2012/06/24

108) රහස් කියල “කැසිල්ලක්“

අද කොහේවත් යන්නේ නැහැ කියල “දැඩි තීරණයක් ගත්ත“ , මේ දවස් ටිකේම මගම වගේනේ. නිවාඩු දවස නිසා ටිකක් පරක්කු වෙලා තමයි නැගිට්ටේ . ඒ වෙනකොට මනෝජ නම් අවදි වෙලා උදේ කෑමත් හදල . 




“ඈ ....කීයටද අවදි වුනේ , දැන් වගේනේ alarm  එක වැදුනේ ...“ 
“හ්ම් එලාම් එකනං හරියටම හතට වැදුන , මාත් ටිකක් ඉඳළ ආවේ , එද කළබලයක් නැහැනේ ...,“ තේ එක අරගෙන එන ගමන්ම කීව . මං දවස පටන් ගන්නේ හැමදාම කරන රාජකාරියෙන් , ඒ කිව්වෙ අන්තර්ජාලේට රිංගීමෙන්නේ . 

අද ඉතින් අපේ ලොන්ඩ්‍රි කරන දවස නිසා “යුද්දේ පටන් ගත්තා“ මනෝජ රෙදි පාට වර්ගේ අනුව කොටස් කර කර මැෂිමට දානවා ....මම ඩ්‍රයර් වෙන රෙදි ටික ඇඳට ගිහින් දාල හතර දෙනාගේ වර්ග කිරීමේ කාරිය කළා..

“ තාත්තේ ....මට දෙනවද මේ ෂීට් එකයි , අපේ රෙද්දයි ....“ ...පොඩී මා ගාවට එනකං දැක්කේ නෑ ..
“මොකක් කරන්නද ? නවන්නද හදන්නේ මේක ...“ 
“නෑ ..සෙල්ලං ගෙයක් දාන්න හදන්නේ , අක්ක පුටු හදල තියෙන්නෙ වහල හදා ගන්න ඕන ...“ පොඩි බොහොම හෙමින් උත්තර දෙනවා , 

කොහොම හරි යාප්පුවෙන් , දැන් හෝදපු රෙදි දෙක තුනක් කරගහගෙන පොඩී ගියා . “බලාගෙන ඔය රෙදි  හොඳටම රත්වෙලා , ඇඟේ ඔතාගෙන යන්න එපා .... බොත්තම් එහෙම තිබුණොත් තරු පෙනේවි “  , ඩ්‍රයර් එකෙන් මේ දැන් බාපු රෙදි වල පිච්චෙන තරම් රස්නෙ , සමහර වෙලාවට ඒ ඇඳුම් වල බොත්තමක් එහෙම තිබුණොත් පිච්චෙනවාම තමයි .

මගේ වර්ගී කරණකාරියෙන් පස්සේ , ආයෙත් පරිගණකේ ඉස්සරහට ගියා ,මනෝජ දවසේ කෑම හදනවා , ඒ අතරේ දෙන්න එක්ක “සෙල්ලම් ගේ “ හදල , මුර කාරයෙකුත් දාගෙන කතා කියවනවා ...

අපේ දෙන්නගේ සෙල්ලං ගේ ..
ටික වෙලාවක් ගියා හොඳට තිබුණු ගේ මෙන්න වහල හෙලවෙනවා , එහෙට මෙහෙට පැද්දෙනවා .(සෙල්ලං ගේ වහල) ..
“මොකද වහල හෙලවෙන්නේ .....“
“මේ බලන්න අම්මේ , නංගී දඟළනවා ...“
“නෑ අම්මේ මගේ කකුළ කහනනවා ..ඒකයි ...“ පොඩිඩිට පොඩි කරදරයක් වගේ ...

අම්ම හදිසි සේවාව සපයන්න පොඩ්ඩි ගාවට ගියා , 
“මේ....ඇඟ හෝදළ ක්‍රීම් ගෑවෙ නෑ නේද  ? ඔක්කොම වේලිලා ...ඔය තියෙන්නේ සුදු පාටටම ඉරි ගහල වගේ ..“ සෑහෙන සොයා බැලීමකින් පස්සේ බබාගේ අම්මගේ සොයාගැනීම වුනේ කැසිමට හේතුව සමේ වියලීම කියල ...වෙන්නත් ඇති ..මොකද මදුරු මැසි ප්‍රශ්නයකුත් නැති නිසා වගේම අපේ පොඩ්ඩිට උදේට ක්‍රීම් ගාන්න අමතක වෙන නිසාත් ඒක වෙන්න ඇති හේතුව .....

