2012/06/20

107) කෙල්ලන්ටම ලෙඩ දෙන මේ පනින නටන කොපු



මේ දවස් වල සැර අව්ව , අදත් සෙල්සියස් 32ට වුනත් දැනෙන්නේ 42ක් විතර (Feels like 42) . උදේ පාන්දර ගමන එච්චර අමාරු නැතත් , හවස එන ගමන නම් ඇහැට හරිම මහන්සියක් , පොළොව රත්වෙලා එන අව් සැර මොන ප්‍රොටෙක්ටර් දැම්මත් ඇහැ කඩාගෙන යනවා වගේ . හරිම වෙහෙසක් දැනෙනව , ඒ එක්කම පිපාසයත් උපරිමයි , මේ වගේම දැඩි උශ්න කාළයක රස වින්ද 2006 විතර , ඒ කටාර් රාජ්‍යෙය් රැකියාව කරන කාළෙ , දැන් මෙහෙත් ඒ වගේමයි මන්ද ? 


....කොහොම හරි ගෙදර ඇවිත් පොඩ්ඩො දෙන්නගේ වැඩ කටයුතුත් අහවර කරල , ආයෙත් ගමනේ යාම පටන් ගන්න ඕන මනෝජව එක්ක එන්න , පොඩ්ඩො දෙන්නත් එක්කම යන ඒ ගමන එත්දි ඒ දෙන්න නම් සැපට නිදි , බොරැවට නිදිද දන්නෙත් නැහැ ,මොකද දෙන්නම හරි ආසයි වඩා ගෙන ගිහින් ඇඳනේ තියනවට ..මේ ඔක්කොම රාජකාරි ඉවර කරල , ෆේස්බුක් එක පැත්තේ , බ්ලොග් පැත්තෙත් ටිකක් කරක් ගහල නින්දට යත්දි හැමදාමත් උදේ එක හමාර පහුවෙනවා , හෙට උදේ හත වෙනකොට නැගිටින්නත් එපායැ , ...ඊයෙත් ඔය විදියටම  සැප නින්දක් බලාගෙන ඇඳට ගියා වෙනද වගේම .ගේ ඇතුල නම් සීතලයි , නිදා ගන්න පුළුවනි ඕන තරම් .


“ට්‍රීං ...ට්‍රීං ...ට්‍රී....“ ...දුරකථනය නාද වෙනවා .....“ඔන්න ඔහේ රිංග්ස් ගියපුවාවේ , ඕන කෙනෙක් නං මැසේජ් එකක් තියාවිනේ ....“ ආයේ නැගිටල එන්න නොහිතෙන තරම් නින්දක හිටිය නිසාම එහෙම හිතුන ...“ම්හ් ...කිසිම මැසේජජ් එකක් තියන පාටක් නැහැ ....ටික වෙලාවක් ගියා “ට්‍රීං ...ට්‍රීං ...ට්‍රී.... “ .....ඒ පාර නම් පොඩ්ඩා දෙන්නත් ඇහැරල , “තාත්තී .....“ පොඩිඩි කෙඳිරි ගානවා ... ඒ පාරත් කිසිම පණිවිඩයක් නැතිව ඇමතුම නැවතුනා ...ඩිංගක් නින්දට වැටුන .....ආයෙත් “ට්‍රීං ...ට්‍රීං ...ට්‍රී...., “ ..... මොන කරදරයක්ද? ..නැගිට්ට ..ආවා නෙවි විසි වුනා වගේ ෆෝන් එක ගාවට “කියන්න ඕන හොඳවැයින්ම දෙකක් ...“ “


“හෙලෝ .....“ ...
“ආ මහේෂ් මල්ලී , මේ මං කතා කළේ , එනකොට මොන සපත්තුද ගේන්න ඕන කියල අහන්න ...“ ...ළඟදි මේ පැත්තට එන්න ඉන්න මිත්‍රෙයක් ...මොකක්ද දෙන්න ඕන උත්තරේ ..!!!!


