2012/05/04

97) සඳවතීට සඳසිරී ....එකතු කරන පොඩි පෙතී

සුපිරි සඳ 
අද විශේස දවසක් , ඒ වෙසක් පොහොය , තවත් දෙයක් , ඒ තමයි ආයෙත් අපිට Super moon දකින්න ලැබීම , ඒ කියන්නේ , වෙනදට වඩා සඳ පොළොවට ලංව ගමන් කිරීම නිසා , ප්‍රමාණයෙන් විශාලව එය පෙනෙන්නට වීම , ...ඔන්න ඔය අස්සේ මේ සංසිද්ධීයේ බල පෑම් නිසා ගිනිකඳු පිපිරීම් වගේ සිදුවීම් සහ භූමිකම්පා වේදැයි සැකයක් මතුකරන ලිපියක් අද Weather network එකේ පළකරල තිබුණා . ඒ නිසා මේ ගැන ටිකක් කියවන්නත් හිතාගෙන වාඩි වුනත් , දැන් ටිකක් නිස්කලංක එකේ Post එකක් ලියන්න හිතුනා ...හඳ ගැනම ලියමුකෝ ...



සඳ වතද ? වත සඳ ද ? 
දැන් සොඳරු අසපුවේ මිතුරු මිතුරියෝ බලනව ඇති මොකද මේ හඳ ගැන කිය කියා ඉන්නේ කියලා . අද මට ලියන්න හිතුනේ “හඳ වගේ මූණක් තියෙන“ ......“ලස්සන “ කෙනෙක් ගැන ...මේ කියන්න හදන්නේ කවුරු ගැනද ?...

අද කියන්න යන්නේ “සඳවතී“ ගැන ....ඒ විතරක්ද ..“සඳසිරී“ ගැනත් කියනවා ..

ඔව් , මේ කියන්න හදන කෙනාගේ මූණ “හඳ වගේ“  බොහොම රවුමට , මහතට, රතුවට  ,(හඳ වගේම තමයි , මොකද සඳේ ආවාට වගේ ටිකක් වැඩි පුර කුරුලෑත් තියෙනවා) ,මෙයා ගැහැණු කෙනෙක් වුනාට මෙන්න රැවුලත් එනවා , රැවුල කිව්වට මුහුණෙත් ඇඟ පුරාමත් පිටට පේන රෝම මතු වෙන්න පටන් ගන්නවා , 


ඉස්සරහින් “හඳ වගේ “ උනාට පිට පැත්තෙන් නම් “හං ගොරකා“ ....අනේ කාටවත් බණිනව නෙවෙයි , මේ කීවේ ඇත්ත , මොකද මේ අයගේ හම යට තෙල් තැන්පත් වීම වැඩියි කියල කීවනේ , ඔය විදියට , බෙල්ල හරියෙත් තෙල් තැන්පත් වෙලා  රැළි හැදිලා , හරියට හරකගේ හමේ තියෙන මොල්ලිය වගේ කියල තමයි විස්තර කෙරෙන්නේ , ඒකයි මම කීවේ ඉස්සරහින් “හඳ “ උනාට පිටි පැත්තට “හං ගොරකා“ කියලා ...

ඒ විතරක් නෙවි , මේ තරබාරුවත් එක්ක මෙහෙම ඇඟ ඉදිමිල වගේ තියෙන නිසා , “මස් එල්ලා වැටෙන “ ගතියක් තමයි තියෙන්නේ , ඒ තැන්වල රතු-කළු පාටට හුරු ඉරි වගේත් හැදිලා ,මේ ඉරි බඩේ හොඳට හදුනගන්න පුළුවන්  ... හැබැයි මෙයාල තරබාරුයි කිව්වට ඉණෙන් ඉහළ ටික තමයි තෙල් නිසා ඉදිමිලා තියෙන්නේ , අතපය නම් කේඩෑරියි , කෙට්ටුයි , අනෙක ඇට කටුවල හයියත් අඩුයි , ඒ නිසා හරිම ඉක්මණින් ඇට කටු බිඳිම් වලට ලක්වෙනවා , විශේෂයෙන්ම කොඳු ඇට වල මේ දුබල බව නිසා , හැම තිස්සේම “කොන්දෙ කැක්කුමයී...“ කියාගෙනම තමයි මේ අයට වැඩ කරන්නේ ...කාර්යාලයක වැඩ කරනවා නම් වාඩි උනොත් වාඩි උනාම තමයි , නැගිට්ටවනව බොරු තමා , ඕෆ් වෙනකං ..

