරික්ෂණේදි කරන්නේ ඔබේ පේෂී සහ ඊට අනුබද්ධ ස්නායු වල ක්‍රියාකාරීත්වය ගැන මැනීමක් කරන එක) ..

රෝගය මෙයමැයි කියල හරියටම හඳුනගත්තට පස්සේ ඔබට බොන බෙහෙත් කිහිපයක් දේවි , ඔබ මේ වන විටත් දියවැඩියාව හරි වකුගඩු රෝගයකින් හරි පෙලෙනවා නම් මෙච්චර කල් බිපු බෙහෙත් වල පොඩි වෙනසක් කරන්නත් පුළුවන් . ලේ අඩු කමක් හඳුනගත්තොත් යකඩ පෙති ටිකක් ගන්නත් වේවි ....බොත්දි නිකං මළකඩ රහක් එන දුඹූරු පාට පෙති වගයක් , ඒ එක්කම තවත් පෙති වර්ගයක් නිසා ඔබට වෙනදට වැඩි ටිකක් නිදිමත ගතියක් එන්නත් පුළුවන් (විශේෂයෙන්ම කියන්න ඕන සොඳුරු සුව අසපුවේදි බෙහෙත් වර්ග වල නම් භාවිත කිරීම කෙරෙන්නේ හුඟක් අඩුවෙන් , ඒ විශේෂයෙන්ම ලංකාවේ තියෙන ගැටළුවක් වන ඖෂධ අවභාවිතය කියන දේට උල්පන්දම් දෙන්න බැරි නිසා )  , හැබැයි හොඳට නින්ද යාවි ...මේ බෙහෙත් ගන්න එක විතරක් මදි , ඔබේ පෝෂණය ගැනත් , කළ යුතු ව්‍යායාම ගැනත් ඔබව දැනුවත් කරාවි .


විශේෂයෙන්ම නිදා ගන්න පැයකට විතර ඉස්සර කකුල් වලට ව්‍යායාම කරන එකත් , නින්දට යන්න ටිකකට ඉස්සර කකුල්  දෙකෙ මද උණූසුම් මද ලුණු මිශ්‍රණයක (බේසමකට මද රස්නේ වතුර දාල ඒකට ලුණූ හැන්දක් විතර දාල හොඳට දියකරල හදාගන්න ) ගිල්වා ගෙන සිටිම , මෘදු ක්‍රීම් වර්ගයක් , නැත්නම් තෙල් වර්ගයක් ආලේප කරල , කකුලේ පහල සිට උඩට හොඳින් සම්බාහනය වෙන විදියට අතගාගන්න පුළුවන් නම් ඒවත් මේ කරදරෙන් මිදෙන්න පොඩි පොඩි වැඩ තමයි ...

රාජකාරිය කරනකොට නම් වරින් වර ආසනෙන් නැගිටින එකත් , එහෙම අපහසු වෙලාවට කකුල වරින් වර පොළොවට තියල තද කරමින් ඒ පේෂි වලට පොඩි පීඩනයක් ලබා දීම වගේ උපක්‍රම කරන්න පුළුවන් . දිගු වෙලාවක් වාහන පදවන අයට නම් ඒ විදියට තද කර කර ඉන්න එපා ...මොකද වැරදිලාවත් accelerator එක තද වුනොත් තදම තමා ...ඒ අය නම් ගමනේ වරින් වර රිය නවතල ටිකක් බැහැල ඇවිදල නැවත ගමන් ආරම්භ  කරන එකතමා හොඳ ..හැබැයි මහත්තයෝ වාහනේන බැහැල සිගරට් එකක් බොන්න හිතුනොත් නම් ඒ වැඩේ කරන්න එපා ..මොකද සිගරට් කියන්නේ R.L.S. ගේ හිතවතෙක් ...

මෙන්න කරන්න හොඳ ව්‍යායාම ටිකක් , මතක ඇතිව මේව කරන්න ඉස්සර ඔබේ වෛද්‍යවරයගෙන් අහන්නම ඕන , මේ විදියේ ව්‍යායාම කරන්න සුදුසු තත්ත්වෙක ඔබ ඉන්නවද කියන එක ...එහෙම අහල වෙන කරදරයක් නැත්නම් මේ ව්‍යායාම කරල “කකුලට සහනයක්“ ගන්න ..







මේං එහෙනං නිමාව ..කකුලේ කතාවට ..

එහෙමනං අදට සමුගන්නව හැමෝටම “ආයුබෝ වේවා “ කියාගෙන ...මොකද හැමදාමත් කියනවා වගේ නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා......