“ඕන සපත්තුවක් දාගෙන එන්න , මේ දවස් වල නං සෙරෙප්පු දෙකෙන් ආවත් කමක් නැහැ ...“ හිතට ආපු ආවේගය පාලනය කරගෙන උත්තරේ දුන්නා ...
“ මගේ වැඩ ටිකනං හරි  , වීසා ගත්තා , ටිකටුත් බුක් කරා .............“ තව මොනවදෝ කියවනවා , “ආ.....ඇත්තද ......හ්ම් .....“ වෙන මොනව කියන්නද  ?....
“අය්යා වෙන මොනව හරි දැන ගන්න ඕන නං වොයිස් මැසේජ් එකක් දාල තියන්න ...දැන් උදේ තුනයි වෙලාව , වෙන මුකුත් නෑනේ ...“ ඉන්න බැරි නිසාම කිව්වේ...
“ආ ඇත්තද මල්ලි , මෙහේ නම් ඉතින් දවල්නේ ....“ උත්තරේ එච්චරයි ..


ලංකාවෙත් කැනඩාවත් අතර පවතින් පැය දහයමාරක විතර කාළ පරතරයේ වෙනස නිසා වැඩියෙන්ම කරදර විඳින්නේ අපිද මන්ද ? මේ වැඩේ සතියට දවස් දෙක තුනක් වෙනවාමයි , ෆෝන් එකේ රිංගර් එක ඕෆ් කරල නිදාගන්න හිතා හිටියත් හැමදාම ඒක මතක් වෙන්නේ නින්දට ගියාම , 


කොහොම හරි මේ විදයට නින්ද කැඩුනට පස්සේ ආයෙත් නිදාගන්න එක හරිම අමාරුයි , මොකද ඊළඟට උදේ  පාන්දර නැඟිටින එකනේ මතකේ තියෙන්නේ , ඔය වගේ දවසට පස්සේ දවසට හරිම අමාරුයි , කියන්න දෙයක් නෙවි නේ , ඇඟ රිදෙනවා , ඔළුව කකියනවා , ඇස් රිදෙනවා , මේ දවස් වල තවත් අමාරුයි ... (ඔය වදෙන් බේරෙන්න හිතාගෙන තමයි “කැනඩාවට එන්නට මඟ“ බ්ලොග් එක පටන් ගත්තේ ...ඒකේ මේ ඕන කරන හැමදේම ටිකෙන් ටික ලියන්නයි හිතා ඉන්නේ ..එතකොටවත් මේ නිදා ගන්න ටික සැපට නිදාගන්න ලැබේවි කියල හිතාගෙන ) 


මේ කාටවත් හිත රිද්දන්න කියපු දෙයක් නෙවි ,සිදුවන දෙයක් කීවේ , මේ ටික කීවෙත් අපි හාමෝටම ටිකක් දැනගන්න , විශේෂයෙන්ම විදේශගත වෙලා ඉන්න කෙනෙක්ට කතා කරත්දි දැන් වෙලාව කීයට විතර ඇත්ද කියල ටිකක් හොයල කතා කරන්න පූළුවන් නම් වටිනවා . නැත්නං ඉතින් යක්කු ගස් නඟින වෙලාවට කෝල්ස් ආවම ...!!!!!


කොහොම හරි කමක් නැහැ ඒකෙනුත් අපේ කතාවකට එමු , අද කියන්න යන්නේ ඔන්න ඔය වගේ දවසකට පස්සේ ඇඟට දැනෙන අමාරුකම් ඔක්කොම එන  හැබැයි ඒ වගේ සරළ නොවන , ටිකක් සංකීර්ණ රෝග තත්ත්වයක් ගැන . ඒතමයි Multiple sclerosis -MS කියන්නේ , මල්ටිපල් ස්කෙරෝසිස් 


ලෙඩේ ගැන කතා කරන්න ඉස්සර වෙලා , වැඩේ ගැන කතා කරමුකෝ , ඒ කිව්වේ ලෙඩට අදාල කොටස හොඳට වැඩ කරන හැටි කතා කරල ඉමු , එතකොට තමයි ලෙඩේදි වෙන වැඩේ හැඩේට අඳුනගන්න පුළුවන් වෙන්නේ .


