2012/06/04

105) ඉන්න ඇවිත් එක්කං යන ආදර කළු කෙල්ලෝ..



නිවාඩු දවස තරම් වැඩ වැඩි දවසක් නැති තරම් , සෙනසුරාදා ටිකක් පරක්කු වෙලා අවදි උනාට , වැඩ වැඩ වැඩ ...ගෙවල් අස් කරන්න , ඇඳුම් සොදන්න , ඒව වෙන් කරල , නවල පිළීවෙල කරන්න , මනෝජට නම් ඉතින් දවස් තුන හතරකට හරියන්න කෑම උයන්න  .....එකි මෙකි නොයෙක් රාජකාරි වලින් පිරිච්ච දවසක් තමයි අපේ සෙනසුරාදාව .  කොහොම කොහොම හරි හතර දෙනාගෙම එකමුතු වෙන් හවස තුන වෙන කොට ගොඩක් වැඩ ඉවර කරල , ගෙයින් එළියට පැන ගන්නව  කට්ටියම .ඒ පොඩ්ඩො දෙන්නගේ swimming class එකට යන්න . දෙන්නටම තියෙන නිසා හවස් වෙනකම්ම එතන ඉන්න සූදානමින් තමයි ගෙයින් පිට වෙන්නේ ,




පොඩ්ඩිගේ පිහිනිල්ල ...
ලොකූගේ පන්තිය 
පහුගිය කාළෙ සීතල වගේම තමයි අව්වත් ....ඇස් පිච්චෙන අව්වක් , මගේ කළු කොල්ලව ගහක් යටින්ම නතර කරලා ඉක්මණට පැනගත්තා , community  center එක ඇතුලට , ඒ ටිකටත් ඇස් නිලංකාර වෙලා ..ඉස්සෙල්ලාම ලොකුට තමයි තියෙන්නේ , සංඝමිත්තා විද්‍යාලයේදි , ගාමිනී සර්ට පිං සිද්ධ වෙන්න එයාට හොඳ මට්ටමක පිහිනුම් හැකියාවක් තියෙන නිසා level 7 වල ප්‍රැක්ටිස් කරන්නේ , ලොකූට ඉවර වෙලා පැයකට පස්සේ තමා පොඩ්ඩිට ...එයානං තාම level 1 , තාම පොඩ්ඩිනේ ... ඔය අතර මැද පැය මගේ කළු කොළු පැටිය එක්ක තමයි ගත කරන්නේ .....අදත් එහෙමයි ..ගෙනාපු කෑම ටිකයි බීම ටිකයි හැම තැනම හලල , අම්මගෙන් බැනුමක් අහනකං , දෙන්නගේ වැඩේ දැඟලිල්ල ...

“ඒයි මේ බලන්න මෙයාගේ හැටි ...කළුයි ..දැන් නං කළු කුමාරි වගේ ....“ අක්කට අද හොඳ පොටක් පෑදිලා ..මොකද නංගි කළු ටී ෂර්ට් එකකුත් ඇඳල අනෙක අව්වේ සැරටම පාටත් ටිකක් කළු වෙලා ..(මගේ පාටනේ ... )
තරහ ගිහත් හිනායන පොඩ්ඩී ..
“මං කළු වෙලා නැ..ඔයාගේ මූණ කැතම කැතයි , කොන්ඩෙත් කඩාගෙන හරියට පිස්සියෙක් වගෙ ......“ දුන්න උත්තර ....
“බලන්න අම්මේ නංගි මට පිස්සි කිව්ව ....කළු කුමාරි .....! ...“ ලොකූටත් තර හ ගිහින් ..
“දෙන්නම දැඟලිල්ල නවත්තලා මේ සිංදුවක් අහගෙන ඉන්නකෝ ...අනෙක දැන් දඟලල ඕව ෂීට් උඩ හැලුවොත් ...මම ...‘‘ ....අම්මගේ කතාව ඉවර කළේ නැතුවාට දෙන්න දන්නව  වැඩේ දුර ගියොත් වෙන්නෙ මොකද කියල ..දෙන්නගේ කිසි සද්දයක් නෑ , දෙපැත්ත බලාගෙන ඉන්නවා ..
“බලන්න එපා මං දිහා ,..“ පොඩ්ඩි පත්තරේකින් ඇඟම වහගෙන ...ලොකුට හිනා ...