කොහොම හරි අද දවසත් ගෙවිලා යන්න පැය දෙකක් තියෙත්දි “සොඳුරු සුව අසපුවටත්“ ලිපියක් එක් කරන්ට හිතුවා , එහෙම කීවේ මේ වෙනකොට “කැනඩාවට එන්නට මඟට“ අද ලිපියක් එක් කළා , ඒ විතරක් නෙවි ඕන කරන ගැජට් ගණනාවකුත් එක් කළා , කැමැත්තෝ ඒ පැත්තේ ගිහින් යමක් අරගත්තොත් ඒක සතුටක් . ඒ වගේම සංක්‍රමණය පිලිබද තවත් තොරතුරු එක් කරන්න කැමැත්තෝ සිටී නම් ඊට දායක වෙන්න පුළුවන් , රට යන්න ආසාව තියෙන  ,ඒත් ඒගැන තොරතුරක් සිංහලෙන් සොයා ගන්න අපහසු තත්ත්වයක් ඇති නිසා , ඒ වෙනුවෙන් දරන පුංචි උත්සාහයක් ඒක . 

එහෙම නම් අද ලිපිය මොකක් ගැනද ? ...කැසිල්ල ...කැසිල්ල ගැන ..මේක නිකංම කැසිල්ල උනාට ඒ ගැන හුඟක් දේ හිතන්න , දැන ගන්න , සසහ පරිස්සම් වෙන්න තිබෙනවා , ඒ නිසා නිකං කැසිල්ල කියල නොසලකා නොහැර ඉතිරි විනාඩි කිහිපය ලිපියේ ඉදිරියට ගියොත් කවද හරි කැසිල්ලෙන් කියන දේ හරියට තේරුම් ගන්න පුළුවන් වේවි .
අපිට කසන්නෝ ..

අපි වෙනද වගේම කැසිල්ලට අදාල ජීව විද්‍යාත්මක කරුණු ටිකක් කතා කරලම වැඩි කතාවට යමු . කෙටිම කතාව මෙහෙමයි , අපේ හමේ බාහිර කොටසට කිට්ටු වෙන්න , නිදහස් ස්නායු අග්‍ර Free nerve endings කියන සංවේදි කොටස් පිහිටල තිබෙනවා , ඒ මඟින් තමයි අපිට රස්නේ , උණුසුම , කෙතිත්තිලි වගේ සංවේදන හඳුගන්න උදව්වෙන්නේ. 

හැබැයි එහෙම නොවෙන යම් හේතුවක් නිසා මේ කොටස් උත්තේජනය වීම නිසා මේ කැසිල්ල ඇති වෙනව කියල තමයි දැනට හඳුනාගෙන තිබෙන්නේ . එහෙම කිව්වේ මේ කැස්සල ගැන , කැසිල්ලට අදාල ස්නායු ක්‍රියාකාරීත්වය ගැන තවමත් විවිධ පර්යේෂණ සිදුවෙනවා . දැනට ඉහළින්ම පිළිගන්නා හේතු සාධකය තමයි මේ ස්නායු අග්‍ර “හිස්ටැමින් “ කියන රසායනිකය නිසා උත්තේජනය වීමෙන් මේ කැසිල්ල හට ගන්නාබව . දැන් අහයි කවුද ඉතින් මේ හිස්ටැමින් හමට දෙන්නේ කියල . ඔව් , හිස්ටැමින් හදන්නෙත් ඔය කිට්ටුවම , හම ආශ්‍රිතව ඉන්න එක්තරා සුදු රුධීරාණූ වර්ගයක් මඟින් .(අපි ඒවට කියන්නේ නම් Mast cell කියල) . 

