2012/05/07

98) ඇහැ නටවන , පැද්දෙන ගල ...

“හරී ලස්සන කූඩුවක් තිබුණා , අපි ඒක මැදට ගිහින් ෆොටෝත් ගත්ත ..තව ..කැරකෙන කූඩු තිබුනා ....ආ ...ෂොක් දන්සැලක් තිබුණා .... “ පොඩී ලොකු විස්තරයක් කරන්න , ගෙම්බි වගේ උඩ පැන පැන කියනවා ...

දන්සැල් වඳින්න එන්න ...
“ඔව් ..පානුයි , සම්බලුයි ..........ෂා......මම නං කෑවා .. මෙයා නිකං පාන් කෑවා ...“ ලොකු පැන්න මැදට ..

“ඔව් මං ආස එහෙම කන්නනේ , මං දැක්ක මෙයා නං කාගෙන කාගෙන ගියා ....කොච්චර කෑවද දන්නවද අම්මේ ...අන්තිමට අංකල්ටත් කන්න පාන් නැතිවුනා ....“ ..

“යන්න ......ඒ මං කාපු නිසා නෙවි ...පානුයි සම්බලුයි ඉවර වුනා .. පව් අනේ ..ඒපාර අංකල් බත් කෑවා ..ආසයි කියලා ...,“ ලොකුට ටිකක් ලැජජ හිතුන

පහුගිය වෙසක් දවසේ ,   අපේ මිතුරු  පවුලක දරුවනුත් එක්කම අපේ දෙන්නත් එක්කගෙන මිසිසාගාවේ පන්සලට ගියා , ඒ ගිය ගමන ගැන ගෙදර ඇවිත් කළ කතා බහ තමයි මේ ...

වට වන්දනාවේ යන මොටෝ බයික් එක
අපි දෙන්නටම යන්න බැරි උනා , මොකද තවමත් මනෝජට වෙනද වගේ නිදහසේ ඇවිදින්න ටිකක් අමාරුයි , ශල්‍යකර්මය කෙටි වුනත්  , පුංචි පුංචි අපහසුතා තවමත් තිබෙනව ...ඒත් අපිට මතක් වුනේ ලංකාවේ හිටිය නම් අද දවසේ ගමන් මාර්ගය ..ගාල්ල , අකුරැස්ස , දෙනියාය , මාතර , දික්වැල්ල ....Honda Deluxe එකේ නැගල අපි හතර දෙනාම ඔය route එකේ යනවාම තමයි ...දවසම ගත කරල ගෙදර එන්නේ රෑ දෙගොඩ යාමේ ...මොනව කරන්නද ? මේ වෙසඟෙ සිරි විඳගන්න යන්න නම් වෙන්නේ නැහැ ඒ වගේ ..

ඔය හැමවාරෙකම කැරකෙන කූඩුවක් තියෙන්නේ කොහේද අපි එතන ...දෙන්න එක්ක ඒකේ රෑප විතරක් නෙවි , වැඩකරන හැටි , මෝස්තර වැටෙන හැටි ..ඔය ඔක්කොම හොයල එළියට එන්න පැය දෙක තුනක්වත් ගන්නවාමයි ,

කැරකෙන කූඩුව 
ඔය කැරකෙන කූඩු ගැන කතාවත් අද මගේ කතාවට එකතු කරගන්න පුළුවන් , මොකද අද මම කතා කරන්න ඉන්නෙත් තව හොඳ “කැරකෙන කූඩුවක්“ ගැන තමයි ...

ඔන්න ඉතින් හිතේ මැවුනේ වෙන දෙයක්නේ ...? ...නෑ ... මම මේ කියන්න හදන්නේ වෙසක් දාට පාර පුරා ඇවිදින , කැරකෙන කූඩු ගැන නෙවි , මොකද දැන් කා‍ළේ වෙසක් දාට පාරෙ වැඩි පුර ඉන්නේ මේ වගේ කැරකෙන කූඩු නිසා එහෙම හිතුනත් වරදක් නැහැ ...ඒත් මං කියන්න හදන්නේ , ඔබේ ඇඟ ඇතුලෙම ඉන්න කැරකෙන කූඩුවක් ගැන ...මෙයාගේ කැරකිල්ල , පැද්දිල්ල නිසා තමයි අපි ඔළුව කෙලින් තියාගෙන , නොවැටී ඉන්නේ ....