ඕන්න  ඔහොම එදා දවසත් ගෙවිලා ...දැන් නං ඉරිද දවසත් ඉවරයි , මේ ලියන වෙලාව හරියටම රාත්‍රි 12යි , ...දවස එහෙම ඉවර වුනත් මට මේ දෙන්නගේ දැඟලිල්ලත් එක්ක ලියන්න දෙයක් මතක් වුනා , ඒ තමයි හමේ ඇතිවිය හැකි යම් අවදානමක් ගැන , ඒක කළු පාටත් එක්ක සම්බන්ධ නිසා මෙතනට එකතු වුනා , අනෙක මගේ සිසුවියක් පහුගිය දිනෙක අහපු “ඉන්නන් පිළිබඳ ප්‍රශ්නෙත්“ මේකට උදව්වක් වුනු බව ඒ දුවණියට කියන්නම ඕන .. ඒ වගේ සිසු දියණියන් සිටීම ගැන මට පුංචි ආඩම්බරයකුත් නැතිවා නොවේ , මොකද බොහෝ දෙනෙක් වගේ course එක ඉවර වුන ගමන් ඉගෙන ගන්න එක නතර නොකළ ඒ දුවණියත් “හෙට මැරෙන බව දැන  ජීවත් වන්නත් , කිසිදා නොමැරෙන බව සිතා ඉගෙන ගන්නත්“ පෙළඹුනා කියල මට හිතෙනවා .ඒ නිසාම සතුටුයි ..

තරහ වෙන්න එපා . ..කයිවාරුව තමයි ..ඒත් ඉතින් අපි ටිකක් කතා කරල හිටියම හොඳයිනේ , අනෙක සොඳුරු සුව අසපුවේ ඉන්න හැමෝම නෑදැයෝ , එකිනෙකාගේ සතුටට , වගේම කරදරේකදිත් බොහොම ලෙංගතුව එක්වෙන මේ මිතුරු කැළ ලැබිමම කොයි තරම් නම් සතුටක් ද ? ..

හොඳයි අද එහෙමනම් අපේ කතාවට එමු , වටින් ගොඩින් කිව්වට තාව කිව්වේ නැහැනේ මොකක් ගැනද කතා කරන්නේ කියලා ...දෙන්නංකෝ පොඩි ඉඟියක් ....අද කතා කරන්නේ ගෑණු ළමයෙක් ගැන . ,තවත් කිව්වොත් කළු කෙල්ලෙක් ගැන  එයාගේ නම ඉවර වෙන්නේ ....“නෝමා “ .කියල ..... හිතන්න බලන්න නම් ටිකක්  ...සයෝමා , නිරෝමා , අනෝමා , ...කොයිතරම් නෝම ලද නේද ? .. ..හැබැයි අපේ කතාවේ ඉන්නේ නම් .............. මෙලනෝමා ...... ලස්සන කළු කෙල්ල .....

කවුද මේ මෙලනෝමා ...? ....මෙලනෝමා කියන්නේ හම ආශ්‍රිතව එන පිළිකා විශේෂයක් ..ඇත්තම කිව්වොත් සම ආශ්‍රිතව එන පිළිකා වර්ග කිහිපයෙන් දරුණූම කෙනා කිව්වත් වැරදි නැහැ .. මෙයා ගැන ලොකු විස්තර කියන්න ඉස්සෙල්ලා , එයාගේ වතගොත ඉන්න තැන වගේ පොඩි විස්තර ටිකක් කතා කරලම එමු ..නැත්නං ඉතිං අර ෆෝන් මකුණගේ කතාවට බය උනා වගේ ,හම කළු වෙච්ච අය  ඔක්කොම , හම සුදු කරගන්න දඟලන්න පටන් ගනිවි ..

අපි අපේ සම ගැන ටිකක් කතා කරමු ... මේ සටහනේ පෙන්වල තියෙන්නේ අපේ හමේ හරස්කඩක් , මේකේ තවත් බොහෝ කොටස් නම් කරන්න පුළුවන් වුනත් අපේ කතාවට ඕනම ටික විතරක් හැඳිනගත්තම ප්‍රමාණවත් දැනට , ඔබට පේනව ඇති අපේ සම ප්‍රධාන තට්ටු දෙකකට බෙදිල තියෙන වග , Epidermis , සහ Dermis කියන නම් වලින් , එයින් Epidermis තමයි එළියෙන්ම ඉන්නේ , අව්වට වැස්සට හොඳට ඔරොත්තු දෙන ශීට් වගේ තුනී සෛල තට්ටු ගණනාවකින් සමන්විත මේ Epidermis සහ Dermis දෙන්න එකතු වෙන හරියෙ අපේ කතාවේ කෙල්ලො ටික ඉන්නවා , ඒ කිව්වේ Melanocytes , එයාල එතැනට වෙලා ඉඳගෙන තමයි අපේ හමට පාට දෙන්නේ , හමට විතරක් නෙවි කෙස් , රැවුල් , රෝම මේ හැම දේටම වගේ කළු පාට දෙන්න මේ අය උදව්වෙනවා ...