කැසිල්ලේ බර 
මදුරුවෙක් වගේ සතෙක් විදල හමට ඇතුළු කරන රසායනිකයක් නිසා හරි ,එහෙම තැන්නම් කටුවක් ඇනෙත්දි සිදුවන උත්තේජනය වීමක් නිසා හරි ඔය කියන සෛල හිස්ටැමින් කියන රසායනිකය විදිනවා , මේ හිස්ටැමින් හරි වැදගත් , මොකද ඒව වැදුනු ගමන් ලේ නහර පළල් වෙලා , ඒ තුවාල වුනු තැනට ඉක්මණින් සුදු රුධිරාණු වගේ සටන් කාරයෝ එක්කර ගෙන ඇවිත් අපිට ලෙඩක් නොවැටී ඉන්න උදව් කරනවා . ඒ වගේම සමහර වෙලාවට අර ඇලර්ජි වලදි නැත්නම් අසාත්මිකතාවයේදි අපිව මරණයට ගෙනියන්න පුළුවන් තරමේ කරදරයක් කරන්නත් මේ හිස්ටැමීන් කියන රසායනිකය උදව්වෙනවා. 

හරි දැන් කතාව කෙටියෙන් කියමුකෝ , යම් හේතුවක් නිසා “හිස්ටැමින්“ ඇවිත් හමේ තියෙන Free nerve endings  උත්තේජනය කළාම එතැන ඇතිවෙනවා කැසීමේ අවශ්‍යතාවයක් , ඒ කිව්වේ “මෙතන කහන්න කහන්න ..කියන “ පණිවිඩේ මොළයට දිගින් දිගටම යවනවා . අපි දැනි ඉතින් තියෙන දහිරිය දාල ඔතන කසල කොට ඒ මොළයට යන පණිවිඩේ ගමන් වේගය බාල විමත් , අර හිස්ටැමින් කියන කෙනා එතැනින් ටිකක් එහා මෙහා වීමත් නිසා , හොඳට කසල ඉවර වුනාට පස්සේ “කැසිල්ලේ අවශ්‍යතාවය“  අඩුවෙනව කියලයි දැනට පර්යේෂණාත්මකව ඔප්පු කරල තියෙන්නේ , ඒත් මේ කැසිල්ලත් එක්ක පැටළුනු වේදනාව වගේ හැඟීම ගැන තවමත් පර්යේෂකයෝ හරි උත්තරයක් හොයාගෙන නැහැ , තවමත් එයාල “කහ කහම“ ඒ ගැන හොයනවලු. 

හරි ඒ කතා කළේ කැසිල්ලේ ජීව විද්‍යාත්මක පැත්ත , කතා කළ යුතු තරමින් . හැබැයි කැසිල්ලේ ස්නායු සම්ප්‍රේශක වල ක්‍රියාකාරීත්වය ගැන හරි ලස්සන , වැල් කතා කියන්න පුළුවන් , මොකද ඒ හැම දෙයක්ම එකි නෙකට සම්බන්ධ රටාවක් ඇති සිදුවීම් , ඒත් ඔය ඔක්කොම මක්කටෙයි ..කසා ගන්න තිබුනම මදෑ නේද ?

දැන් අපි ටිකක් කතා කරමු කැසිල්ල ඇති කරවන හේතු කිහිපයක් ගැන ,සමේ වියළීමත් එක්ක ඒ සෛල ස්ථර වල සිදුවන පැළීම් කැඩීම් නිසා සිදුවන ප්‍රදාහයන් නිසා වගේම  අපි මීට පෙර කතා කළ සොරයිසිස් වගේ හමේ ප්‍රදාහයන් ඇති කරන රෝග තත්ත්ව නිසාත් , සරළම දේ අපි ඔය කතා කළ විදියේ අසාත්මිකතාවන් Allergies , සමහර විට මයිටාවෙක් ගේ මළ පහ ගෑවීම නිසා වෙන්න පුළුවන් (ඔන්න ආයෙත් මයිටාවෙක් ගැන දඟළනව කියල ආරංචියි , ඒ සමහර පුවත් පත් ලිපි දැක්කම එක වෙලාවකට හිනහත් යනවා , හැබැයි වෛද්‍යතාක්ෂණය දියුණු රටවල ඔය මයිටාවන් අතෑරල දාල , ජාන වෙනස් කළ හැකි වෛරස ගැනයි හොයන්නේ , මොකද අද ලොකුම සෞඛ්‍ය තර්ජනයක් වෙන පිළිකා , මොළවේ සෛල විනාශ වන ඇල්සයිමර් වැනි  දේවල් වලට ජානවල සිදුවන වෙනස් වීමක් හේතු වෙනවාද , ඒ සඳහා යම් හඳුනානොගත් වෛරස් වල යම් බලපෑමක් තිබේද කියල දැන් පර්යේෂකයෝ සොයන්න පෙළඹිලා තියෙනවා .) ඒහෙම නැත්නම් මදුරුවෙක් , වගේ සතෙක් විදල හමට ඇතුළු කළ රසායනිකයකට විරුද්ධව වෙන්නත් පුළුවන් , සමහර විට ගුද මාර්ගෙන් එළියට ආපු පණු අම්ම දාන බිත්තර වල එළියේ ගැවිල තියෙන රසායනික දියරයට නිසා ඇති වුනු තත්ත්වයක් වෙන්නත් පුළුවන් . ඔය වගේ පොදු කාරණා බොහොමයක් තිබෙනවා කැසිල්ලට . ...... මේව ඉතින් කියන්න දේවල්ද ? ....දැන් අපි පහලට බහිමු , ඒ කිව්වේ තව ටිකක් සංකීර්ණ කාරණා නිසාත් කැසිල්ල ඇති වෙන්නට පුළුවන් . මේ ගැන තමයි දැන ගන්නම ඕන ..