එහෙමනං සැපට නිදා ගන්න , කකුලට දුක නොදී ..

11 comments:

  1. අම්මෝ තියෙන ලෙඩ රෝග.... ස්තුති දැණුවත් කළාට. ඉස්සරටහ හැදුනොත් පටස් ගාද්දී දැනගන්න පුලුවන් දැන් නම්

    ReplyDelete
  2. ම්.මේක ගැන නම් දැනගත්ත එක වටිනවා..හැමදාම වගේ ගොඩක් ස්තුතියි..

    මාතෘකාව දැක්කාම හිතුනෙ මට නින්ද යනකම් කකුල් දෙන පද්දන්න ඕන..අවුරුදු ගානක් ගිහිල්ලත් මෙහෙම වෙලා තියෙන්නෙ අම්මා පොඩි කාලේ අපිව නිදිකරවන්නෙ කකුල් දෙක උඩ තියාන නිසා වෙන්න ඇති.

    ReplyDelete
  3. අම්මෝ ඇති යන්තම් තාමනම් මේ රෝග ලක්ෂණ එකක්වත් නෑ .මේ රෝගය නිසා බොහෝ දුක් විදින්න වෙන බව පේනවා ,
    …දැනුවත් කලාට තුති .

    ReplyDelete
  4. මට නම් මේ වගේ ලිපි කියවපුවාම නැති ලෙඩ හැදෙනවා..

    කොහෙහරි ටිකක් රිදෙනකොටම හිතෙනවා.. අර ලෙඩේ වෙන්න ඇති කියලා..

    ReplyDelete
  5. වටින ලිපියක් සහ දැනුවත් කිරීමක්.

    ReplyDelete
  6. -Hasitha ,
    ස්තුතියි Hasitha ...ඔව් දැනුවත් විම තමයි ආරක්ෂාවීමේ පළමු පියවර..

    -රූ.... ,
    ඔබේ පැමිණීම සතුටක් , ස්තුතියි..

    -Gimhani ,
    සතුටුයි ඔබේ නිරෝගීබව වෙනුවෙන් ..ස්තුතියි

    -හරී,
    ඒ ඉතින් අපි හැමෝටම එන පොදු රෝග ලක්ෂණේ...ස්තුතියි ඔබේ අදහසට ..

    -Praසන්ன,
    ස්තුතියි Praසන්ன , ඔබේ පැමිණිම සතුටක් ..

    ReplyDelete
  7. ම්හ්හ් දැනට නම් එක රෝග ලක්ෂනයක්වත් නැහැ ඉදිරියේදී ඇති වෙයිද දන්නේ නැහැ...ඔබ තුමා මොන රටේද ඉන්නේ?

    ReplyDelete
  8. දිනිතියි මලිතියිගේ බ්ලොග් එකේ පාඨකයෙක් මං ඒත් අදයි දන්නේ ඒ ඔබගේ දියණියන් දෙදෙනා කියලා.ඔබ මේ ලිපියෙන් ලබා දීලා තියෙන ලින්ක් එකේ ඇති බ්ලොග් එක අලුත් එකක් ද?මොකද මට මතක විදියට දිනිත්යි මලිතියි ගේ බ්ලොග් එක මං ගිය අවුරුද්දේ වගේ ඉදන්ම බලනවා

    ReplyDelete
  9. -මඩිස්සලේ නිශාන් ,
    ස්තුතියි මඩිස්සලේ නිශාන් ...ඔබේ පැමිණීමම සතුටක් ..අපි දැන් ඉන්නේ නම් කැනඩාවේ ...

    ඔව් ඒ මගේ ලොක්කියි පොඩ්ඩියි , ඒ දෙන්න බ්ලොග් දෙකක් ලියනවා ...එකක් පුංචි හිතට දැනෙන දේ අනෙක සොබා සිරි .
    සතුටුය ඔබ ඔවුන් දිරිමත් කරනා බව දැන ගන්නට ලැබිමම ස්තුතියි
    පුංචි හිතට දැනෙන දේ

    සොබා සිරි

    ReplyDelete
  10. දුවලා දෙන්නගේ බ්ලොග් බලන්න යනො.ආයේ මේපැත්තේ එන්නැතො

    ReplyDelete
  11. -අටර්‍මපහුර,
    ඔව් ඔව් ...ආයේ මේ පෝස්ට් එකට එහෙම එන්න එපෝ ...ඊළඟ පෝස්ට් එකේදි හමුවෙමු දෝ ...
    ස්තුතියි ඔබට ...

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)