අපි දන්නවනේ අපේ හැම අවයවයක් , ඉන්ද්‍රියයක්ම පාලනයට වැදගත් සන්නිවේදන පද්ධතියක් තිබෙන බව , ඒ ස්නායු පද්ධතිය , (හෝමෝන පද්ධතියත් ඊට දායක වුනත් ප්‍රධාන මෙහෙයුම  කරන්නේ මොළය සහ ඊට සම්බන්ධිත ස්නායු වලින් කීවොත් වැරැද්දක් නැහැ. අපේ අත පය සමතුලිතව චලනය වෙන විදිය , ඇහැ කැරකැවෙන විදිය , කකළට මදුරුවෙක් විද්දොත් ඒ දැනෙන රිදුම මේ හැම දේම වගේ කරන්නට මැදිහත් වෙන්නේ මේ කියන ස්නායු , එයා තමයි පණිවිඩ මොළයට , අරගෙන යන්නේ නැත්නම් මොළයෙන දෙන මැසේජ් එක අදාල අවයවය වෙතට අරගෙන එන්නේ. ඒකත් හොඳ දුරකථන ජාලයක් වගේ තමයි.
මේ දුරකථන ජාලේ ක්‍රියාකාරීත්වය වේගවත් කරන්නට , මේ ස්නායු වල පණිවිඩ ගෙනියන වේගය වැඩි කරන්න ඕන .අන්න ඒ වැඩේ කරන්න තමයි ස්නායු හැදෙන පුංචි කම්බි වලට , ඒ කිව්වේ ස්නායු සෛල (නියුරෝන) වල පණිවිඩ ගෙනියන කොටස විශේෂ ආවරණයක් දාල , ෂෝට් සර්කිට් නොවෙන්න හදල තියෙන්නේ . 


මේ රෑපයේ තියෙන්නේ ඒ කිවුව ස්නායු සෛලයක් , බලන්න මෙහි කුඩේ වගේ ඔළුව (Cell body) පැත්තට ඇතුළු වන පණිවිඩයක් , ඔය නැට්ට (Axon) දිගේ ගමන් කරන හැටි තමයි ඊතල වලින් පෙන්වන්නේ , ඔය නිල් පාටට පෙන්වන කොපු තමයි මේ මයලීන් කොපු කියන්නේ , බලන්න , ඔය කොපු නිසා පණිවිඩේ පැන පැන ගිහින් බොහොම වේගෙන  මොළයට හරි අවශ්‍ය තැනට හරි ලඟාවෙනවා .අපි ඒ  ආවරණය නම් කරන්නේ නම් මේදමය Myeline sheath කියන නමින්  , මේ මයලීන් ෂීත් කියන කොපු මොළය , සුෂූම්නාව වගේ පණිවිඩ ඉක්මණින් ගමන් කරන්න ඕන හැම ස්නායු පටකයකම වගේ තිබෙනවා . හැබැයි මයලින් කොපු නැති ස්නායු සෛලත් නැතිව නොවෙයි , හැබැයි එයාලටග් වැඩ නම් හරිම හෙමින් , මොකද එයාලගේ axon තුලින් පණිවිඩ ගමන් කරන්නේ හෙමින් නිසා.


මයලීන් කොපු සහිත ස්නායු සෛලයක පණිවිඩය පැන පැන යන අයුරු


මයලීන් නැති නියුරෝනයක් 


මේ පිංතූරේ බැලුවම හිතා ගන්න පුළුවන් නේද Myelinated Axon කියන කොටසේ වේගය සහ , Non Myelinated axon එකක් අතර වේගයේ වෙනස 

දැන් පොඩ්ඩක් හරි හිතා ගන්න පුළුවන් නේ , අපේ ඇඟ ඇතුලේ සන්නිවේදන පද්ධතියක් , තිබෙන බව , ඒවයෙත් ටෙලිෆොන් කම්බි තියෙන වල  ඉන් සමහරක වේගෙන් පණිවිඩ යන අතරේ සමහරක පණිවිඩ යන්නේ හෙමින් , ඒ පනිවිඩ වේගෙන් යවන්න උදව්වෙන්නේ කම්බිය වටේ දාල තියෙන මයලින් කොපු කියන කාරණා ටික මතක තියා ගත්තම දැනට ප්‍රමාණවත් , මොකද මේක ටිකක් සංකීර්ණ , විස්තර කිරීමක් ඕන කරන මාතෘකාවක් . මේ තරමට මතක තියාගනිමුකෝ , ඊට පස්සේ බැරියැ තව ඕන නං .


හරි දැන් ලෙඩේ ..අපි මේ කතා කළ මල්ටිපල් ස්ක්ලොරිස් වලදි වෙන්නේ මොකක් හෝ හේතුවක් නිසා අර අපි කතා කළ මයලින් කොපු දියවෙලා , මැරිලා , වේලිලා යන එක . දැන් මොකද වෙන්නේ , ඔව් , ඒ ස්නායු වල ක්‍රියාකාරීත්වය දුර්වල වෙනවා , වේගේ අඩු වෙනවා , වෙනද වගේ පෙනීම , ඇසීම වගේම ඇඟේ අනිත් ක්‍රියාකාරීත්වයනුත් දුර්වල වෙන්න පටන් ගන්නවා . ඔන්න ඕක තමයි Multiple sclerosis වල කෙටි කතාව .