කළු කෙල්ල ...
.මෙයා කළු උනාට හරි හැඩකාරි .... ඒ වගේම හරිම දඟකාරී , ඒ කිව්වේ හරිම සක්‍රිය , සංවේදී සෛලයක් , විශේෂයෙන්ම හිරි එළීයේ තියෙන U.V කිරණ වලට හරිම සංවේදී සෛල කණ්ඩායමක් ...මේ කෙල්ල හදල දෙන Melanin නිසා තමයි අපේ සමේ මේ කළු , නැත්නම් දුඹුරු , අඳුරු පැහැය ගේන්නේ , ඒ පැහැය අපේ පරිස්සමට යම් තරමක වැදගත් කමක් තිබෙන බව අපි කතා කළා මතකද අර “උඩු කිරණේ “ ගැන තිබුණු පෝසට් එකේදි . නොකියවූ අය සිටීනම් වෙලාවක ඒ පැත්තෙත් ගිහින් එන්නකෝ ..

මේ කළු කෙල්ලෝ ඉන්නේ හමේ විතරක්ම නෙවි , ඇසේ , හෘදයේ , මොළය ආශ්‍රිතව වගේම ඇට කටු ආශ්‍රිත වත් ඉන්නවා , ඒ වගේම හම ,  කෙස් පාට කරනවා විතරක් නෙවි , මෙයාලා එකතු වෙලා ලප හදන්නත් උදව්වෙනවා  , ඒ කියන්නේ හමේ තියෙන කළු , දුඹූරු පාට ලප , හදන්නෙත් මේ කළු කෙල්ලෝ එකතු වෙලාම තමයි . අපි ඒවයින් සමහර ඒවට කියනවා උපන් ලප කියල ..Congenital Melanocytic nevi ...උපන් ලපත් නොවන වෙනත් ලප ඇත්ද කියල ඇහැව්වොත් උත්තරේ ඔව් , ...උපන් ලපත් නොවන වෙනත් ලප පවතී , හැබැයි ඒ කළු ලපත් හදන්නේ මේ අය උදව්වෙනවා ...

දැන් ඉතින් මේ ලපේ ගැන මොකටද කතා කරන්නේ ..? ....මෙහෙමයි මේ ලපේ තුල සිදුවන යම් වෙනසක් නිසා , විශේෂයෙන්ම අදාල මෙලනොසයිට් කියල සෛල වල සිදුවන වෙනසක් නිසා , මේ කෙල්ලෝ කිසිම පාළනයක් නැතිව පැතිරෙමින් පැටවු දාන්න පටන් ගන්නවා , කෙටියෙන්ම කිව්වොත් මේ මෙලනොසයිට් කියල සෛල පිස්සු වැටෙනවා , ඒකට හේතු ගණනාවක් තියෙන්න පුළුවන් , හැබැයි හිරු එළියේ තියෙන අහිතකර මට්ටමේ U.V කිරණත් එක් හේතුවක් ....(දැන් ඉතින් කළබල වෙන්න එපා , විශේෂයෙන්ම අපේ රටවල අයට යම් තරමක ආරක්ෂාවක් නැතිවමත් නොවෙයි , ඒත් පරිස්සම් වෙන්න මිසක් කළබල වෙන්න දෙයක් නැහැ . )  , හිරැ එළියේ පිළිස්සීම් ඇති කරන තරමේ තද අව්වත් තවත් හේතුවක් , ඊට අමතරව සමේ මෙබඳු ලප  විශාල සංඛ්‍යාවක් ඇති අයත්, සම තුනී ,සුදු පැහැය වැඩි සමක් ඇති , නිල් පැහැයට හුරු බලල් ඇස් ඇති , පවුලේ කෙනෙක් මෙබඳු පිළිකාවකින් හෝ ආශ්‍රිත තත්ත්වයකින් පෙළෙන අයත් වඩා අවදානම් , ....ආයෙත් කියනවා ..මේ ලිස්ට් එක කියවපු බලල් ඇස් තියෙන පැහැපත් හමක් ඇති අය කළබල වෙනව එහෙම නෙවි ...මේ කියන්නේ දැන ගන්න දැන් ගන්න ...දැන ගෙන පරිස්සම් වෙන්න ......අනෙක ඖෂධ නිසා හරි ලෙඩක් නිසා හරි ප්‍රතිශක්තිය දුර්වල වූ අයත් රසායනික ආශ්‍රිත කර්මාන්ත වල යෙදි සිටින අයත් (විශේෂයෙන්ම ආසනික් සහ තීන්ත ආලේපන වැනි ) ටිකක් පරිස්සම් වෙන එක හොඳයි .