කවුද මේ පද්දන , කරකවන ලස්සන කෙනා ... ඒ තමයි අපේ මැද කණේ තියෙන මෙන්න මේ රෑපයේ දැක්වෙන බට පද්ධතිය , අපි කියන්නේ , Vestibular organs කියලා , නැත්නං අපි කියමු අර්ධ චක්‍රාකාර නාල පද්ධතිය කියල ...ඇත්තටම අපේ ඇඟේ සමබරතාවය පාලනයට වැදගත්ම සංවේදක පිහිටල තියෙන මේ පද්ධතියේ සිදුවන වෙනසක් නිසා තමයි අපි හුඟ දෙනෙක් දුක් විඳින “කැරකිල්ල“ ඇති වෙන්නේ ..ජනගහනයෙන් සෑහෙන පිරිසක් පීඩා විඳින , සමහර විට ඒ පිළිබඳ නොදැනීම නිසා , එය දවසේ විඳිවිල්ල කරගෙන ජීවත් වෙන බොහෝ දෙනෙක් වෙනුවෙන් අද කතා කරන්න යන්නේ මේ සුවිශේෂි කරකැවිල්ල ..අපි ඒ තත්ත්වයට නමක් දෙනවා , Benign Positional Paroximal Vertigo කියලා ..වැල වගේ නේ ....අපි කියමු BPPV කරකැවිල්ල කියලා ..ඔන්න එහෙනම් BPPV කරකැවිල්ල ගැන කතා කරන්න ඉස්සර වෙලා අදත් අර මුලින් කියපු බට සෙට් එක අපේ බැලන්ස් එක තියා ගන්න උදව්වෙන හැටි කතා කරල ඉමු , ඊට පස්සේ ලෙඩේට බහිමු ...නෑ ... අපි බසින්නෙමු ...

මේ කියන Vestibular  පද්ධතියට අයිති Semi circular canals , නැත්නම් අර්ධ චක්‍රාකාර නාල , ඊළඟට Vestibule කියන ප්‍රෙද්ශය ,Cochlea කියන ගොළු බෙලි කටුව වගේ කොටස තුල වසා තරලය වැනි දියරයක් පිරිලා , නිදහසේ තිබෙනවා , ඒ කිව්වේ නිදහසේ එහා මෙහා චලනය වන විදියට ..ඒත් මෙයින් Cochlea අපිට වැදගත් ශබ්දය ඇසීමට නිසා , අපේ කතාවට වැදගත් Vestibule , semi circular canal ගැන විතරක් දැන් කතා කරන්නේ , ඔය පද්ධතිය ඇතුලේ කියපු දියරයට අමතරව , කැල්සියම් වලින් තැනුනු පුංචි කැටිති විශේෂයකුත් තියෙනවා , දැන් මොකද වෙන්නේ , අපේ හිස හෙලවෙන ආකාරයට , මේ තරලයත් අර කී කැටිතිත් පැද්දීමකට ලක්වෙනවා , ඒ පැද්දීම පද්ධතිය තුල තියෙන සංවේදී ස්නායු අග්‍ර වලින් හඳුනගෙන මොළයට අරන් ගියාම තමයි මොළය හඳුනගන්නේ අපි ඉන්නේ ඇළ වෙලාද , ඔළුව පහත් කරගෙනද ? තවමත් ඔළුව හෙලවෙනවද ? ඔන්න ඔය වගේ අපේ පිහිටීම ගැන හඳුනගන්නේ මේ කී විදියට ..මේකේ ඇත්තම කතාව තව ටිකක් සංකීර්ණයි , ඒත් ඉතින් තොරණ බලනවා වගේ පොඩි කතාවක් ඇති , තෙරුම් ගන්න නේද ? ...මොකද මුළු විස්තරේම කියන්න ගියොත් කරකැවිල්ල නෙවි කලන්තෙත් දාන්න බැරි නැහැ ...