පරිස්සම් කරගන්න 
මුලින්ම කියමුකෝ අපිට ළඟම දේ , ඔයාල දන්නවනේ දියවැඩියාව ගැන , මේ දියවැඩියාව තියෙන අයටත් හැම තිස්සෙම කැසීමේ අවශ්‍යතාවය ඇතිවෙනවා , දැනෙනවා හම කසන්න ඕන වගේ , හැබැයි ඉතින් ඔය කැසිල්ලක් කසන වෙලාවට නියපොතු වලට හීරුනොත් , ඒකම ඇති මහ තුවාලයක් හැදෙන්න ,  ඒ නිසාම තමයි දියවැඩියා රෝගීන්ගේ “පාද සත්කාරය“ Foot care ගැන අවධානය ඉහළින් තබා ගන්නට ඕන , ඒ වගේම නියපොතු පරිස්සමට කොටට ල තියාගන්නට ඕන . (මේ ගැන ලිපියක් සුන්දර කකුලට ගින්දර දෙන්න එපා කියන මාතෘකාවෙන් ඇති වෙලාවක් ඇතොත් ගිහින් බලන්න  , මෙන්න මෙතැන ක්ලික් කරල යන්නත් පුළුවන්)  හැබැයි දියවැඩියාවෙදි මේ කැසිල්ල ඇතිවෙන හරිම හේතුවත් කියන්න අමාරුයි  ,ඒත් දියවැඩියාවේ අතුරු පහර දීමක් විදියට ස්නායු වලට සිදුවන පහර දීමේ ප්‍රතිපලයක් විදියට මේ ඩයබිටික් කැසිල්ල ඇති වෙනවා කියන එක තමයි දැනට පිළිගන්නේ , ඒ එක්කම ඒ අයගේ ඇඟේ වතුර ප්‍රමාණය අඩුවීමත් , අනෙක් පද්ධති වල සිදුවන වෙනස් ක්‍රියාවනුත් මීට හේතු වෙන්න පුළුවන් බව කියැවෙනවා .  ඔය කිව්වේ එහෙනම් ඩයබිටික් කැසිල්ල ගැන .

හොඳයි ඒ කැසිල්ලෙන් පස්සේ , තයිරොයිඩ් කැසිල්ල ....ඒ කියන්නේ ඔය උගුරෙ හරියේ තියෙන ආදම්ගේ ඇපල් ගෙඩියේ ඇති වන විවිධ රෝග නිසාත් මේ කැසිල්ල ඇති කරවන්නට පුළුවන් .ඔන්න දැන් ඉතින් එකපාරක් කැහුව කියල ගෙදර යන ගමන් දොස්තර මහත්තය හොයාගෙන දුවන්න එපා ඇපල් ගෙඩිය බලව ගන්න . තමන්ට තේරුම් ගන්න පුළුවන් නේ තමන්ගේ කැසිල්ල ගැන , අසාමාන්‍ය , නිරන්තරයෙන් ඇති වන ඒ වගේම බාහිරින් හේතු සාධයක් හොයා ගන්න බැරි තත්ත්වයක් ආවොත් නොසලකා හරින්නේ නැතිව කස කසාම දොස්තර මහත්තය ගාවට යන්න . 