කළු කෙල්ල හොයන සුදු කෙල්ල 
මේ මෙලනෝමා කියන පිළිකාව මුලින්ම හදුනගෙන ප්‍රතිකාර කළොත් කිසිම කරදරයක් නැතිව සුව කරගන්න පුළුවන් වුනත් අපේ නොසැලකිල්ලෙන් වැඩේ දුර දිග ගියොත් බොහොම නරක ප්‍රතිපල තමා ලැබෙන්නේ , හේතුව අපි කිව්ව වගේ මේ මෙලනොසයිට් ඇඟේ හැම තැනම වගේ තියෙන නිසා , වගේම මේ සෛලත් හරිම ක්‍රියාකාරී නිසා ඉක්මණින් පැතිරිලා යන්න පුළුවන් පිළිකාවක් තමයි මේ , එහෙම පැතිරිලා පෙනහළු වගේ ඉන්ද්‍රියයන් ඉක්මණින් දුර්වල කරල දාන්න මේ කළු කෙල්ලන්ට පුළුවන් .  ඒ පැතිරිම අංක වලින් කිව්වොත් 0 ඉඳලා 4 දක්වා මට්ටම් පහකින් විස්තර කරනවා , එයින් 4වන මට්ටම කියන්නේ බොහොම දරණූ අවස්ථාවක් , ..කොයි තරම් මෙයා දරුණූද කියල කිව්වොත් , බොහොම දියුණූ වෛද්‍ය තාක්ෂණයක් සහ දැනුමක් තිබෙන බ්‍රිතාන්‍යෙය් (ඒ කිව්වේ සාමාන්‍ය ජනතාව සෞඛ්‍ය ගැන ඇති දැනුම පවා ඉහළ ) මේ මාසේ වෙනකොට 76000ක් මෙලනෝමා රෝගීන් හඳුනගෙන තිබෙනවා, එයින් 9000කට වැඩි සංඛ්‍යාවක් මිය ගොස් ...මේ එංගලන්තෙ...ඒත් එංගලන්තේ එහෙම වුනාට ලංකාවේ එහෙම නෑ කියන්න පුළුවන්ද ? ...මගේ සේවා කාළය තුලම මෙලනෝමා රෝගීන් සෑහෙන ප්‍රමාණයක් මට මුණ ගැහිලා තිබෙනවා , ඉන් එක් අයෙක් මට හොඳටම මතකයි , ගුරුතුමෙක් , මුහුණේ තිබුණු උපන් ලපේ ලොකු වෙලා පැතිරිලා යනකම්ම “ගනන් ගත්තේ නැති “ ඒ  ගණන් ගුරුතුමා , අපේ ඒකකයට (එදා පිළිකා ඒකකය ) එත්දි පිලිකාවේ කොටස් පෙනහළු දක්වා පැතිරි ගිහින් තිබුණා , අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලය ඇතුළු සමස්ථ සේවක සමූහයාම සෑහෙන වෙහෙසක් ගත්තත් , බොහොම අවසානාවන්ත දිගු හුස්මක් අරගෙන , ජීවිතෙන් සමුගන්න වෙලාවේ , මගේ අත තදින් අල්ලගෙන හිටි හැටි මට තාම දැනෙනවා , ඒ වේදනාව මොන තරම් ද කියන එක මගේ හිතට විතරක් නෙවි අතටත් එදා දැනුන ..