ඇයි මෙහෙම කොපු විනාශ වෙන්නේ ...ඇත්තම කිව්වොත් තවම මේකට හරියටම හේතුව මේකයි කියල 100% සහතික වන හේතුවක් සොයගෙන නැහැ . කොහොම වුනත් දැනට කළ පර්යේෂණ අනුව හිතන කරුණක් තමයි අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සිදුවන වැරදි වටහා ගැනීමක් , නැත්නම් වැරදි වටහා ගැනීමක් නිසා සිදුවන දෙයක් කියන එක . ඒ කිව්වේ අපේ immune system එක , මේ මයලින් කොපු , අපේ ඇඟට ඕන නැති නරක කෙනෙක් කියල වැරදියට හඳුන ගන්නවලු , එතකොට මොකද වෙන්නේ , ප්‍රතිශක්ති කරණ පද්ධතිය , ලෙඩක් හදන විෂබීජයකට පහර දෙන විදියටම මේ මයලීන් වලටත් පහර දීලා විනාශ කරල දානවා , කොහොම වුනත් මේ වැරදි හඳුනාගැනීමට තවත් හේතු ගණනාවක් දායක වෙන්න පුළුවන් බවට සැක කෙරෙනවා , ඒ අතරේ ජානමය සාධක , සමහර වෛරස වල බලපැම් වගේම තවමත් සොයා නොගත් හේතුත් දායක වෙන්න පුළුවන් බවයි කියැවෙන්නේ, 
පමා කරන කැඩුනු කොපුව 



හරි මෙහෙමු වුනාම මොකද වෙන්නේ ? ..ඔව් වෙන්නේ ඇඟ ඇතුලේ පණිවිඩ හුවමාරුව අඩාල වෙන එක , එතාකොට එක එක රෝග ලක්ෂණ එන්න පුළුවන් , ඔළුවෙ කැක්කුමක් ,ඇස් පෙනීමේ වෙනස්, අතපය පණ නැති හිරි වැටුනු ගතියක් , නැත්නම් අතපයේ කටු අනිනව වගේ දැනීමක් එක්ක පටන්  අරගෙන අතපය වාරු නැතිව ඇවිද ගන්න බැරි වෙලා , මළ මුත්‍රා පාලනය කරගන්න , කතා කරගන්න බැරිව අංශභාගෙ වගේ ඇවිත් ඉතාමත් වේදනාකාරී තත්ත්වයකට පත්වෙන්නට පුළුවන් රෝගයක් මේ . ලොකුම ව්‍යසනය වන්නේ මේ අවසනාවන්ත තත්ත්වයට ඕන ම කෙනෙක් ඕනෑම වයසකදි මුහුණ දෙන්නට පුළුවන් වුනත් අවුරුදු 20-40 අතරේ කාන්තාවන් මේ අතරින් ඉහළ අවදානමක් ඇති අයවීම . 


මේ බලන්න අවුරුදු 22 කාන්තාවක් මේ රෝග තත්ත්වයෙන් ජීවිතය ගෙවන අයුරු ..



ඊළඟ නරක ආරංචිය , තවමත් මේ තත්තවය සුව කරන්නට බෙහෙතක් නැහැ , මේ රෝගය පිළිබඳ අදටත් පර්යේෂණ කරනThe National Institute of Neurological Disorders and Stroke (NINDS) ආයතනය කියන පරිදි මේ රෝගයේ නිවැරදිම ක්‍රියාකාරීත්වය පැහැදිලි කරගන්නා තෙක් සුව කිරීමේ ඖෂධයක් සෙවිම සිහිනයක් . නමුත් මේ වන විට මේ රෝග තත්ත්වය පාලනය කර ගනිමින් , වේදනාවන් සහ ඇති වන අපහසුතා අවම කරගනිමින් යම් ජීවත් වීමට අවශ්‍ය ඖෂධ තිබෙනවා . ඒ වගේම Stem cell  transplantation කියන ප්‍රතිකාර ක්‍රමය ගැනත් මේ වෙනකොට ලොකු අවධානයක් යොමු වෙලා තිබෙන නිසා තව ටික කළකින් ප්‍රතිකාර සහිත රෝගයක් විදියට නම් කෙරෙන්නත් පුළුවන් 