ඊළඟට ලේ වලට යමු , ලේ වල සිදුවන වෙනස් කම් ගනනාවකදි මේ කැසිල්ලේ ලෙඩේ පෙන්වන්න පුළුවන් විශේෂයෙන්ම ලේ වල යකඩ අඩු තත්ත්වයක් (අපි යකඩ ඌණතා නිරක්තිය කියල කියන්නේ) වගේ ඇති වීම නිසාත් මේ අහේතුක කැසිල්ල ඇති කරවන්නට පුළුවන් , ඒ වගේම ඔබ දන්නවද Polycythemia rubra vera කියන ටිකක්  ලේ වල ඇති වන කරදරකාර ලෙඩේදිත් කැසිල්ල පටන් ගන්නවා , 

සැපට බීමේ අන්තිම සංදර්ශනේ 
වැඩේ ලේසි නෑ වගේ නේද , දැන් ඉතින් කස කසා ඉන්නේ නැතිව ඉතිරි ටිකත් කියවමු බලන්න  , ඊළඟ දේ තමයි ඔය පිත්තාශෙ ප්‍රශ්න එක්ක එක කැසිල්ල , එ කිව්වේ පිත්තාශෙ ගල් (මතකයිනේ අර ගාල්ලේ රතු ගල ) නිසා සිදුවන අවහිර වීමක් නිසාත් මේ හමේ කැසිල්ලට එන්නට පුළුවන් , ආ ඒ එක්කම කියන්න ඕන අක්මාව එක්ක සම්බන්ධ ලෙඩ වලදිත් , සෙංගමාලය , හෙපටයිටිස් බී කියන ඒඩ්ස් වගේම කරදරකාර ලෙඩේ ..මෙන්න මේවගේදිත් ඔය ප්‍රීති කැසිල්ල ඇති වෙන්න පූළුවන් . තව එකක් අර හොඳට බොන්න පුළුවන් අයට , එක කාළෙකදි මරණ සහතිකේ දෙන්න ඉස්සර පොඩි සංදර්ශනයක් තියෙනවානේ , දන්නවද , බඩ ඉදිමිලා ,කකුල් ඉදිමිලා , මළ පහ එක්ක ලේ , නැත්නම් ලේ වමනේ දාගෙන විඳවන සංදර්ශනය , ආන්න ඒ (Alcoholic cirrhosis) සිරෝසිස් තත්ත්වයේදිත් මේ කැසිල්ල එන්නට පුළුවන් . බඩ ලොකු වෙලා කීවම මතක් වුනා තව එකක් දැන් ඉතින් මේක කියනව බඩ දරු අම්මල ඉන්නව නම් බයේ පැටියව බය කරන්න එපා , ඔය බඩ දරු අම්මලගේ ඇඟේ සිදුවන හොමෝන වෙනස්කම් ගණනාවක් සහ තවත් පොඩි පොඩි වෙනස්කම් කිහිපයක් නිසා බඩ දරු අම්මලගේ කැසිල්ල එන්න පුළුවන් , ඒකට බය වෙන්න එපා , හොඳ බීල වතුර ජාති විවේකෙන් ඉන්න , කොකටත් නියපොතු ටික නම් කපා ගෙන ඉන්නම ඕන .

ඔන්න දැන් බය ආටානාටිය කියන්න හදන්නේ , ටිකක් බය වුනත් කමක් නැහැ , හැබැයි දැන ගන්නම ඕන කරුණූ ටිකක් මේ , ඔබ දන්නවාද සමහර පිළිකාවල මුල් ලක්ෂණයක් විදියටත් මේ කැසිල්ල හඳුනගන්නට පුළුවන් , විශේෂයෙන්ම ලේ ආශ්‍රිත පිළීකාවලදි කැසිල්ල පොදු ලක්ෂණයක් . විතරක් නොවෙයි කාන්තාවගේ ගැබ් ගෙල පිළිකා වලදිත් හමේ පිළිකා ( ආදර කළු කෙල්ලෝ ලිපියට මෙතැනින් යන්න  )
 වලදිත් මේ අද්භූත කැසිල්ල ඇති වන්නට පුළුවන් , සමහර විට මේ රෝග වල මුල්ම ලක්ෂණය වන්නටත් පුළුවන් , ඒ නිසා කැසිල්ල ගැන ටිකක් අවධානය යොමු කළොත් වෙන්නට තිබෙන අනතුරක් කළින්ම වලක්වා ගන්නටත් පුළුවන් වේවි .