හරි දැන් අපි මේ නරක කෙල්ගේ රූප ලක්ෂණ ටිකක් කතා කරමු , එතකොට ඇඟට එන්න ඉස්සර වෙලාම පරිස්සම් වෙන්න පුළුවන් නේ ...ඒකට ඉතින් කරන්න තියෙන්නේ බොහොම සුළු දෙයයි , ඒ ..මෙච්චර දවසක් අනුන්ගේ ඇඟ ගැන බලපු , හිතපු අපි දැන්වත් අපේ ඇඟ ගැන , අපේ හම ගැන බලන්න පටන් ගන්න එක . ඒ කිව්වේ ඔබේ සමේ තිබෙන ලප , ඉන්නන් වැනි (ඉන්නන් ඇතිවෙන්නේ නම් වයිරස් කාණ්ඩයක් නිසා) ගැටිති සහ සමේ පැහැය ස්වභාවය වැනි දේ ගැන වෙනදාට වැඩියෙන් ටිකක් හොයල බලන්න , ඒවායේ වෙනසක් ( ඒ කිව්වේ ඉක්මණින් ලොකු වෙන පැතිරී යන බවක් )  , විශේයෙන්ම පැහැය , හැඩය , ප්‍රමාණය , ස්වභාවය වගේම සුව නොවන තුවාලයක් , සමහර විට එකම තැනක හේතුවක් නැතිව ඇතිව කැසිල්ලක් , නැතිනම් දිගින් දිගටම දියර වෑස්සෙන පොඩි හමේ ගැටිත්තක් වුනත් මෙලනෝමා පිළිකාවක් නොවේ යැයි තහවුරු කරන තුරු කියන්නට බැහැ .

පිරිමි අපේ නම් දේහයේ කඳ ප්‍රෙද්ශය ගැන විශේෂ අවදානය යොමු කරන්නට ඕන වගේම කාන්තා ඔබේ කකුල් වල සම ගැන විශේෂයි . දැන් මේ කිව්වේ වෙන කොහේවත් නොබල කඳ බඩ ගැන හරි කකුල් ගැන විතරක් හරි බලන්න කියන එක නෙවි , ඒ ගැන විශේෂ අවදානය යොමු කරන්න කියන එක.

මෙන්න මේ වීඩියෝව බැලුවම . හොයන බලන හැටි හොඳට හඳුනගන්න පුළුවන් නිසා කතාව නවත්තල ඒ ටික බලමුද ? ...



මේක පිළිකාමය මෙළනෝමාවක් කියල සැක කරන්න නම් මේ කියන්න හදන කාරණා කිහිපයක් ගැන හිතන්න වෙනවා , ඒ තමයි අදාල ලපය , ගැටිත්ත සමමිතික නැත්ද කියන එක , විස්තර කළොත් බාග  දෙකකට බෙදුවොත් එකවගේ නැත්ද කියන එක ..අනෙක ඔය ගැටිත්තේ , නැත්නම් ලපේ දාර අක්‍රමවත්ද කියන දේ , ඒ වගේම එතන පාට ..සමහර වෙලාවට පාට දෙකක් විතර එකතු වෙලා හැදිල තියෙන ලපයක් වගේ වෙන්නත් පුළුවන් ..තව ......ලපේ ප්‍රමාණය ...මේක පැන්සල් ඉරේසරයක තරමට වඩා විශාල නම් ටිකක් අවදානම් (දැන් ඉතින් උපන්දා ඉඳලම ලොකු ලප තිබුණ නම් ඒ ලපේ ගැන කුලප්පු වෙන්න එපා , සෙවිල්ලෙන් ඉන්න) ..විශේෂයෙන්ම මේ විශාලබව පහුගිය කාළේ තුල ඉක්මණින් වැඩි වුනාද කියන එකත් හරිම වැදගත්..
ඔන්න ඔය වගේ සාධක ගැන බලලා ..යම් සැකයක් ඇත්නම් හොඳම දේ යන්න ඔබේ පවුලේ වෛද්‍යවරයා ගාවට නැත්නම් රෝහලේ බාහිර රෝගී සායනයට  එතැනදි මේ පිළිබඳ විශේෂ පුහුණුවක් තිබෙන වෛද්‍යවරයා අදාල ලපේ සැක කටයුතු කෙනෙක් දැයි දැන ගනීවි ..යම් හෙයකින් සැක කළ යුතු කෙනෙක් නම් බොහෝ දුරට සම ආශ්‍රිත විශේෂඥ සායනයට යොමු කරන්නට ඉඩ තිබෙනවා  , එතැනදි අදාල ප්‍රෙද්ශයේ පොඩි පටක කොටසක් අරගෙන ඒක අන්වික්ෂයකින් පරික්ෂා කරවන්නට (Biopsy) යොමු කරන්නත් පුළුවන් , එතැනදි මෙය පිළිකාමය තත්ත්වයක්ද කියන එකත් එහි වර්ගය සහ මට්ටම ගැනත් තීරණය කරන්නට පුළුවන් කමක් ලැබෙනවා . තවත් ඒ ආශ්‍රිත කුද්දැටි වලත් මේ විදියටම බයොප්සි කරාවි sentinel lymph node biopsy . ඊට අමතරව CT ස්කෑනින් වගේ පරික්ෂණ කරමින් මෙහි කොටස් වෙනත් ස්ථාන වලට පැතිරි ඇත්ද යන එකත් සොයා බලාවි ..