සඳ වත 
ඇට කටු විතරක් නෙවි , හමත් දුර්වලයි , පොඩ්ඩක් ගෑවුනත් ඇති හීරෙනවා , බොහොම ඉක්මණට තුවාල හැදෙනවා , හැබැයි ඒවා හොඳ වෙන්න , වෙනත් අයට වඩා කල් ගත වෙනවා , හරියට අර දියවැඩියා රෝගීන්ගේ වගේම ..ඔව් මෙයාටත් ලේ වල සීනි වැඩි වන තත්ත්වයක් , ඒ කිව්වේ දියවැඩියාවට පත්වීමේ අවදානමක් තිබෙනවා .

මේ අමාරුකං නිසා , අපි මේ කියන “සඳවතී “ හැම තිස්සේම ඉන්නේ ඇඟපතේ අමාරුවෙන් , හිතත් හොඳ නැහැ වගේ , හරි ඉක්මණට තරහ යනව ,එක්කෝ “ලෝකෙම එපා වෙලා වගේ mood ගහගෙන ඉන්නවා “ ..අනේ මේ වෙලාවට තරහ ගන්න එපා , මේ “සඳවතී‘‘ ගේ හැටි ...ගෙදර ගියාමත් ඔහොමමයි ..කිසි දේකට ඕන කමක් නැහැ , ඇඟේ අමාරු කියාගෙනම “අත ගගා ඉන්නවා“ ...මේ අයගේ ලිංගික ආශාව (Libido ) අඩුයි  , නැත්නං ඕනෙම නැහැ , මෙයා “සඳවතී “ වුනත් “සඳසිරී“ වුනත් මේ කියපු දේවල් පොදුයි .

දැන් මෙච්චර වෙලා කතා කළ සඳවතී යි සඳසිරීයි වෙනකවුරුවත් නෙවි , කුෂින් සින්ඩ්‍රෝම් කියන රෝග තත්ත්වයෙන් පෙළෙන අපේම සමාජයේ දෙදෙනෙක් ...අපි එහෙනම් මේ කතා කරල තියෙන්නේ “Cushing's sysndrom කියන , බොහොමයක් වෙලාවට අපිම හදා ගන්න , නිසි ප්‍රතිකාර නොලදොත් අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙන්නට පුළුවන් “ලෙඩ මල්ලක් ..“...මල්ලක් කීවට ඔය ඔක්කොම නෙවි , අධි රුධිර පීඩනය , ඇස් වල ආබාධ ....ඔහොම කියන්න ගියොත් මල්ල උතුරන්න ලෙඩ ..

කොහොමද මේ ලෙඩේ හැදෙන්නේ කියල කිව්වොත් ප්‍රධානම හේතුව සමහර ඖෂධ වැරදි ලෙස භාවිතය කියන්නත් පුළුවන් , විශේෂයෙන්ම ප්‍රෙඩ්නිසොලෝන් වැනි  ස්ටීරෝයිඩ් කාණ්ඩායේ ඖෂධ දිගු කාළිනව භාවිත කිරීම නිසා මේ කුෂින් සින්ඩ්‍රෝම් ඇති වීමේ ලොකු ඉඩක් තිබෙනවා. දැන් ඉතින් දොස්තර මහත්තය දිපු , ලෙඩේට බොන්න ඕන බෙහෙත් ටිකත් විසි කරන්න එපා , මේ කියන්නේ ඒක නෙවි , ඔය ස්ටීරොයිඩ් කාණ්ඩයේ බෙහෙත් “කෝකටත් තෛලෙ වගේ “ යොදා ගන්න එපා , කිසිම තේරුමක් නැතිව අනුමැතියක් නැතිව ස්ටීරොයිඩ් පෙති , කරල් , ඒ විතරක් නෙවි ක්‍රීම් වර්ගත් අපේ අය ඕන තරම් පාවිච්චි කරනවා . මොකද ෆාමසියට ගිහින් ලෙඩේ කිව්වම මේ පෙත්ත හොඳයි නැත්නම් , මේ ක්‍රීම් එක හොඳයි කියල දෙන්න තරම් අපිළිවෙලක්නේ තියේන්නේ . විශේෂයෙන්ම , මේ ස්ටීරෝයිඩ් පෙත්ත හතියේ ඉඳළ පිළිකා වලට ප්‍රතිකාර කිරීම දක්වා විශාල පරාසයක් තුල පාවිච්චි වෙන නිසා , මෙය වැරදි විදියට යොදා ගත්තොත් වෙන්න තියෙන හානියත් වැඩියි . වැදගත්ම දේ කියන්න ඕන , මේ ස්ටීරෝයිඩ් ගණයේ ඖෂධ වෛද්‍ය අනුමැතියකින් තොරව ගන්න එපා . ඒ වගේම ඖෂධය ගනිත්දිත් දී ඇති උපදෙස් වලට අනුකූලවම ගන්න ඕන ..උදාහරණයක් මේ වර්ගයේ සමහර ඖෂධ ගැනීම , එකපාරට නවත්වන්නේ නැහැ , එය නවත්වන්නේ දවසක් දෙකක් තුල ටික ටික අඩු කරලා, එහෙම උපදෙස් දී ඇති විටෙක , ඒවිදියටම බෙහෙත ගැනීම හරිම වැදගත් ..