 දැන් ඉතින් මගේ ඇහැ තමා කසන්නේ , මොකද නිදි මතක් එන්න වගේ හදනවා , අපි කැසිල්ල ගැන ඇත තරමට කතා කළ මං හිතන්නේ , විශ්ෂයෙන්ම කැසිල්ලට සම්බන්ධ වෙන ලෙඩ ගැන .

එහෙම නම් අදට මගේ කතාව මෙයින් අවසානයි කියවු ඔබ සැමට ස්තුතියි , අපි යනවා නිදා ගන්න , හෙට උදේ පාන්දරම ගමනේ යා ...පටන් ගන්න හිතාගෙන ..එසේ නම් සුව සතුට පිරි දිනයක් ඔබ සැමටම ..

23 comments:

  1. නිතරම වගේ හැදෙන ලෙඩක්නෙ. හුගක් වැදගත්. ස්තුතියි ...

    ReplyDelete
  2. කසන එක වුණත් සෙල්ලම් නෙමේ වගේ. බොහොම ස්තුතියි බය හිතෙන්න වුණත් වැදගත් කරුණු ටිකක් කිව්වාට

    ReplyDelete
  3. කාටහරි මඩක් ගහන්න නැතිවෙද්දිත් මට නිකං කසනව කසනව වගේ

    ReplyDelete
  4. කැසිල්ල ගැනත් ඔන්න දැනගත්තා.
    සුතුතියි

    ReplyDelete
  5. හොද ලිපියක්.. නොදන්නා කරුණු ගොඩක් දැන ගත්තා..

    ReplyDelete
  6. කැසිල්ලක් ආවහම කහලා සනීපෙට අමතක කරන අපිට මේ ලිපියෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා හැමදාම වගේ..

    ReplyDelete
  7. ඇති යාන්තං ඒ ලෙඩේ ගැනත් දැනගත්තා. මේවගේ සෞඛ්‍ය තොරතුරු ඉදිරිපත් කරන ක්‍රමයත් හොඳයි හොඳ ආරම්භයක් දුන්නාම කියවන්න කම්මැලි නැහැ

    ReplyDelete
  8. ආයිත් කියවල ඔලුවට දාගන්න ඕන..!

    ReplyDelete
  9. -w.nishantha,
    ඔව් නිතරම වෙන්නට පුළුවන් ඒත් අපි ගනන් නොගන්නම ලක්ෂණයක් මේක . ස්තුතියි ඔබට.

    -Hasitha ,
    ඇත්ත , කැසිල්ල ගැන පවා දැන ගන්නදේ බොහොමයි ..ඔබේ පැමිණීම සතුටක් .

    -ඕනමැන්ටල්,
    ඒක නං ටිකක් වෙනස් ලෙඩක් වගේ :) ස්තුතියි මල්ලී ..

    -Gimhani ,
    ස්තුතියි ඔබටත් , ඔබේ පැමිණීම සතුටක් .

    -මල්සරා @ ≈ මගේ ජීවිතය ≈ ,
    ස්තුතියි ඔබටත්.

    -Weni ,
    ස්තුතියි ඔබටත් , ඔබේ පැමිණීමම සතුටක් .

    -දයානන්ද රත්නායක ,
    ඇත්තෙන්ම , මේ වගේ විෂයානුබද්ධ තොරතුරු විභාගෙට හැරුණූ කොට “පාඩම් කරන්නට “ අකමැති බොහෝ දෙනා ඉන්න බව දැනුනු නිසා තමයි ඔය පොඩි කතාවකුත් එක්කම අස්සට රිංගවලා අවශ්‍යම කරුණු ටිකක් ලියන්නේ , එය කෙතරම් සාර්ථකද යන්න හඳුනාගත් හැක්කේ ඔබ වන් පාඨක පිරිසටම පමණයි ..ස්තුතියි ඔබේ පැමිණිමම සතුටක් .