හොඳම ප්‍රතිකාර ශල්‍යකර්මයක් මගින් අදාල මෙලනෝමාවත් ආසන්න පටකත් කපා ඉවත් කිරීම තමයි , ඒත් එහෙම කරන්නට නම් පිළිකාවේ මුල් අවස්ථා වලදි මෙය හඳුනාගෙන තිබෙන්නට ඕන , එසේ නොවුනහොත් , ශල්‍යකර්මයට අමතරව , පිළිකානාශක ඖෂධ (අපි මේ ගැන කතා කළා අර කකුළු ලිපියෙදි ) , සහ විකිරණ ප්‍රතිකාරත් (මතකයිනේ සනීපෙට ඇතුළු වන එක) තවත් ප්‍රතිශක්ති වර්ධනය වැනි අතුරු ප්‍රතිකාරත් කරන්නට වේවි ...

ආයෙත් වැදගත්ම දේ කියන්නම් , මේ පිළිකාවත් මුල්ම අවස්ථාවේ හඳුනගත්තොත් සුව කරන්නට පුළුවන් , ඒත් ප්‍රමාද වුනොත් පාලනය කරනවා සහ අතුරු ආබාධ පාලනය කරන්නට පුළුවන් ..

කෝකටත් මේ පිස්සු හැදෙන කළු කෙල්ලො ගැන ටිකක් සෙවිල්ලෙන් ඉන්න .....මොකද මෙයාලා හරිම කළබලකාරියෝනේ ..

එහෙම නම් අදත් අළුත් දවසක උදාවේ මම ලිපිය නිමා කරන්නයි යන්නේ , සොඳුරු සුව අසපුවට හැමදාමත් ගොඩවදින , ඔබේ අදහස් යෝජනා සටහන් තබන ,මේ තොරතුරු බෙදා හරින ඔබ සැමට බොහොම ස්තුතියි , මේ දැනුවත් විම් යම් දවසක ඔබ රැක ගනිවි කියල හිතෙනවා ... ඒ නිසාම ඔබ දැන ගත්දේ ඔබේ මිතුරාටත් කියා දෙන්න , දැනුවත් කරන්න , ඒ සතුට විඳගන්න ...

දවසම දඟලපු අපේ කට්ටියත් දැන් නං සුව නින්දේ ? ...වැස්සත් එක්ක රෑට නම් හරිම සීතලයි ...එහෙමනම් මේකත් publish කරලා මාත් ගියා නිදාගන්නට...සුවබර දිනයක් ඔබ සැමට ..

11 comments:

  1. වැදගත් ලිපියක්. හැමදේම ඔලුවට නොගියත් කියෙව්වා.

    ආයෙත් නිදහසේ බලන්න වටිනවා..

    ReplyDelete
  2. වටිනා ලිපියක්,....

    ReplyDelete
  3. ඇත්තටම හොඳ දැනුවත් කිරීමක්..
    ටිකක් බයත් හිතුනා..!

    ReplyDelete
  4. බය හිතෙනවා අම්මෝ. සෝදිසියෙන් හිටියා නම් හොඳයි වගේ

    ReplyDelete
  5. godaa wadagath... godaak dewal igenagaththaa

    ReplyDelete
  6. ඔව් අවධානෙන් ඉන්නම් . ඔක්කොටම කලින් ශරිරයේ ලප ටික චෙක්
    කරන්න හිතුවා .
    බොහොම ස්තුති අපිව දැනුවත් කලාට .