ඒ වගේම මේ පෙත්තේ අතුරුපලයක් විදියට ඇඟේ ඉදිමීමක් එන නිසා , මේක මහත්වීමක් විදියට වැරදියට තේරුම් ගැනිමත් එක්ක , තරුණ පරපුරේ සමහර දරුවන් මේ ස්ටීරොයිඩ් පෙති කිසිඳු ක්‍රමවේදයකට නැතිව අධීමාත්‍රා වශයෙන් එකතු කරල හදපු එක එක නම් සහිත ‘හොර පෙති සහ ගුලි“ ගන්න පෙළඹිලා ඉන්නවා.  ඒවායේ තියෙන අධික ස්ටීරෝයිඩ් ප්‍රමාණය නිසා දවසෙන් දෙකෙන් ඉදිමෙනවා , ඉතින් හිතෙන්නේ , ඔන්න දැන් මහතයි කියලා ..හැබැයි තමන්ට වැරදුනු බව දකින කොට ජීවිතේ නාස්තිවෙලා ඉවරයි . පහුගිය දවසක ආරංචි උනා මේ පෙත්ත යොදාගෙන , කෑම රුචිය  වඩවන “හොර ගුලියක්‘‘ හදල තියෙනව කියලා ., මතක තියා ගන්න මේ ප්‍රමිතියක් නැති “ගුලි“ විතරක් නොවෙයි , ප්‍රමිතියක් , සැලසුමක් නැතිව පෙති ගත්තත් මේ සෙතේම තමයි .

දැන ගෙන ගත යුතු 
අපි මෙතෙක් කතා කළේ කුෂින්ස් සින්ඩ්‍රෝම් කියන ලෙඩ මල්ල හැදෙන ප්‍රධානතම Exogenous  හේතුව , හැබැයි අපේ ඇඟ ඇතුලෙම මේ ස්ටීරෝයිඩ කාණ්ඩයේ රසායනිකය ඇඟට අවශ්‍ය ප්‍රමාණය හැදෙනවා , ඒ ගැන බය වෙන්න එපා , නමුත් ඒ ග්‍රන්ථි වල ගෙඩි , එහෙම නැත්නම් ඒ ග්‍රන්ථි වල ක්‍රියාකාරීත්වය වෙනස් වීම නිසා , ඇඟට ඕනවටත් වඩා ස්ටීරෝයිඩ් හැදුවොත් , ඒත් අර කී ලෙඩේ හැදෙන්න පුළුවන් , අපි ඒ අවස්ථාව නම් කරන්නේ Endogenous cushing's syndrome කියලා.

ඔබට මේ කියපු රෝග ලක්ෂණ තිබේ යැයි සැකයක් තියෙනවා නම් ඉක්මණින් ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවෙලා තත්ත්වය දැන ගන්න එක තමයි හොඳ , මොකද මේ රෝග තත්ත්වය මුල් අවස්ථා වේ හඳුනාගෙන ප්‍රතිකාර නොගත්තොත් , ජීවිතේ අවාසනවන්ත ඉරණමකට මුහුණ දෙන්න වෙන්නත් පුළුවන් ,සමහර විට අස්ථි බිඳිම් , කොඳුඇට බිඳීම් නිසා එක්තැන් වෙන්නත් පුළුවන් , ඒ විතරක් නොවෙයි , අධිරුධිර පීඩනය නිසා අංශභාගය තත්ත්වය දක්වා ගෙනියන්නත් ඉඩ නැතිවා නොවෙයි ..