ඉතින් අපි කී මේ තරලය සහ අර කැටිති වල නියමාකාර පැද්දීමක් තිබෙන කම් අපිට කරදරයක් නැහැ , ඒත් යම් හේතුවක් නිසා මේ දියර , විශේෂයෙන්ම මේ කැටිති හිරවුනොත් , අපි ඔළුව හරවන , ඇළ කරන විදියට හෙළවෙන්නේ නැතිව ගියොත් මොකද වෙන්නේ , අපි ඔළුව හැරෙව්වත් , නැතත් මොළයට වැරදි පණිවිඩ යනවා , මේ Otoconia කියල ගල් එක තැනක හිර වුනොත් මේ විදියට වැරදි පණිවිඩ මොළයට ගෙනියනවාමයි . දැන් ඉතින් අපි කොහොම ඉන්නවද කියල තේරුම් ගන්න බැහැ මොළයට . ඉතින් කෙළින් හිටියත් ඇළවෙලා ඉන්නනවා වගේ දැනෙනවා , ඇවිදින කොට ඇලවෙන්න යනවා ...ඔන්න ඔය තමයි ලෙඩේ ජාතකේ ....
Otoconia
කරකවල බැල්මක් 
මෙන්න මේ පැද්දෙන හොඳ ගල , හිර වෙලා , එක තැනක් හිරවුනාම එන කරකැවිල්ල තමයි මේ BPPV කියන්නේ ..


ඉතින් මේ ගල හිරවෙන්න මොනවද හේතු වෙන්න පුළුවන් ...මේකට හේතු ගණනාවක් තියෙන්න පුළුවන් ...ඒ කණේ ඇතිවන ආසාදන නිසා , නැත්නම් හිසට වදින පහරක් , නැත්නම් රිය  අනතුරක් නිසා සිදුවන කම්පනය වෙන්නත් පුළුවන් . ඒ වගේම වියපත් වීමත් එක්ක කණ ඇතුලේ සිදුවන පටක දුබල විමත් හේතුවක් ...හැබැයි මේ කියන්න හදන දේ කොම්පියුටරේ ළඟ දවසම ගෙවන ඔබට වැදගත්  , ඒ කියන්නේ දවසේ වැඩි වෙලාවක් එකඑල්ලේම හිස තබාගෙන සිටින විටත් මේ “ගල් හිරවිම“ වෙන්න පුළුවන් , ඒ වගේම දවස පුරා නිදාගන්න ගියොත් එයාලටත් මේ කරදරේ වෙන්න පූළුවන් ..ඒ නිසා කොම්පියුටරේ ඉන්නව නම් වරින්වර හිස ඔසවල  ටිකක් වට  පිට බලන්න ..නැත්නං “ගල එක තැනම ලැගල “ හිර වෙන්න පුළුවන් ...එහෙම වුනොත් ඔතනින් නැගිටින කොට “කැරකිල්ල“ තමයි ඉතිරි වෙන්නේ ..


තරු පායන කරකැවිල්ල
මේ කරකැවිල්ල එක්කම තව හොඳ හොඳ ලක්ෂනත් එකතු වෙනවා , ඇස් නැටවෙන්න පටන් ගන්නවා , වටේ තියෙන දේවල් පැද්දෙන්න වගේ පේනවා , දැන් බලාගෙන ඉන්නකොට ඔක්කොරෙට , වමනෙට වගෙත් එනවා ...කොහොමද ඔය ටික ඔක්කොම එකතු වෙලා ආවම ...සංසාරේ .......දුක දැනෙනවා ....ඔය විතරක් නෙවි සමහරුන්ට ටික වෙලාවකට කියන දේවල් පවා ඇහෙන්නේ නැතිව යන්නත් පුළුවන් ..දැන් ඔන්න අඩියක් තියලා යන්න හදනකොට .........කොහේ යන්නද පොළොව ඇද වෙලා ...බැලන්ස් නෑ ..වැටෙන්නමයි යන්නේ ...දැන් මේ අටුවාව කියවගෙන යන්කොට ...ඔන්න එක් සමයෙක්හි ........මටත් ඔහොම වුනානේ බොලේ කියල මතක් වේවි .. එක දවසක් ඔහොම වුනා කියල කළබල වෙන්න එපා ...ඒත් වරින් වර මේ වගේ වෙනවා නම් “ඇස් දෙක පියාන නිදා ගන්න මට බෑ ...බෑ බෑ .....“ කිය කියා ඉන්නේ නැතිව ඉක්මනින් දොස්තර මහත්තය ගාවට යන්න ..