ඒත් රෝගය උග්‍ර තත්ත්වයට පත්වුනාම මුලු සිරුරම අක්‍රිය කෙනෙක් විදියට තමයි ජීවත් වෙන්න වෙන්නේ , මීට වඩා මේ රෝගයේ දරුණ කම කියන්න ඕන නැහැ කියලයි හිතෙන්නේ , 


මේ රෝගෙන් වෙන හානිය අවම කරගන්න නම් කරන්න තියෙන්නේ මුලින්ම හඳුනගන්න එක තමයි , මොකද මේකත් එක්තරා විදියකින් පිළිකාවක් වගේම තමයි ,ටිකෙන් ටික ටිකෙන් ටික ස්නායු , මොළය විනාශ කරගෙන යනවා . ඒ නිසා ඇස් වල පෙනීමෙ වෙනසක් , ඒ කිව්වේ එක දෙක වෙලා වගේ පේනව නම් , හේතුවක් නැතිවම බොඳ වෙලා වගේ පේනව නම් ....( ඔය ඔය දැන් ඉතින් කළබල වෙන්න එපා , මෙහෙම වෙන්න පුළුවන් තවත් හේතු ගණනාවක් තියෙනවා) , ඒ එක්කම අතපයේ අනින පිච්චෙන වගේ දැනීම් ඇති වෙනවා නම් , ඇවිදිද්දි බැලන්ස් තැතිව වගේ , වැටෙන්න යනවා නම් , සමහර විට මල , මුත්‍රා පාලනයක් නැතිව පිට වෙන අවස්ථාවන් තිබෙනවා නම් , ගෙදර අයට දැනේවි මෙයාගේ කල්පනාවත් හොඳ නැති වේගෙන් ඇවිත් වගේ , දැන් නම් ඉක්මණින්ම වෛද්‍යවරයෙක් හමුවිම තමයි වැදගත් , 
Multiple Sclerosis - MS
රෝග ලක්ෂණ තොරණ 

දැන් ගිය පමනින්ම ඔබ MS රෝගියෙක් කියල කියන එකක් නැහැ , එකක් මේ ලක්ෂණ තවත් රෝග ගණනාවකට එන්න පුළුවන් විම , දෙක මේ MS රෝගයමයි කියල තීරණය කරන්නට තවත් පරික්ෂණ ගනනාවක් කරන්නට වීම , මේ අතරේ ඔබේ ස්නායු ක්‍රියාකාරීත්වය මනින පරික්ෂණ , MRI වගේ ක්‍රම මඟින් ඔබේ මොළය සහ එහි පටක වල වූ වෙනසක් කම් හඳුනාගැනීම , සමහර විට කොඳු ඇට අතරින් පුංචි කටුවක් යවල , ලබා ගන්න තරලය Lumbar puncture පරික්ෂාවට ලක් කිරීම , ඔබේ ඇස් පරික්ෂාව වගේ කාරණා ගණනාවක් කරන්නට වේවි . 


ඒ සියල්ල අවසානයේ රෝගය  MS කියල නම් කළොත් දැන් එන ගමන් ජිවිතේ නැති කරගන්න හදන්න එපා , මොකද දැන් කරන්න තියෙන්නේ නැවත නැවත මේ රෝගය උත්සන්න වෙමින් ස්නායු කාදමන එක නවත්තන එක් ,ඒකට ලබා දෙන ඖෂධ වගේම ලබා දෙන සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන එකත් හරිම වැදගත්. මොකද වැඩේ තව දුරටත් වැරදුනොත් වෙන දේ ......ආයෙත් කියන්න ඕන නැහැනේ , කොහොම වෙතත් මේ රෝගය පාළනය කරගෙන ජීවත් වන සෑහෙන පිරිසක් ලෝකෙ පුරා ඉන්න බවත් අන්තිමටම හරි කියන්න ඕන .