    ReplyDelete
  7. -sAm (සෑම්) ,
    ඔව් සෑම මේ වගේ දේ , එකපාරටම ඔළුවට යයි කියල හිතන්නත් අමාරුයි , ඒත් ලැබුණූ වෙලාවක ඇවිත් කියවල දැන ගෙන යන්නකෝ ...ස්තුතියි sAm (සෑම්) ,

    -රොබින්,
    ස්තුතියි රොබින්,

    -වීපොකුර,
    පොඩි බයක් ආවත් ඒ එක්කම දැනුමකුත් ආව නම් ඒ තමයි සතුට ..
    ස්තුතියි වීපොකුර

    -Hasitha,
    ඔව් තමන් ගැනම සෝදිසියෙන් ඉන්න එක තමා හොඳ , ස්තුතියි

    -වර්ණා ,
    පැමිණීම සතුටක් ,ස්තුතියි වර්ණා

    -Gimhani,
    ඔව් අවදානමක් නොගන්න නම් අවධානයෙන් ඉන්නම ඕන ..ස්තුතියි Gimhani ..

    ReplyDelete
  8. තවත් වැදගත් ලිපියක්. ගොඩක්දෙනාට තියන අනවබෝධය නිසා මූලික අවස්ථාව මඟහැරෙනව.. ඒනිසා ලිපිය මගින් දෙන පණිවිඩය ඉතට වැදගත්..
    තව පොඩිදෙයක් කියන්නට හිතුනා මම අද මුහුණදුන් බ්ලොග් හොරකම නිසා (ඔබ නම් මේක දැනටමත් දන්නවනේ)..
    ඔබතුමාගෙ පවුලෙ අයගෙ ඡායාරූප (විශේෂයෙන් දුවලගෙ)ලිපි වල යොදනකොට ටිකක් පරිස්සම් වුනොත් හොදයි කියන එක මගේ පුද්ගලික අදහසයි. අපේ බ්ලොග් විවිධාකාර චරිත ඇත්ත්වුන් කියවනවනෙ. ඇරත් සුව අසපුවේ වගේ කාලීන ලිපියක් කොපි කරන්න පෙලබෙනව වැඩ්යි.හෙට දිනයේ මොකක් හරි වෙන බ්ලොග් එකක ඔබේ පවුලේ කෙනෙක්ගේ රූපයක් තියනව දුටුවොත් ඔබට මොනවගේ හැඟිමක් එයිද? මට වෙච්චි කටුක අත්දැකීම නිසයි මේක ලියන්න හිතුනේ

    ReplyDelete
  9. අපි නම් සුදුත් නැහැ බළල් ඇසුත් නැහැ :)

    ReplyDelete
  10. -තොටියා ,
    බොහොම ස්තුතියි ඔබතුමාටත් , ..ඔබ කී කතාව නම් ඇත්ත , ඒ ගැනත් දැන් ටිකක් හිතන්න කාළේ ...
    ඔබට සිදුවූ සිදුවීම ගැන මගෙත් කණගාටුව , මොකද මටත් දැනෙනවා ඔබට දැනෙන සංවේදී හැඟිම , ඒ අපි හැමෝම සතුටට බ්ලොග් ලියන්නන් නිසා .කෙසේ වෙතත් වෛද්‍යවරයෙක් ලෙසින් ඔබත් ඉඩක් ලද විටෙක නැවතත් එවන් ලිපි මේ සිංහල බ්ලොග් අවකාශය සරු කරන්නට එක් කරාවි යැයි සිතනවා . කෙසේ වෙතත් මේ සිංහල බ්ලොග් අවකාශයේ හොඳ මිනිසුන් , සංවේදී සිත් ඇත් “මන+උස්ස“ වූ මිනිසුන් ඇති නිසා අපි ලියමු , තව තවත් ලියමු ...අපේ සතුටටත් , අපේ මිනිසුන් වෙනුවෙනුත්.

    -මඩිස්සලේ නිශාන්,
    ඇත්තද ? ඒ වුනාම මේ පිංතූරෙ හැටියටනම් සුදු පොඩි කොළු පැටියෙක් :) ....කොක්ටත් දැනගෙන , තවත් කෙනෙක් දැනුවත් කරන්කෝ ..ස්තුතියි මඩිස්සලේ නිශාන් ..

    ReplyDelete
  11. godak de danagaththa....jayawewa..

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)