එහෙම ගියාම ඔබේ පවුලේ වෛද්‍යවරයාට ඔබ පවසන විස්තර අනුවම පොඩි අදහසකට එන්න පුළුවන් , ඒත් තත්ත්වය තහවුරු කර ගන්න , බෙල්ලෙන් අල්ලල හොල්ලාවි ...නෑ නෑ ..ඒක පරීක්ෂණයක් ..Dix hall pike maneuver කියන පරීක්ෂණය ..එතැනදි ඔබව ඇඳක හාන්සි කරලා , හිස පැත්තට හරවලා , ටිකක් වෙලා ඔබේ ඇස් දෙක දිහා බලාගෙන ඉඳීවි , ඊට ප්සසේ ඒ විදියටම අනිත් පැත්තට හරවලා ඔබේ ඇස් වල චලනය නිරීක්ෂණය කරාවි , මේ පරික්ෂණයෙන් පුළුවන් තත්ත්ව BPPV දැයි හඳුනා ගන්නට ..තව දුරටත් හේතු සාධාක එහෙම හඳුනගන්න ඕන වුනොත් විතරක් , Hearing test , CT , MRI , වගේම කණට මද රස්නේ වතුර ටිකක් විදල කරන caloric stimulation එකත් කරන්න පුළුවන් ..

ඔය ඔක්කොම කළාට පස්සේ බෙහෙත් දෙන්න එපායැ නේද ..ඔව්, ඔය කරකැවිල්ල ගතිය අඩුවෙන්න , නින්දයාමට උදව්වෙන්න අවශ්‍ය පෙති ජාති කිහිපයක් දේවි , ඒ වගේම දවස තුල බොන ජාති හොඳට ප්‍රමාණවත්ම ගන්න කියන උපදෙසත් දේවි ,  ඒ වගේම මේ විදියට කරකැවිල්ල ආවොත් , පරිස්සමට ගන්න ඕන උපදෙස් , ඒ කියන්නේ ඒ වෙලාවට වාඩි වෙලා නැත්නම් ටිකක් හාන්සි වෙලා ඉන්න කියන එක , එකපාර කළබලේට නැගිටින්න එපා කියන එක , රියපැදවීම කරන වෙලාවක නම් පුළුවන් ඉක්මණින් පරිස්සමින් පාර අයිනකට අරගෙන රථය නවත්ව ගන්න කියන එක ...ඔය වගේ ප්‍රායෝගික කරුණු කියල දේවි ...ඒ එක්කම ගෙදරදි කරන්න හොඳ සෙල්ලමකුත් කියල දෙන්න පූලුවන් ..ඔය සෙල්ලම හරියට කළොත් අර හිර වෙච්ච ගල , ආයෙත් හරි තැනට යවා ගන්නත් බැරි වෙන එකක් නැහැ .. ඒ සෙල්ලං ගැන ලියනවාට වඩා ලේසියි සෙල්ලම බලන එක ඒ නිසා මෙන්න වීඩියෝ දැම්ම බලාගන්න ..



එහෙම නම් , කැරකෙන කූඩු , ගල් පෙරලිලි  , ඇස් නැටිවිලි ගැන කතා කරපු අද කතා වස්තුවත් මෙතනින් අවසානයි , ආයෙත් දවසක තවත් කතාවකින් හමුවෙමු ...

10 comments:

  1. ඔන්න කියා ඇති පරිදිම මටහ් මේ දේ වෙලා තියනවා . නිදා ගන සිට පාන්දර එක පාරට ඇඳෙන් පනින්න ගිහින් . ඉතින් බේත් සමග අවවාද ලැබුනා , එක පාරට ඇඳෙන් නොනැගිටින ලෙසට .