වැදගත්ම කරුනක් අන්තිමට කියන්න තියෙනව, පවුලේ කෙනෙක් MS කියල හඳුනගත්තොත් , ඒ කෙනා වෙනුවෙන් අන් අයගේ සහයෝගය හුඟක් වැදගත් , ඔහුගේ නැත්නම් ඇයගේ මානසික තත්ත්වය හොඳින් පවත්වා ගැනීමේ ඉඳලා සමහර විට රෝගය උත්සන්න මට්ටමකදි සියළු වැඩ කටයුතු කර දෙමින් ජීවත් වන්නට සහය දීමේ වැඩි වගකීමක් එන්නේ පවුලේ අයට කිව්වොත් වැරදි නැහැ ,මොකද මේ තත්ත්වයේදි රෝහලේ රැදී ඉන්න සීමාව අඩුයි , බොහෝ වෙලාවට රෝගියාට වෛද්‍ය අධීක්ෂණය , සහ උපදෙස් යටතේ නිවසේ රැඳී ඉන්න පුළුවන් (විශේෂීත අවස්ථාවල පමණයි රෝහල් ප්‍රතිකාර , දැඩි සත්කාර අවශ්‍ය වෙන්නේ )  , මේ හැමෝගෙම නිසි උපකාරය සහ අවධානය ලැබුනොත් MS තිබුනත් අවුරුදු විස්සක් තිහක් ජීවත් වෙන්න බැරි කමක් නැහැ . 


එහෙම නම් ටිකක් වෙනස් ලෙඩක් ගැන කතා කරල දැන් නම් නිදාගන්න යන්නයි හදන්නේ , අද රෑටත් ලෙඩක් නොවැටී නිදා ගන්න ලැබුනොත් ලොකු දෙයක් .... ඔබට සුවබර දිනයක් ...


යන්න ඉස්සර මේ වීඩියෝවත් බලලම යන්නකෝ  ..





මෙන්න මේ විඩියෝවත් බලල ටිකක් බය වෙන්නකෝ ..

19 comments:

  1. ම්ම්ම්..සෑහෙන වටිනවා...

    ReplyDelete
  2. බය වෙන එවුව නම් බැලුවේ නැහැ.. මන් මේ හිතන්නේ අපේ ලෝකේ බලවත් රටවල් යුද්ද වලට විනාස කරන සම්පත් පර්යේෂණ වලට වියදම කරනවා නම් හොඳ කල නොහැකි කියා ලෙඩක් නැතිවේවි නේද කියලා.

    ReplyDelete
  3. ජීවිතේටවත් අහලා නැති ලෙඩක් හම්මේ බයත් හිතෙනවා මේ වගේ දේවල් වලට.

    ReplyDelete
  4. හොද පොස්ට් එකක්. .ඔබතුමාගේ හැම පොස්ට් එකම වටිනවා.. මේ වගේ දැනුමක් ලබා ගන්න පුලුවන් නම් ගොඩක් දේවල් ඉක්ම්නට වලක්වා ගන්න පුලුවන්...

    ReplyDelete
  5. වෙනදාවගේම වටිනා ලිපියක්..නොදන්නා රෝග කියක්නම් තියෙනවද....තව පොඩි ඉල්ලීමක්..හැකිනම් root canal ඒ ගැනත් ලිපියක් ලියනවද?

    ReplyDelete
  6. ඇත්තටම බය හිතුනා වීඩියෝ ටික බැලුවාම නම්..
    ස්තුතියි ගොඩක් වෙනදා වගේම

    ReplyDelete
  7. සාපෙට කියාදීපු විද්‍යාව පාඩම මතක් වුනා. ඒකෙදිත් ස්නායු ගැන කලා වගේ මතකයි. වටින විස්තරයක් ඔබෙන් දැනගත්තේ

    ReplyDelete
  8. මේ තත්වයට පත් උන ලෙඩ්ඩු මම දැකල තියනවා .හරිම අසරණ වෙනවා පවුලේ අය මේ තත්වය තේරුම් නොගත්තොත් .

    ඉතා හොද ලිපියක් .
    ජය !

    ReplyDelete
  9. -තරුවා ,
    ස්තුතියි ඔබේ පැමිණිමම සතුටක් .

    -සරත් ලංකාප්‍රිය,
    ඇත්තෙන්ම එය වෙනවා නම් ලෝකේ මොන තරම් සුන්දර වේද ? ....ස්තුතියි ඔබටත් ..