    -වීපොකුර,
    ඔව් වෙලාවක් තිබේ නම් ඔළු කස කසා හරි කියවල ඔළුවට දාගන්න , ස්තුතියි ඔබට

    ReplyDelete
  10. මෙන්න අපි හැමෝටම පොදු ලෙඩක්.. බුදු හාමුදුරුවෝ ලවුකික සැප සමාන කලේ කැසිල්ලකට. කසනකොට සැපයි.. කසල ඉවර උනාම වේදනාව වැඩියි.. !!

    ReplyDelete
  11. නිවාඩු පාඩුවේ කියවන්න ඕන මේ ලිපි ඔක්කෝම ටික . .

    ReplyDelete
  12. when i see the topic i thought its about scabies. good mahesh . keep it up.

    ReplyDelete
  13. -සරත් ලංකාප්‍රිය ,
    ඔව් , ඒ වේදනාව දෙන සැප , හරියට හඳුනා නොගැනීමම නෙව වරද නේද ?
    ස්තුතියි ඔබට.

    -දුකා ,
    විවේකයක් ලද විටෙක ආයෙත් එන්න  බොහොම ස්තුතියි ඔබට

    -dr kamalani,
    Yes dr kamalani , When I choose a title , I always try to find topic with indirect meaning , Because If I used medical term , I am sure , most friends wont read it.
    Thank you for your appreciation

    ReplyDelete
  14. වැදගත් ලිපියක් ...

    ReplyDelete
  15. කැසිල්ලේ පිටිපස්සේ මෙච්චර ලොකු දෙයක් තියෙනවා කියලා හිතාගන්නත් බැහැ.
    ආයේ කියන්න දෙයක් නැහැ ඉතා හොඳ ලිපියක්.

    ReplyDelete
  16. බොහෝම වැදගත් ලිපියක්

    ReplyDelete
  17. -රොබින් ,
    ස්තුතියි ඔබට

    -මඩිස්සලේ නිශාන් ,
    ඔව් යමක් දැන ගන්නට ලැබුණානම් සතුටක් .ස්තුතියි

    -ළහිරු හිමේෂ්,
    ස්තුතියි ඔබටත්

    ReplyDelete
    Replies
    1. ගොඩක් අගෙයි අයියේ කියවන්න කියවන්න ආසයි ඇයි ඔයා ලංකාවෙන් ගියේ මට හිතෙන්නේ ඔයා වගේ අය ලංකාවේ ඉන්න තිබුනේ.

      Delete
    2. ස්තුතියි ඔබට , අපි දැන ගත් දෙයින් ලොවට වැදගත් යමක් කරන එකනේ සතුට නේද ? ....ඔව් තවමත් අපි ලංකාවට ආසයි , ආදරෙයි, ඒ වගේම.. යම් යම් හේතු සිත් රිදවීම් තිබුණත් ලංකාව තුල කළ වෘත්තීය කටයුතු ගැන සතුටක් තවම තිබෙනවා ...ඒත් දරුවන්ගේ අනාගතය ගැන අවිනිශ්චිත බවක් දැනෙත්දි මට ලැබුණු පිළිතුර තමයි මේ ගමන ...

      Delete
  18. බොහෝම ස්තූතියි,
    එහෙනම් කෑසිල්ල ගෑනත් යමක් දෑනගත්තා ඔයාට ස්තූතිවන්ත වෙන්න !

    ReplyDelete
    Replies
    1. ඔබේ පැමිණීම සතුටක්

      Delete
  19. ammo... matath heduna puduma kesillak... mulu jeewithema epa wuna.. Dosthara mahaththayanam dunna pethi warga bohomayak bonna. Eth maasa 2kakata withara passe dannam suwai..

    Obathumata GERD, polycystic ovary wage mathruka pilibadawath lipi palakaranna puluwannam boho aganei...

    Bohomath Sthuthi!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට , ඔබ සඳහන් කර ඇති සියළුම තත්තව පිළිබඳව ලිපි දැනටමත් ලියා තිබෙනවා , “ලිපි මල්ල“ කියන ටැබ් එකට ගියාම ඒ සියල්ල බලාගත හැකි වේවි.

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)