    …ඔබ දීපු උපදෙස් වැදගත් , මාත් කොම්පුටරේ ලඟ දවසම ඉන්න කෙනෙක් නිසා .
    …බොහොම ස්තූතියි දැනුවත් කිරීමට .
    …ජය !

    ReplyDelete
  2. ඇත්තටම මේරෝගලක්ෂණ ඇත්නම් නිට්ටාවට සුවකරන්න පුලුවන්ද?එහෙමනැත්නම් ජීවිතයඅවදානම්ද?වටිනා ලිපියක්...

    ReplyDelete
  3. හ්ම්..කැරකිල්ල හැදෙන වැඩක්නේ..:)
    ස්තුතයි ලිපියට..

    ReplyDelete
  4. -Gimhani,
    ස්තුතියි Gimhani , කෝකටත් පරිස්සම් වීම හොඳයිනේ ...සුවබර දිනයකට පැතුම් ..

    -විමුක්ති,
    ඔව් සුව කරන්නට පුළුවන් , බෙහෙත් හරි නොගියොත් කරන්නට වෙන ශල්‍යකර්මයකුත් තියෙන නිසා ...ජීවිතේට සෘජු අවදානමක් නැතත් ජීවිතේ කටයුතු වලට නම් බාධාවක් ...

    -රූ....,
    හ්ම් ..රෑං ගාල කැරකෙන්නට ...
    ස්තුතියි රූ....

    ReplyDelete
  5. කියවල කැරකිල්ල හැදුන...හෙහ්...හෙහ්..
    ඉගෙනගත්තා වටින කරුණු ටිකක්.

    ReplyDelete
  6. කොහෙන්ද බොල මේව හොයාගන්නේ..

    බිව්වම කැරකෙන හැටි??

    ReplyDelete
  7. -Observer,
    ස්තුතියි අදහස් දැක්වීමට..

    -sAm (සෑම්) ,
    ස්තුතියි

    ReplyDelete
  8. ම්ම්ම් වටිනා ලිපියක්...

    ReplyDelete
  9. අද මට පැනනැගුන ගැටලුවකට පිලිතුරක් බලාපොරොත්තුවෙන් ඔබේ ලිපි මල්ල පිරික්සුවා. ඒත් හොයාගන්න අපහසුයි. මගෙ ගැටලුව වුනේ වයස අනුව බර සොයාගන්න. කොහෙද, ඔබ තුමාගෙ මාතෘකා වලින් හොයාගන්න අපහසුයි. පුලුවන්නම් Label යටතෙ අදාල මාතෘකා දාන්න ඒක පසුවට වැදගත් වෙයි. මොකද එතකොට Label සෑහෙන ප්‍රමානයක් මාතෘකවට අදාලව දාන්න පුලුවන්. Headline එකට කරදර නොකර , බලන අපිට හොයාගන්නත් පුලුවන්.

    ReplyDelete
  10. -Loku John ,
    ස්තුතියි Loku John , ...ඇත්තෙන්ම මම මේ කිසිම ලිපියක ලේබල් යොදා නැහැ , මොකද මට ඒ ගැන ඒ තරම් අවධානයක් තිබුණෙ නැති තරම් , ඔබේ අදසත් එක්ක එහි වටිනාකම මට තේරුණේ ,

    මුලින්ම සමා වෙන්න වූ අපහසුතාවයට , පහත ලින්ක් එකෙන් ඔබට පහසුවෙන් ඔබේ ගැටළුව විසඳගන්නට පුළුවන් , අපි පෙර ලිපි කිහිපයක් කතා කර ඇතත් , ඔබ කියු පරිදි මාතෘකාවෙන් නම් හොයාගන්න අමාරුයි ,

    ඔබේ අදහස මක හැකි ඉක්මණින් සියළු ලිපි වලට ලේබල් යොදන්නට කටයුතු කරන්නම් , සොඳුරු සුව අසපුව තවත් පාඨකයාට ලංකරන්නට ඔබ දුන්නු උපදෙස බොහොම වටිනවා , ස්තුතියි Loku John

    http://www.cdc.gov/healthyweight/assessing/bmi/adult_BMI/english_bmi_calculator/bmi_calculator.html

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)