    -මඩිස්සලේ නිශාන්,
    තවත් නොඇසූ ලෙඩ ගොඩාක් තිබෙනවා , ටිකෙන් ටික දැන ගනිමු නේද ? ...ස්තුතියි ඔබට

    -නිම්ශා,
    ඔව් නිම්ශා , වලක්වා ගැනීමයි වඩා වැදගත් , ඒත් අපේ බොහෝ දෙනා ඒ ගැන උනන්දුවට වඩා උනන්දු වන්නේ ලෙඩ වුනාම බෙහෙත් ගන්නනේ , අපි බලමු උත්සාහ කරලා මේ දනුම ටික දෙනෙක් අතරේ හරි බෙදා දෙන්නට ..ස්තුතියි ඔබට

    -මුදී ,
    ඇත්තෙන්ම , ඔව් ඉදිරි ලිපියකදි ඒගැනත් කතා කරන්නම්  බොහොම ස්තුතියි සරු අදහසක් එක් කළාට .

    -Hasitha ,
    ඔව් Hasitha ,සාමාන්‍ය පෙළට කරන තරමේ සරළ විස්තරයක් තමයි මෙතැනත් කළේ ..ඒ දේවල් දැන ගත්තම තමයි නියම රස . ස්තුතියි

    -Gimhani ,
    ඔව් මේ අවස්ථාවේ පවුලේ සාමාජිකයන්ගේ කැප වීම හරිම වැදගත් . ස්තුතියි ඔබටත් .

    ReplyDelete
  10. he he blog eka liyala shape wenna neda yanne...inna hamadama cal karala oyalawa aharawanawa..ara canadawata enna maga blog eka nm paatta digatama liyanna gud luck

    ReplyDelete
  11. aluth deyak gana danagaththa..thanks

    ReplyDelete
  12. ඇත්තටම බය හිතෙනවා

    ReplyDelete
  13. House MD tv series එකේ නිතරම කියැවෙන MS කියන ලෙඩේ හරි විස්තරේ දැනගත්තේ අදයි ඕන් ...

    බොහොම ස්තුති.

    තවත් දෙයක් අහන්න හිතුනා.
    සමහර වෙලාවට මදුරුවෙක් ලාවට කෑවහම හෝ කූඹියෙක් අපේ ඇඟේ කොහෙ හරි ඇවිදගෙන යද්දි, අදාල නියම ස්ථානය එක් වරම හොයාගන්න බැරිව යන්නෙත් මේ වගේ ස්නායු short circuit වීම හා සම්බන්ධ ප්‍රශ්නයක්ද? අත්, කකුල්, පිට හැම තැනම තදින් අතගාගෙන ගියහම තමයි spot එක හරියටම click වෙන්නේ. මුලින්ම කකුල කියල හිතාගෙන කකුල කසන්න ගත්තට එතන නෙමෙයි තැන ...

    ReplyDelete
  14. -Anonymous,
    ස්තුතියි ඔබට .

    -king Ramsis ,
    ඔබේ පැමිණිම සතුටක්..

    -Loku John ,
    ස්තුතියි Loku John ,

    -Admiral,
    ස්තුතියි , මේ නම් MS තත්ත්වයදැයි හරියටම කියන්නට බැහැ , මොකද ඔවැනි සිදුවිම් සාමාන්‍ය නිරෝගී තත්ත්වයේදි පවා යම් අවස්ථාවල වන්නට පුළුවන් , ඒත් දිගින් දිගටම මෙය පවතීනම් නිසි වෛද්‍ය උපදෙසක් සහ පරික්ෂාවක් කරවා ගැනීම තමයි සුදුසුම ..

    ReplyDelete
  15. කියවන්න හිතෙන විදියට ඉතාම සරලව ලියලා තියනවා. දාපු වීඩියෝ ටිකත් ගොඩාක්ම වටිනවා..

    ReplyDelete
  16. -තොටියා,
    ස්තුතියි තොටියානනි , ඔබ වන සොඳුරු සිත් ඇති වෛද්‍යවරයෙකුගේත් ඇස් බැල්ම ලබන්නට සොඳුරු සුව අසපුව වාසනාවන්ත වීම ගැන තුටු වෙමි .

    ReplyDelete
  17. කොච්චර දැනං උන්නත් සිංහලෙන් කියවනවා වගේ නෑ!

    ReplyDelete
  18. -Sabith ,
    ඒකනං ඇත්ත , බොහොම ස්තුතියි සබිත් මල්ලි

    ReplyDelete
  19. Ela..... Ela kiri........ Chalaka niurona gana bio walata igannuwa.... :-).... Thanks

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)