ඒ නිසා , හොඳම දේ මේ අනතුරින් වැළකිය හැකි උපදෙස් අනුගමනය කරන එක , ඊළඟට ඉක්මන් ප්‍රතිකාරයට යොමු වෙන එක . මේ තත්ත්වය හරියටම තීරණය කරන්න රැධීර පරීක්ෂණ ගණනාවක් කරනවා , විශේෂීත පරික්ෂණ කිහිපයකුත් කරාවි , සමහර විට ඔබේ වකුගඩු වලට ඉහළින් තියෙන අධිවෘක්ක ග්‍රන්ථිය ගැනත් , සමහර විට මොළයේ පිටියුටරි ග්‍රන්ථීය ගැනත් සොයන පරික්ෂණ කරන්නට ඉඩ තිබෙනවා . හියටද හඳුන ගත්තට  පස්සේ , ලෙඩේ ඇති කරන්න හේතුවට ප්‍රතිකාර කරනවා , ඊට අමතරව දැනට තිබෙන සහ ඉදිරියේදී ඇතිවිය හැකි අනතුරු වලටත් ප්‍රතිකාර කරන්න ඔබේ වෛද්‍යවරයා කටයුතු කරාවි , හැබැයි වරින් වර සායනයට යන්න නම් වේවි , මොකද මේ තත්ත්වය හොදින් පසුවිපරම් කළ යුතු රෝග මල්ලක් නිසා .

එහෙම නම් අද අපි කතා කළේ කුෂින්ස් සින්ඩ්‍රෝම් කියන ලෙඩ මල්ල ගැන , පරිස්සම් වෙන්න , මොකද හැමදාමත් අපිට ඇහෙනවා වගේ “ නිරෝගී සැප හැර සැපයක් ලොවේ කොයින්දා ?“ ...

අද දවස ටිකක් කළබලකාරී දවසක් වුනා  .. හේතුව  මනෝජගේ Surgery  එක තිබුණ නිසා , ටිකක් අවිවේකි බවක් තිබුණේ .කොහොම වුනත් “ලැප් කෝලියක්“ කරගෙන (Laparoscopic cholicystectomy ) , මෙච්චර කල් තිබුණු “පිත්තාශෙට“ සමුදීලා , දවල් එකහමාර වෙනකොට ගෙදරත් ආව .(පහුගිය කාළෙ පුරාවටම ඇයට කරදර කළ පිත්තාශ ගල් මල්ල ඉවත් කිරීම තමයි  කෙරුණේ ...අපි මේ ගැන කතා කළා 86 වන ලිපියෙදි) ... ඒ කළබලකාරී බව නිසාම දැන් ටිකක් නිදිමතයි , ඒ නිසා ආයත් දවසක හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නම් ,...

5 comments:

  1. ස්ටීරෝයිඩ් කාණ්ඩායේ ඖෂධ උපදේශ නැතිව භාවිතා කරන එක හානිකරයි කියලා දැනගෙන හිටියත් මෙච්චර විස්තර දැනං හිටියෙ නෑ...

    ස්තුතියි..මනෝජාටත් ඉක්මන් සුවය පතනවා..

    ReplyDelete
  2. -රූ....,
    බොහොම ස්තුතියි රූ....,

    ReplyDelete
  3. බෙහෙත් ද්‍රව්‍ය ගැන නිසි පාලනයක් නැති රටක තමයි මම ඉන්නේ. ඕනෑම එකක් සල්ලි දීල ගන්න පුළුවන්.. අපේ රටෙත් හතු පිපෙනවා වගේ ෆාමසි අරිනවා. මේවා හරියට පාලනය වෙනවාද කියලා සැකයි.. ඉතින් ස්ටීරෝයිඩ් ඕන කෙනෙකුට ගන්න ලේසියි.. අර එලියන්ත කාරයත් දුන්න කියන්නේ ඔවුවනේ..

    ReplyDelete
  4. මුල හරිය කියවන කොට මතක් වුනේ අපේ දේශපාලලා

    ReplyDelete
  5. -සරත් ලංකාප්‍රිය ,
    ඇත්ත , අපේ රටේ පාලනය විය යුතු දේ , නිසි ලෙසින් සිදු නොවීමම තවත් ලෙඩ ගණනාවක හේතු කාරකයක්.
    ස්තුතියි ඔබට ..

    -Observer ,
    ,ඉස්සරහින් “හඳ වගේ “ උනාට පිට පැත්තෙන් නම් “හං ගොරකා“, ....මේ කොටස නිසාද ? :)
    ස්තුතියි ඔබටත්

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)